Chitika Smowtion 468x60


Monday, June 25, 2012

නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ කෑ පතේ පහරයි!


ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අපකීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන නුගේගොඩ කොට්ඨාශ භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා පසුගිය 21වනදා තලවතුගොඩ හෝකන්දර පාරේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ආර් පීරිස් මහතාට අයත් අක්කරයකුත් පර්චස් 29ක ඉඩමකට ඇතුලූ වී එහි තිබූ ගොඩනැගිලි කඩා ඉවත් කොට සිදුකරන ලද අනර්ථකාරී ක්‍රියාවක් පිළිබඳව අප වෙබ් අඩවිය වෙත වාර්තාවේ.

නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා මෙසේ මෙම අනර්ථකාරී ක්‍රියාව සිදු කොට ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය භාරව කටයුතු කරන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතය. හිටපු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ආර් පීරිස් මහතාට අයිති මෙකී භූමි පරිශ්‍රය අනවසර ගොඩකිරීමක් බවත් එහි ඉදිකර ඇති ඉදිකිරීම් සියල්ලම අනවසර ඉදිකිරීම් බවත් පවසමින් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ශ්‍රී ලංකා පොලීසියේ සහ යුද හමුදාවේ නිලධාරීන් 500කට අධික ප්‍රමාණයක් යොදවමින් මෙම අනර්ථකාරී ක්‍රියාව සිදු කර තිබේ.
එසේ මෙම ස්ථානයට පැමිණි පොලිස් සහ අනෙක් හමුදා නිලධාරීන්ට මෙම ස්ථානයේ ඉදිකර ඇති ඉදිකිරීම් කඩා බිඳ දමන ලෙස නියෝග කොට ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ විසිනි. එම ක්‍රියාවට විරෝධය පළකරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ආර් පීරිස් නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ බහින් බස් වී ඇති අතර ඉන් කෝපයට පත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ''මුගෙ කකුල් දෙකෙන් අල්ලලා ජීප් එකේ දා ගනින්'' යනුවෙන් පොලිස් නිලධාරීන්ට අණ කොට තිබේ. ''හරි උඹට පුළුවන්නම් ඒක කරපන් බලන්න කෙළෙහි ගුණ නොදන්න පාහරයා'' යනුවෙන් නිමල් ආර් පීරිස් මහතා පවසද්දී නියෝජ්‍ය පොලිස්පතිවරයා කරබාගෙන ඉවත ගොස් තිබේ.
පසුව මෙම සිද්ධිය පිළිබඳව දුරකථනයෙන් අප වෙබ් අඩවිය වෙත කරුණු දැක්වූ හිටපු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ආර් පීරිස් මහතා පවසා සිටියේ ''අදාළ ඉඩම තමන් සහ තමන්ගේ පරම්පරාවේ අය අවුරුදු 75කට අධික කාලයක් භුක්ති විදින බවත් තම පියා විසින් තෑගි ඔප්පුවක් මගින් මෙම ඉඩම තමන්ට පවරා දුන් බවත් මීට අවුරුදු 20කට ඉහත තමන්ගේ පියා මියගිය අවස්ථාවේදී ඔහු ආදාහනය කිරීම සඳහා චිතකය පවා ඉදි කළේ මෙම ඉඩමේ බවත්ය.''
අප වෙබ් අඩවිය වෙත තවදුරටත් කරුණු දැක් වූ නිමල් ආර් පීරිස් මහතා සඳහන් කර සිටියේ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා 88 - 89 ජනතා විමුක්ති පෙරමුණේ භීෂණ සමයේදී හෝකන්දර අතුරුගිරිය පාරේ ගමන් කරමින් සිටිය දී බිම්බෝම්බයකට ගොදුරු වූ බවත් ඉන් යන්තමින් දිවි ගලවාගත් ඔහු පසුව මාලබේ, අතුරුගිරිය, තලවතුගොඩ ආදී ප්‍රදේශවලින් අත්අඩංගුවට ගන්නා ලද තරුණ තරුණියන් 37 දෙනෙකු මරා බිම්බෝම්බයෙන් හෑරුණු වළට දමා එම වළ ගොඩ කළ බවයි.
පසුව 1994 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් පොදුජන එක්සත් පෙරමුණ බලයට පත් වූ විට 1995 වසරේදී මෙම මිනී වළ හෑරූ අවස්ථාවේ එවකට සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස සේවය කරමින් සිටි සුමිත් එදිරිසිංහ මහතාට සහ එවකට අතුරුගිරිය පොලිස් ස්ථානාධිපතිව සිටි ඇන්ටන් සිරි කුමාර මහත්වරුන් හට කොළඹ අංක 4 ප්‍රධාන මහේස්ත්‍රාත්ව සිටි චම්පා බුද්ධිපාල මහතා විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කළ අවස්ථාවේදී සුමිත් එදිරිසිංහ මහතා තමා හමුවී වැදවැටෙමින් ආරක්ෂාව සලසා දෙන ලෙස ඉල්ලා සිටි හෙයින් දින ගණනක් යන තෙක් ඔහුව තම නිවසේ සඟවා සිටි බව හිටපු මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.
පසුව උසාවියට බාර වී ඇපමත නිදහස් වූ සුමිත් එදිරිසිංහ මහතා ඇමරිකාවට යවා එහි එක්තරා ප්‍රාන්තයක අනුරාධ නැමති ශ්‍රී ලාංකිකයකුට අයත් ඉන්ධන සැපයුම්හලක රැකියාවක් තමා විසින් ලබා දුන් බවත් පසුව චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ ප්‍රධාන ආරක්ෂකයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් කරුණාරත්න මගින් සුමිත් එදිරිසිංහ නැවතත් පොලිසියේ රැකියාව ලබා ගත් බවත් අද එම අතීතය නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස වැජඹෙන සුමිත් එදිරිසිංහ මහතාට අමතක වීම කනගාටුවට කරුණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ආර් පීරිස් මහතා අවසාන වශයෙන් සඳහන් කර සිටියේය.





















































































Source - lankanewsweb.com

Share this article with your friends