Chitika Smowtion 468x60


Friday, April 13, 2012

සිංහල අවුරුදු නැකැත් සියයට සියයක්‌ම නිවැරදියි


සිංහල අවුරුදු නැකැත් සියයට සියයක්‌ම නිවැරදියි

- සංස්‌කෘතික කටයුතු අමාත්‍යාංශය


සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර නැකත් සියයට සියයක්‌ම නිවැරදි බවත් ඒ පිළිබඳ අංශු මාත්‍රයක සැකයක්‌ හෝ තබාගත යුතු නැති බවත් සංස්‌කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

අවුරුදු චාරිත්‍ර නැකැත් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එම නැකැත් සාවද්‍ය බවට ජනමාධ්‍ය ඔස්‌සේ ඇතැමුන් මත පළ කළ බවත් ඒවා අන්ධානුකරණයේ හා වෘත්තීය දැනුම නිසි ලෙස නොමැති අයගේ මත බවත් සංස්‌කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශ ලේකම් විමල් රූබසිංහ මහතා පැවසීය.

සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර නැකැත් සම්පාදනය කරනුයේ ඒ පිළිබඳ පුළුල් පරිචයක්‌ හා විශාරද දැනුමක්‌ ඇති පුද්ගලයන් තිස්‌ දෙනකුගෙන් සමන්විත ප්‍රවීණ නැකැත් කමිටුවකින් බවත් එහෙයින් ඒ පිළිබඳ අනියත සැකයක්‌ තබා ගත යුතු නැති බවත් හෙතෙම අවධාරණය කළේය. ප්‍රකාශයට පත්කර ඇති නැකැත් අනුව එම චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන ලෙසද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ජ්‍යෙdතිෂ්‍ය වියතුන් මේ සඳහා සෑහෙන කාලයක්‌ ගතකර ඉතාමත් සංවිධානාත්මකව වාද-විවාද කර නිශ්චිත එක්‌ තීරණයකට පැමිණීමෙන් අනතුරුව අවසානයේ නැකැත් සකසන බව පැවසූ ලේකම් විමල් රූබසිංහ මහතා මේ පිළිබඳ කිසිදු අවිශ්වාසයක්‌ තබාගත යුතු නැති බවත් පැවැසීය.

රාත්‍රි කාලයේදී නැකැත් නොමැතිබවට ඇතැමුන් කරන ප්‍රකාශ සාවද්‍ය බවත් වසර 1900 දී පවා රාත්‍රි කාලයේදී නැකැත් වේලාවන් පිහිටා තිබූ බවත් හෙතෙම පැවසීය.

බත්තරමුල්ල සෙත්සිරිපාය, සංස්‌කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ 
පසුගියදා (10 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී විමල් රූබසිංහ මහතා එම අදහස්‌ පළ කළේය. මේ සඳහා නැකැත් මණ්‌ඩලය නියෝජනය කරන ප්‍රවීණ ජ්‍යොතිෂවේදීන් වන පියසේන රතුවිතාන, ඩබ්. ඒ. සී. ඒ. වික්‍රමසිංහ, කෝසලා ගුණරත්න, ඉන්දික ඈපා සෙනෙවිරත්න, ධර්ම රණසිංහ, එස්‌. බී. රණසිංහ, රාජිත සිසිර කුමාර, විපුලි අරුන්දතී, සිසිර කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු තවත් ප්‍රවීණ ජ්‍යෙdතිෂවේදීහු රැසක්‌ එක්‌ව සිටියහ.

-සිරිමන්ත රත්නසේකර 


Share this article with your friends