Chitika Smowtion 468x60


Friday, December 16, 2011

රන් කිකිළිය මරා බිත්තර බැලූ කූඩ ප්‍රතිපත්තිය




නිසි හැදෑරීමකින් තොරව පාන් බානවා වගේ නීති පනවන්නට ගොස් අදටත් වෙළඳ පොළේ ඇත්තේ එළවලු හිඟයකි. කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අද උදෑසන කොළඹදී පැවසුවේ ප්ලාස්ටික් කූඩ ප්‍රතිපත්තියේ වරදක් නොමැති වුවත් කොහේ හෝ ගැටලුවක් තිබෙන්නට පුළුවන් බවයි.


මේ නිසා, අදාළ අඩුපාඩු ඉවත් කරමින් මෙම නීතිය මසකින් පසුව ක්‍රියාත්මක කිරීමට රජය අදහස් කරගෙන සිටින බව අමාත්‍යවරයා අද උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
“ප්‍රතිපත්තියේ අපි වරදක් දකින්නෙ නෑ. ඒකනේ මාසෙකට කල්දාල තියෙන්නෙ. නැත්නම් සදාකාලිකව කල්දානවනේ.“
යනුවෙන් පැවසූ අමාත්‍යවරයා සඳහන් කළේ කඩින් කඩ ක්‍රියාත්මක කිරීම, නිසි කාලයක් හා දැනුවත් කිරීමක් ලබාදීම වැනි ක්‍රියා මාර්ග තිබුණා නම් හොඳ බවයි.



මේ අතර, ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කතානායක චමල් රාජපක්ෂ මහතා පැවසුවේ මෙම ක්‍රියා මාර්ගය පහළ සිට පැමිණිය යුතු දෙයක් බවයි.
එවිට මෙතරම් කලබලයක් ඇති නොවන බව කතානායකවරයා පෙන්වා දුන්නේය.
ජනතාවගේ සිතුම් පැතුම් අවබෝධ කර නොගනිමින් කඩිමුඩියේ ලංකාවේ කෘෂි වෙළඳුන් හා ගොවීන් පොලිෂ් කිරීමට ගොස් මහා පරිමාණ අස්වැන්නක් විකුණා ගැනීමට නොහැකිව ගොවීන්ට දැවැන්ත පාඩුවක් සිදුවූ අතර පාරිභෝගිකයින්ට එළවලු මිල ඉහළ යාම නිසා වැඩි පිරිවැයක් දරන්නට සිදුව තිබේ.
නීතිය හොඳ වුවත් අවසානයේ ගොවියාත් පාරිභෝගිකයාත් යන දෙදෙනාම වලට වැටුණි. වෙළඳ පොළ යාන්ත්‍රණය කඩා වැටුණු අතර ජන ජීවිතයද වියවුල් විය.
“මේ වනවිට වෙළඳ පොළේ එලවලු ගන්න නෑ. මිනිස්සු අර්තාපල් මිලදී ගෙන ඒවත් ඉවරයි. අපිට කන්න වෙලා තියෙන්නෙ ලුණුයි බතුයි.“
යනුවෙන් අපට මුණ ගැසුණු පාරිභෝගිකයෙකු ඊයේ සඳහන් කළේය.
වෙළඳ පොළ බලවේග කෘත්‍රිම ලෙස පාලනය කිරීම පහසු නැත. තරගකාරී වෙළඳ පොළක ඉල්ලුම සැපයුම අනුව මිල තීරණය වන අතර රජයන් වරින් වර වෙළඳ පොළට මැදිහත් වෙමින් මිල පාලනය කිරීම් වැනි ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ කළත් එවැනි ක්‍රියා මාර්ගවල චිරස්තතියක් නැත.
වෙළඳ පොළක් තරගකාරී දාමයක් ලෙස බැඳී තිබෙන අතර ලාභය ලබා ගැනීම වෙනුවෙන් සිදුකරන අදාළ ක්‍රියාකාරකම් පාඩු සිදුවන අවස්ථා වලදී පාර්ශව කරුවන් විසින් ප්‍රතික්ෂේප කිරීම ස්වභාවික තත්ත්වයකි.
එවිට තග දමා වැඩක් නැත. ගොවියන් පෙන්වා දුන්නේ ප්ලාස්ටික් කූඩවල බහා සිය අස්වැන්න වෙළඳ පොළට එවීම තමන්ට පාඩු බවයි. වෙනදාට වෙළඳ පොළට එවන අස්වැන්න එවීමට මේ නිසා තමන්ට වැඩි පිරිවැයක් දැරීමට සිදුව තිබෙන බව ඔවුන්ගේ තර්කයයි. මීට අමතරව අදාළ නීතියේ තිබෙන ප්‍රායෝගික අඩුපාඩු ගොවීන් හා වෙළෙඳුන් පෙන්වා දුන්නේය.
ගොවීන් හා වෙළෙඳුන් පෙන්වා දුන් කරුණු ගැන තැකීමක් නොකර පොලීසිය ලවා ප්ලාස්ටික් කූඩ නොමැතිව ප්‍රවාහනය කරන එළවලු හා පලතුරු ඇල්ලීමෙන් වෙළඳපොළ හා සෘජුවම බැඳුණු මෙවැනි නීති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නොහැකි බව තවදුරටත් පසක් වේ.
පිටකොටුව ඇතුළුව දිවයිනේ පුංචි යුද්ධයත් ලෙස ව්‍යාප්ත වූ කූඩ ගැටලුව ඊයේ ජනාධිපතිවරයා මැදිහත්වීම නිසා සමනය කර ගැනීමට හැකිවූ අතර වෙළෙඳුන් යළිත් වෙළඳාමේ යෙදීමට පොරොන්දු වුණි.
එළවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීමේදී ප්ලාස්‌ටික්‌ ඇසුරුම් අනිවාර්ය කරමින් රජය පැනවූ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මාසයක සහන කාලයක්‌ ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස පැවති සාකච්ඡාවේදී තීරණය විය.
ප්‍රවාහනයේදී ප්ලාස්‌ටික්‌ ඇසුරුම් භාවිත කළයුතු එළවළු සහ පලතුරු සම්බන්ධව දැනට ලැයිස්‌තුගත කර ඇති ගැසට්‌ නිවේදනයද සංශෝධනය කිරීමට මෙහිදී තීරණය වූ අතර බණ්‌ඩක්‌කා, වම්බටු, තලනබටු, බීට්‌ අල, රාබු යන එළවළු වර්ග පහ අදාල නීතියෙන් ඉවත් කිරීමටත් බෝංචි සහ මෑකරල් මෙම නීතියට අදාල කර ගන්නේ ද යන්න පිළිබඳව වාර්තාවක්‌ සපයන ලෙසත් ජනාධිපතිවරයා පසු අස්‌වනු තාක්‍ෂණ ආයතනයට උපදෙස් දුන්නේය.
මෙහිදී පලතුරු වර්ග සම්බන්ධව වෙනසක්‌ සිදු නොවේ.
එසේම, ප්ලාස්‌ටික්‌ ඇසුරුම් භාවිත කළ යුත්තේ කොළඹට එළවළු ප්‍රවාහනය කිරීමේදී පමණක්‌ බවත් එය ගොවිපොළේ සිට වෙළෙන්දා දක්‌වා ගොවීන් විසින් රැගෙන ඒමේදී බලපාන්නේ නැති බවත් මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.
කෙසේවෙතත්, මේ පිළිබඳව ගොවීන් දැනුවත් කර නැතිබව වෙළෙඳ සංගම් නියෝජිතයන් පවසා තිබේ.



Source : vimasuma.com

Share this article with your friends