Chitika Smowtion 468x60


Wednesday, September 26, 2012

අඟහරු මතුපිට සිට ඇසුණු ගී හඬ




ඇමෙරිකාවේ නාසා ආයතනය මගින් අඟහරු ග්‍රහයා මතුපිට ගවේෂණය කිරීම සඳහා 2011 නොවැම්බර් 26 වැනි දින යවන ලද කියුරියෝසිටි නම් යානය බෙහෝ දෙනකු බලා‍පොරොත්තු වූ පරිදි අඟහරු ග්‍රහයා මතුපිට සාර්ථක ලෙස ගොඩබැසීමට සමත්විය.

ඒ පසුගිය අගෝස්තු මස ආරම්භයේදීය. අනතුරුව ලොව සියලු දෙනාගේ අවධානය යොමුවූයේ කියුරියෝසිටි ඊළඟට කුමක් කරනු ඇත්දැයි කියාය. ඒ අනුව කියුරියෝසිටි නම් මෙම රොබෝමය යානාව මගින් අඟහරු ග්‍රහයා මතුපිට ඇති පස් සාම්පල් පරීක්ෂා කෙරෙනු ඇතැයිද සඳහන් වේ. නමුත් වඩාත් සිත් ගන්නා සුළු කාර්යය එය නොවේ. කියුරියෝසිටි යානයේ තාක්ෂණයේ සහය ඇතිව කිසිදු ජීවියෙකුගෙන් තොර මෙම ග්‍රහලෝකයේ සිට ගීත ගායනයක් පෘථිවියට ඇසීමට සැලස්වීම නාසා ආයතනයේ තවත් එක් අභිප්‍රායක්වී තිබුණි.
එසේ කිසිදු ජීවියෙකුගෙන් තොර රතු ග්‍රහයා මත සිට ගී ගැයීමට යන්නේ කවරෙකුදැයි ඔබ සිතනු ඇත. කියුරියෝසිටි යනු මිනිසුන් රහිත යානාවක් බැවින් අඟහරු ග්‍රහයා මතුපිට සිට ගීත ගායනයක් ඇසෙන්නේ කෙසේදැයි සිතා ඔබ තවත් මවිත වනු ඇත. නමුත් තාක්ෂණයේ දියුණුවට පින්සිදුවන්නට මිනිසා එම අභියෝගයද ජයගෙන අවසන්ය.
නාසා ආයතනය බලා‍පොරොත්තු වූයේ පෘථිවියේ සිට ගායනා කරන ගීයක් අඟහරු වෙත යැවූ කියුරියෝසිටි යානාව භාවිතයෙන් අඟහරු වෙත සහ ඉන් අනතුරුව යළි පෘථිවිය කරා රේඩියෝ තරංග මගින්ද සම්ප්‍රේෂණය කරවීමය.
ඒ අනුව පසුගිය අගෝස්තු මස 28 වැනි දින පෘථිවියේ සිට ගායනා කරන ලද ගීතයක් රේඩියෝ තරංග මගින් අඟහරු වෙත යවා යළි පෘථිවිය වෙත සම්ප්‍රේෂණය කරවූ අතර එය එදින ග්‍රිනීච් වෙලාව රාත්‍රී අටට පමණ සජීවීව විකාශනය වීමට සලස්වන ලදී.
මෙම සුවිශේෂී කාර්යයට දායක වූ ජනප්‍රිය හි‍පොප් සංගීත කණ්ඩායමක් වන බ්ලැක් අයිඩ්පීස් (Black-Eyed peas) හි සාමාජිකයෙකු වන විල් අයි ඇම්(Will i am)ය.
පසුගිය අගෝස්තු මස 28 වැනි දින ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැසඩ්නා (Pasadena) නම් නගරයේ පිහිටි නාසා ආයතනයේ විද්‍යාගාරයක් තුළ මෙම ඓතිහාසික අවස්ථාව උදාවිය. මෙම අවස්ථාවට ශිෂ්‍යයින්, විශේෂ ආරාධිත අමුත්තන් සහ මාධ්‍යවේදීන්ද රැස්වූහ.
මීට සහභාගි වූ විල්. අයි.ඇම්.විසින් ගායනා කරන ලද්දේ ඔහුගේ රිච් ෆෝ ද ස්ටාර්ස් (Reach for the stars) නම් ගීතයයි. මෙම අවස්ථාව නාසා ආයතනයේ නිල රූපවාහිනී නාලිකාව ඔස්සේ සජීවීව විකාශනය විණි.
ගුවන් විදුලි තරංග මගින් අඟහරු ලොවට සහ ඉන් අනතුරව යළි පෘථිවියට වශයෙන් කිලෝමීටර් මිලියන 1126කට අධික දුරක් ගෙවා යමින් මෙම ගීතය වාර්තාවක් පිහිටුවීමට සමත්විය.
ඒ අනුව සංගීතඥයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වන විල් අයි ඈම්ගේ රිච් ෆෝද ස්ටාර්ස් නම් ගීතය ප්‍රථම අන්තර් ග්‍රහලෝකමය ගීතය බවට පත්විය. එපමණක් නොව මෙය නාසා ආයතනයේ අධ්‍යාපන හා පරීක්ෂණ කටයුතු සම්බන්ධ නිල ගීතය බවටද පත්විය.


විල් අයි ඈම් සඳහන් කළ පරිදි මෙම ගීතය අඟහරු වෙත යවන ලද කියුරියෝසිටි වෙනුවෙන්ම ඔහු විසින් ලියන ලද්දකි. පසුගිය වසරේද තමන් මෙම විද්‍යාගාරයට පැමිණි බව සඳහන් කළ ඔහු එහිදී එහි සිටි නිලධාරීන් ඔහුට අඟහරු මතුපිට සිට මෙසේ ගීයක් යළි පෘථිවියේ විකාශනය වීමට සැලැස්විය හැකි බව පැවැසූ බව කීවේය. මෙම ව්‍යාපෘතිය සඳහා තමන් ගායනා කරන්නේ පරිගණක භාවිතයෙන් සංගීතය සපයන ලද ගීතයක් නොව මානව සහයෝගයෙන් නිර්මාණය කරන ලද ගීයක් බව ඒ මොහොතේ තම සිතට ක්ෂණිකව ඇතුළු වූ අදහස බව විල් අයි ඈම් කීවේය.
ඒ අනුව මෙම ගීතය අනෙකුත් සංගීතමය භාණ්ඩ සහ වාදක කණ්ඩායමකගේ සහයෝගය ඇතිව නිර්මාණය කර ඇත. මෙම වාදක කණ්ඩායමට සාමාජිකයින් හතළිස් දෙනකු බඳවා ගත් බව සඳහන්වේ. ඒ එම වාදක කණ්ඩායම විසින් ලබා දෙන සහයෝගය මත එම ගීතමය අවස්ථාවට නව පණක් ලබාදීමට ඔවුන් අපේක්ෂා කළ නිසාය.
මීට පෙරද නාසා ආයතනය සමග එක්ව සේවය කළ ගායන ශිල්පී විල් අයි ඇම් මෙහිදී පැමිණ සිටි සියලු දෙනා අමතා සිය අදහස් පළකිරීමටද අමතක නොකළේය.
පසුගිය 28 වැනි දින නාසා ආයතනයේදී විද්‍යාගාරයක් තුළ පැවැති මෙම හමුව ඊට සහභාගිවූ සිසුන්ට අධ්‍යාපනික වශයෙන් ඉතා වැදගත් එකක් විය. ඒ එම සිසුන්ට නාසා අභ්‍යවකාශ ආයතනයේ ඉංජිනේරුවන් විසින් කියුරියෝසිටි මෙහෙයුම පිළිබඳ සහ මෙසේ ගීතයක් වෙනත් ග්‍රහලෝකයක සිට සම්ප්‍රේෂණය කිරීම සඳහා අවශ්‍ය ඉංජිනේරුමය තාක්ෂණය සහ කක්ෂගත කිරීමවලදී භාවිත කෙරෙන යාන්ත්‍ර විද්‍යාව යනාදිය පිළිබඳ පැහැදිලි කිරීමක් හේතුවෙනි.
කෙසේ වුවද වෙනත් ග්‍රහලොවක් වෙත සහ යළි ඉන්පසු පෘථිවියට සම්ප්‍රේෂණය කරන ලද පළමුවැනි මිනිස් කටහඬ මෙය නොවන අතර එම ගෞරවය හිමිවන්නේ නාසා ආයතනයේ කළමනාකරුවන චාල්ස් බොල්ඩන් (Charles Bolden) හටය.
එය පසුගිය අගෝස්තු 27 වැනි දින සිදුවිය. එහිදී ඔහු කියුරියෝසිටි මෙහෙයුම සඳහා දායක වූ නාසා ආයතනයේ සියලු සේවකයින්ට සහ ඒ සඳහා දායක වූ අනෙකුත් ආයතනවලට සුබ පතමින් නිකුත් කරන ලද හඬපටයක් අඟහරුලොවට සහ යළි ඉන් පෘථිවියට සම්ප්‍රේෂණය කිරීම සඳහා නිකුත් කළේය.


ඒ පිළිබඳ කියුරියෝසිටි මෙහෙයුම සම්බන්ධ නිලධාරියෙකු කීවේ චාල්ස් බෝල්ඩන්ගේ මෙම වදන් යම් දිනෙක අඟහරුලොව මත පය තැබිමට සිටින පුද්ගලයා ඒ සඳහා ‍පොළඹවනු ඇතැයි කියාය.
එවිට මිනිසුන් නීල් ආම්ස්ටේ‍රා්න් පිළිබඳ කතා කරන පරිදි ඔහු පිළිබඳවද කතා කරනු ඇතැයි එම නිලධාරියා තවදුරටත් කීවේය.
චාල්ස් බෝල්ඩන් විසින් අභ්‍යවකාශයට නිකුත් කරන ලද හඬපටයේ ඔහු බොහෝ රටවල්ද අඟහරු මතට කියුරියෝසිටි වැනි යානාවක් යැවීමට උත්සාහ ගත් බව පැවැසුවේය. නමුත් සාර්ථක වූයේ ඇමෙරිකාව පමණයි ඔහු එහිදී කියා තිබුණි.

- හසීනා අයුබ් ජර්මනියේ සිට ලියයි



Share this article with your friends