Chitika Smowtion 468x60


Monday, June 25, 2012

'එජාපය යනු ජනතා හඬට කන් දෙන පක්‍ෂයක්’ - දයා ගමගේ


සාමකාමීව උද්ඝෝෂණ පවත්වා තම අයිතීන් වෙනුවෙන් හඬක් නගන ජනතාවට වෙඩි උණ්ඩයෙන් පිළිතුරු දීම වත්මන් ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වුවද, එජාපයේ ප‍්‍රතිපත්තිය එය නොවන බව එජාප ජාතික සංවිධායක, නැගෙනහිර පළාත් සභාවේ විපක්‍ෂ නායක හා දයා සමූහ ව්‍යාපාරයේ සභාපති දයා ගමගේ පවසයි.
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව කිසිදු දේශපාලන උසිගැන්වීමකින් තොරව හලාවත පැවති සාමකාමී ධීවර උද්ඝෝෂණයක් ඉලක්ක කොට එල්ල වූ පොලිස් වෙඩි ප‍්‍රහාරයට ලක්වූ ධීවරයින් තිදෙනෙකුගේ පවුල් වෙත රු. ලක්‍ෂ 25ක් වටිනා බෝට්ටු තුනක්, දරුවන් වෙත විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා අධ්‍යාපන ශිෂ්‍යත්ව හා පොත් ප‍්‍රදානය කිරීම හලාවත ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේදී පැවති අවස්ථාව අමතමින් ගමගේ මහතා ඒ බව කීය.
ඉන් එක් ධීවරයෙකු ඇන්තනී වෙඩි ප‍්‍රහාරයෙන් මරුමුවට පත්වූ අතර, කිංස්ලි නමැති ධීවරයා පසුගියදා ගෙල වැලලාගෙන සියදිවි නසාගත්තේ, වෙඩි ප‍්‍රහාරයේදී තම කකුලක් අහිමි වීම නිසා පවුලේ ජීවනෝපාය ඉපයීමට තමා අසමත් වීම පිළිබඳව කලකිරීමට පත්වීමෙනි.
ගරු ක්ලෝඞ් අයිසිං පියතුමාගේ සංවිධායකත්වයෙන් පැවති මෙම උත්සවයට පාර්ලිමේන්තු මන්ති‍්‍රනී වෛද්‍ය අනෝමා ගමගේ හා පළාත් සභා සභිකයින් වන ශාන්තිනී කෝන්ගහගේ, ශාන්ත සිසිර කුමාර හා හෙක්ටර් අප්පුහාමි ඇතුළු පිරිසක් ද එක්විය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ගමගේ මහතා එහිදී පෙන්වා දුන්නේ, එජාප ආණ්ඩු ජනතාවට කන්දුන් බවත්, ඔවුන් අනාථ නොකර ඔවුන්ට අතදීම සිදු කල බවත් ය.
එජාප නායකයා සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසුව තීරණය වූයේ එම ධීවර පවුල්වලට ආධාර ලබාදීමට බව ඔහු පැවසීය.
අනවශ්‍ය පරිදි ඉන්ධන මිල ඉහළ දැමීම නිසා, මුහුදු ගොස් මසුන් මරා රැගෙන එන ධීවරයින්ට එම මසුන් වෙනුවෙන් මිලක් නියම කිරීමේ හැකියාවක් නොතිබෙන වාතාවරණයක් යටතේ මෙම අවාසනාවන්ත සිදුවීම හටගත් බව ද එජාප ජාතික සංවිධායකයා පෙන්වා දුන්නේය.
එම උද්ඝෝෂණය මර්දනය කිරීම නිසා ඇන්තනී නමැති ධීවර කාර්මිකයාගේ ජීවිතය අහිමි වීම පමණක් නොව පවුල් කිහිපයක් අනාථ වීම පමණක් සිදුවූ බව හෙතෙම කියා සිටියේය.
මීට සති තුනකට පෙර මෙම ප‍්‍රදානයන් සිදු නොකිරීම ගැන තමන් කණගාටු වන බව කී ගමගේ මහතා පෙන්වා දුන්නේ, එසේ වූයේ නම් කිංස්ලි නම් එම ධීවර කාර්මිකයා අද දිනයේද ජීවත්ව සිටින බවයි.
ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ, එජාප ආණ්ඩු සමයේ රු. 500කට මිලදී ගත් භාණ්ඩ ප‍්‍රමාණය මේ වන විට රු. 5,000ක් හෝ වැය කලද ලබාගත නොහැකි බවයි.
එමනිසා වැඩිකල් නොගොස් රු. 50,000 නෝට්ටු මුද්‍රණය කිරීමට ආණ්ඩුවට සිදුවනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය.
එසේ වුවද, එදා රු. 500කට ලබාගත් භාණ්ඩ එම රු. 50,000 නෝට්ටුව වැය කොට හෝ ලබාගත නොහැකි වන බව හෙතෙම සඳහන් කළේය.
ආණ්ඩුව ණය ලබා ගනිද්දී එජාප නායකයා ඊට විරෝධය පල කලත්, මේ වන විට ලබාගෙන තිබෙන ණය පවා ගෙවීමට සිදුවන්නේ රටේ අහිංසක ජනතාවට බව එජාප ජාතික සංවිධායකයා අවධාරණය කර සිටියේය.
පවතින ක‍්‍රමය වෙනස් කොට රට ගොඩනැඟීමට සියළුදෙනාම එක්වීමේ අවශ්‍යතාව අවධාරණය කළ ගමගේ මහතා, වත්මන් ආණ්ඩුවේ නොහැකියාව මුළු රටම දන්නා බවත්, එමනිසා එජාප ආණ්ඩුවක් බිහි කිරීම සිදුවිය යුතු බව කියා සිටියේය.
ප‍්‍රදේශයේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම සඳහා දයාසරණ සමිතියක් ආරම්භ කරන ලෙසට ඉල්ලා සිටි ගමගේ මහතා, එම සමිතිය හරහා ඔවුන්ගේ අනාගතය ගොඩනැංවීම සඳහා ලබා දියහැකි සියළු සහාය ලබාදීමට තමන් සූදානම් බව කියා සිටියේය.



Source - lankanewsweb.com

Share this article with your friends