Chitika Smowtion 468x60


Monday, June 25, 2012

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට එල්ල වන තර්ජන හෙළා දකිමු!


පසුගිය 21 වැනිදා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ අසල්වැසියන්ගේ නිවෙස්වලට පැමිණි, තමන් ආරක්ෂක අංශවල යැයි හඳුන්වා දුන් පිරිසක් ඔහු පිළිබඳ තොරතුරු විමසා තිබේ. එම සිදුවීම ඒ මහතා විසින් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුවද ගත වූ දින කිහිපය තුළ ඊට අදාළ විවිධ තර්ජනාත්මක සිදුවීම් ගණනාවක් සිදුවී ඇත. ඔහුට හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට නිර්ණාමික දුරකතන ඇමතුම් මගින් තර්ජනය කර ඇති අතර ඔහුගේ නිවස අසල නාඳුනන පිරිස් ව්‍යාජ අංක තහඩු සහිත වාහනවලින් සැරිසරන බවට තොරතුරු ලැබී තිබේ.
නිර්මාල් රංජිත් දේවසිරි මහතා දේශපාලන ක්‍රියාකාරිකයකු වන අතරම මෙරට විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ වෘත්තිය අයිතීන් වෙනුවෙන් ක්‍රියාකාරී වන වෘත්තිය සංවිධානයක සභාපතිවරයෙකි. ඔහුට එල්ල වන තර්ජනය ආණ්ඩුවට එරෙහි දේශපාලන අදහස් දරන්නන්ට හා විපක්ෂ දේශපාලන ක්‍රියාධරයින්ට එල්ල වී ඇති තර්ජනයේම දිගුවක් හා තවත් එක් කොටසක් ලෙස අපි දකිමු. එමෙන්ම, සිය අයිතීන් වෙනුවෙන් සටන් වදින බලවේගයන්ට එරෙහිව ආණ්ඩුව දියත් කර ඇති මර්දනය පිළිබඳව මෙම සිදුවීම තවත් උදාහරණයක් සපයා ඇත.
නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ සභාපතිත්වය යටතේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිය වැටුප් වැඩි කිරීම ඇතුළු වෘත්තිය ඉල්ලීම් සහ අධ්‍යාපනය සඳහා වෙන් කරනු ලබන ප්‍රතිපාදන වැඩි කිරීම ඇතුළු පොදු සමාජයීය ඉල්ලීම් ගණනාවක් පෙරදැරි කර ගෙන අරගලයක් ආරම්භ කර තිබිණි. ගෙවුණු වසර ගණනාවක් තුළම එම අරගලය විවිධ රිද්මයන්ගෙන් යුතුව අඛණ්ඩව ඇදී ගිය අතර ආණ්ඩුව වංචාකාරී බොරු පොරොන්දු දෙමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රැවටීමට උත්සාහ කළා මිස එම අරගලය පිළිබඳ අවංක හා විවෘත ප්‍රවේශයකට එළඹුණේ නැත.
නව ලිබරල් ධනවාදයේ දෙවැනි ඉනිම වෙත ලාංකීය සමාජය දක්කා ගෙන යාමට උත්සාහ කරන මේ ආණ්ඩුවට අධ්‍යාපන අර්බුදය විසඳිය නොහැකි වන අතර නව ලිබරල් ධනවාදයේ ප්‍රතිපත්තිය වනුයේ අධ්‍යාපනයේ වගකීමෙන් රජය ඉවත් වී එහි සියලූ බර ජනතාව මත පැටවීමයි. ගෙවුණු දශක කිහිපය තුළ අධ්‍යාපනය සඳහා කරනු ලබන රාජ්‍ය වියදම් ක්‍රමානුකූලව අඩු කරන ලද අතර මේ වන විට වෙන් කර ඇති ප්‍රතිපාදන සාමාන්‍ය අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහාවත් ප්‍රමාණවත් නැත. මේ තත්වය තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ඉහළ දැමීම, දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම ඇතුළු ඉල්ලීම් ඉටු කිරීමේ හැකියාවක් ආණ්ඩුවට නැත.
මේ තත්වය තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ, අධ්‍යාපන සේවකයින්ගේ හෝ ශිෂ්‍යයින්ගේ කිසිදු ගැටලූවක් විසඳීමේ හැකියාවක් හෝ වුවමනාවක් ආණ්ඩුවට නැත. විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ඉල්ලීම් ඉටු නොවීම නිසා ඔවුන් අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹ ඇති අතර දැන් ආණ්ඩුව ඔවුන්ට එරෙහිව අවලාද වපුරමින් සිටී. මේ අතර සිය ඉල්ලීම් ඉටු නොවීම නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද ජූලි මස 4 වැනිදා සිට වැඩ වර්ජනයක් කැඳවීමට තීරණය කර තිබිණි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපතිවරයාට තර්ජන එල්ල වී ඇත්තේ එම වෘත්තිය ක්‍රියාමාර්ගය ආසන්නව තිබියදීය. ආණ්ඩුව සමාජ බලවේගයන්ගේ සැබෑ ප්‍රශ්නවලට පිළිතුරු දිය නොහැකිව ඔවුන් වෙත මර්දනය කැඳවමින් සිටින බව පැහැදිලිය. මෙම මර්දනකාරී තර්ජනයන් පිළිබඳව ආණ්ඩුවට හා විශේෂයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන්ට දැඩි අප්‍රසාදය පළ කරන අපි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තිය සමිති සම්මේලනයට සිය අදහස් නිදහසේ පළ කිරීමට හා සිය අයිතිය වෙනුවෙන් අරගල කිරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙළ ගැසෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතරම නිර්මාල් රංජිත් දේවසිරි මහතා ඇතුළු වෘත්තිය සමිති නායකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ආණ්ඩුවට බල කර සිටිමු.
දේශපාලන මණ්ඩලය
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2012.06.25
Source - lankanewsweb.com

Share this article with your friends