Chitika Smowtion 468x60


Sunday, January 8, 2012

විභාග ප්‍රතිඵල හරිද? වැරදිද?




  • විභාග දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියත් පරීක්ෂාවට ලක්වෙයි
  • කමිටු වාර්තාව මේ සතියේ

අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේදී ඇතිවූ ගැටලුව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත් කළ ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව මේ දිනවල රැස්වෙමින් මෙම අවුල සිදුවූයේ කෙසේදැයි  සොයාගන්නට උත්සාහ දරමින් සිටී.මේ කමිටුවේ වාර්තාව ලබන සතිය ඇතුළතදී නිකුත් කිරීමට නියමිත අතර ඒ අනුව විභාග ප්‍රතිඵල අවුල ඇතිවූයේ කෙසේදැයි යන්න පිළිබද තොරතුරු අනාවරණය කරගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ජනතාව බලා‍පොරොත්තුවෙන් සිටියි



ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවේ පසුගිය 30වැනි සිකුරාදා ය. තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ ‍ලේකම් ධාරා විජේතිලකගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවට කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිනි ක්ෂණිකා හිරිඹුරේගම, ඌව විශ්ව විද්‍යාලයේ උපකුලපති රංජිත් ප්‍රේමලාල් ද සිල්වා හා කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති උපාලි ගුණසේකර ඇතුළත් විය.
මෙම විමර්ශන කමිටුවට මුලින්ම පැවරී තිබුණේ විභාග ප්‍රතිඵල සමග නිකුත් කළ දිස්ත්‍රික් කුසලතාව හා සම්බන්ධ ගැටලුව පිළිබඳ පරීක්ෂා කිරීමයි. එහෙත් එම කමිටුව සිය පරීක්ෂණ ආරම්භ කරන විට තමන්ට පැවරී තිබූ වපසරියෙන් ඔබ්බට යමින් සමස්ත විභාග ප්‍රතිඵලයේ තිබූ ගැටලු පිළිබද පරීක්ෂා කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව සිසුන්ගේ විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් සිසුන්ට ගැටලු ඇතිවී තිබේ නම් ඒ පිළිබඳ තොරතුරු දැනුම් දෙන ලෙස ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ ෆැක්ස් අංකයක් හා ඊමේල් ලිපිනයක් ප්‍රසිද්ධියට පත් කළේය. ඒ හරහා සිසුන්ගේ දිස්ත්‍රික් කුසලතාවට අමතරව ප්‍රතිඵලවල ඇතිවී තිබෙන ගැටලු සම්බන්ධයෙන්ද තොරතුරු දැනුම් දෙන ලෙස මෙම කමිටුව ඉල්ලීමක් කළේය. ඒ අනුව මෙම කමිටුවට තොරතුරු ලැබෙමින් තිබෙන බවත් එම තොරතුරු පිළිබඳ පරීක්ෂා කරන බවත් මෙම විද්වත් කමිටුවේ ප්‍රකාශකයෙක් පැවසුවේය. මෙම පැමිණිලි පිළිබඳව  මතෛක් කළ විමර්ශන කටයුතුවලදී විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් ගැටලුවක් මේ වන තෙක් අනාවරණය වී නැතැයිද ඉහත ප්‍රකාශකයා පැවසුවේය.
විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව හිටපු විභාග කොමසාරිස්  අනුර එදිරිසිංහගෙන් මෙන්ම වත්මන් විභාග කොමසාරිස් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාරගෙන්ද ප්‍රශ්න කර තිබුණි. විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණි එම කමිටුව එහි පරිගණක පද්ධතිය පිළිබඳවද සොයා බලා තිබේ. ඒ එම පරිගණක පද්ධතියේ යම් දෝෂයක් තිබේද යන්න දැනගැනීම සඳහාය.
මෙවර විභාගයේ ඉසෙඩ් ලකුණු සකස් කිරීමේ ක්‍රමවේදයේ ගැටලුවක් තිබේද යන්න පිළිබද සොයා බැලීමටද කමිටුව පියවර ගෙන ඇත. ඒ අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායකගෙන් හා ඉසෙඩ් ලකුණු ක්‍රමය සකස් කළ විද්වත් මණ්ඩලයෙන්ද ප්‍රශ්න කර තිබේ.
එමෙන්ම මාධ්‍ය හරහා නිකුත් කර තිබූ වාර්තා පිළිබඳවද ඔවුන්ගේ අවධානය යොමු වී ඇත. විභාග ප්‍රතිඵල වැරදි ලෙස නිකුත් වී  තිබූ බවට සඳහන් කර තිබූ මාධ්‍ය වාර්තා වෙත ඔවුන් සිය අවධානය යොමුකර තිබුණි. එම මාධ්‍ය වාර්තාවල සඳහන් විභාග අංකවලට අදාළ ප්‍රතිඵල නිවැරදිව නිකුත්වී තිබුණේද යන්න පිළිබද ඔවුහු සොයා බැලූහ.
පසුගිය සිකුරාදා (6)  කොමිසම තමන් එක් රැස්කරගෙන තිබු කරුණු විශ්‍ලේෂණය කිරීම ආරම්භ කළේය. ඉරිදා දිනය (8) වනවිට එම තොරතුරු විශ්‍ලේෂණය අවසන් කිරීමට කමිටුව බලා‍පොරොත්තු වෙයි. ලැබුණු තොරතුරු තවදුරටත් විමර්ශනය කිරීමට අවශ්‍ය නම් අදාළ පුද්ගලයින් සඳුදා දිනයේදී කමිටුව හමුවට කැඳවීමට නියමිතය.
ඒ අනුව මීළඟ සතියේ කමිටුවේ වාර්තාව ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි එහි සාමාජිකයෝ බලා‍පොරොත්තු වෙති.
“අප මේ වන විට විමර්ශනය කර තිබෙන තොරතුරු අනුව විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් නැති බව තමයි පෙනෙන්න තිබෙන්නේ. අපි විභාග දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබද ස්වාධීනව විමර්ශනය කරනවා. ඒ විමර්ශනයෙන් පසුව අපේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදෙනවා.” කමිටු සාමාජිකයෙක් පැවසුවේය.



Source : http://www.lakbima.lk

Share this article with your friends