Chitika Smowtion 468x60


Tuesday, June 5, 2012

ආණ්ඩුවට ආපහු හැරෙන්න පුළුවන් වෙයිද?


ඇමරිකන් අධිරාජ්‍යවාදයට විරුද්ධව කෙල තොළු කථා කියමින් හිටිය ආණ්ඩුව දැන් උන් පස්සේ එල්ලීගෙන යනව. ක්ලින්ටන් නෝනා සුලැඟිල්ල වැනුව විතරයි මෙන්න විදේශ ඇමති කරන්න යන දේවල්, ඒවයේ යාන්ත්‍රණ මේ ආදී කී නොකී දේවල් ඔක්කොම ලියා කියාගෙන පොට්ටනි බැඳගෙන ක්ලින්ටන් මහා රාජිනී බැහැ දකින්න ගියා.
මේ ගැන කියන්න තියෙන්නේ මේ වගේ මගුල් ගමන් යන්න වෙන්නේ නෑ, LLRC වාර්තාවේ දේවල් කරගෙන කරගෙන ගියා නම්. මේක මහ කොලොප්පමක් වෙලා තියෙන්නේ.
19 වැනිදා මහ ලොකුවට වීරයන් සමරණ අතරම ඇමරිකන් ලොක්කන් ලඟට ගිහින් යුද්දෙන් වුන විපත්ති වලට කරන පිළියම් ගැන කථා කරනව. එතකොට අභාග්‍යයක් වෙලා තියෙනව. ඒවාට දෙන පිළිතුරු උගත් පාඩම් හා සංහිඳියා ලියවිල්ලේ තියෙන විදියට දැන් සකස් කරගෙන යනව.
මේ අතර හමුදා වල ඉන්න සොල්දාදුවොත් ඉන්නේ ලොකු අසතුටකින්. මොකද? දැන් එදා වගේ සැලකිලි නෑ. අතට එන මුදලත් අඩුයි. ඒත් වැඩවල නම් අඩුවක් නෑ. හැම දේම අන්තිමට එන්නේ හමුදාවේ පහලම සොල්දාදුවාගේ කරට. හමුදාවේ තියෙන ප්‍රශ්ණ ගැන කතා කරන්න කෙනෙකුත් නෑ.
දැන් දැන් යුද්ධයෙන් වෙච්ච කරදර ගැන හුඟ දෙනෙක් කථා කරන්නට පටන් අරන්. දෙමල ජනයාට වන්දි ගෙවනව විතරක් නෙමෙයි බලයත් ඒ පලාත්වලට ලබා දිය යුතු බව ඉංදියාව මෙන්ම අනෙක් රටවලූත් කියන්න පටන් අරන්.
ඒ ඇත්තෝ කියන්නෙම වන්දි, බලය ඛෙදීම, මානව හිමිකම් ආදිය ගැනයි. ඒ දවස්වල කථා කලේ ත්‍රස්තවාදය අවසන් කිරීම ගැන. මල්ටිබැරල් විහිදුම් බලකායන් මේවා ගැන කියමින් ජන ඝාතක යුද්ධයකට රට තල්ලූ කලේ මේ බලවතුන්මයි.
දැන් මානව හිමිකම් ගැන වැඩියෙන් කියන්නේත් ඔවුන්. මහින්දත් දැන් මේ මුන් හදපු වලේ කරට ගිලිල ඉන්නේ මේක තමා මේ වගේ පාලකයින්ට හැම තැනම වෙන්නේ.
ජාතික ගැටළුව අපට සීමා වුන දෙයක් නෙමෙයි. හුඟක් නැගී එන රටවල් වල ඒක ප්‍රශ්නයක්. එය විසඳීමට තමන් පියවර ගන්නේ නැත්නම් ඒක වවාගෙන කන්න දඟලන අය ඕන තරම් ඉන්නව. යුද්ධයට අපව තල්ලූ කලෙත් ඒ අනුවයි. ඒකට හොඳ මිනිහෙක් හැටියට මහින්දව ඔවුන් අඳුන ගත්ත. යුද්දයට දිගටම ගමන් කලේ ඒ ඇවිස්සිලි අනුවයි.
දැන් සන්ධානය තුල අනෙක් අය සමඟ සටන මතු වෙලා. මේ ප්‍රශ්නයට විසඳුම් ලබා ගන්නට කථා කලාට මදි. ඒකට ඇත්තටම බහින්න වෙනව. ඇත්ත සමහරු ගැලවිලා යාවි. ගුණදාස උන්නැහේ මේකට ගොරවන්න පටන් අරන්. ඒ කඳවුරේ අනෙක් අයත් ලොකු සද්ද කරාවි.
ඒත් ඒවට යට නොවී කෙලින් ඉන්න පුළුවන්ද? මේකයි තිඛෙන ප්‍රශ්නය. එයට වෙනස් වන ලොකු ගැටළුවක් නෑ. දැන් වැඩ කරන ජනතාවගේ ඉවසුමත් බිඳිල ගිය වෙලාවේ තමයි ආපස්සට හැරෙන්න හදන්නේ.
එකට බත් පත අනන්කාපු එවුනුත් ඉවත් වෙන්න පුළුවන්. හැබැයි ඒ විදියට කෙලින්ම බහින්න හයියක් මහින්දට තියෙයි ද? මට නම් ඒ වගේ විශ්වාසයක් නෑ. ජාතිවාදය අවුස්සන එක ලේසියි. නමුත් ආපහු හැරෙන එක ලේසි වැඩක් නෙමේ. නයාට ගහල පොල්ල වරද්ද ගන්න එපා කියනවනේ. ඇවිස්සුන බලවේග වලට මුහුණ දීම ලේසි වෙන්නේ නෑ.
මහින්ද ජනමාධ්‍ය කැඳවල කියල තියෙනව ජාතිවාදය අවුස්සන්න එපා කියල. දැන් මේක නැවතීමට යෝජනාවක් ද වැඩේ ආරම්භ කිරීමට යෝජනාවක් ද? දැන් තියෙන විදියට මේ අයම සමාජ අරගලයේ සටන් පාඨත් සමඟ එලියට ඒවි.
එලෙසට එන එක නවත්වන්න නම් වම ඒ පැත්තෙන් ඉස්සරහට එන්න ඕනා. තාම වමේ පෙල ගැස්ම අවදිවෙලා නැති නිසා මේ ලෙසට ජාතිවාදී කොටස් වලට අවකාශයක් ඇති වෙයිද කියන ප්‍රශ්නය තියෙනව. ඇත්තටම ආර්ථීක සමාජ ප්‍රශ්න ජාතික ප්‍රශ්නයත් සමඟ එකට ගන්නට පුළුවන් කම තියෙන්නේ වමට විතරයි.
ඒකට වැඩ පටන් ගන්න මැයි දිනයෙන් ඉදිරියට එන්න ඕනා. 1987 ට වඩා අද තියෙන වෙනස විරුද්ධ පක්ෂ නායකයො කෙලින්ම බලය ඛෙදීම පැත්තේ සිටීමයි. ඒ නිසා ජාතිවාදයට ජනතාව අදින්න වෙන්නේ ආණ්ඩුව පැත්තෙන්මයි.
අපට බලන්න පුළුවන් මොකක්ද විමල්-චම්පික ජෝඩුව කරන්න යන්නේ කියල. මේ අයට පිට කොන්දක් තියෙනව නම් මොකක් හරි ගිනි ගෙඩියක් මේ වීරයො අඹරන්නම ඕන. නැත්නම් මිදි කන්න දැඟළුව හිවල්ලූ දෙන්න වගේ උඩ බලන් ඉන්න වේවි. පාර වීදිය වාමාංශිකයන් අල්ලා ගනීවි.
ජනතා විමුක්ති පෙරමුණ හිතා ඉන්නනව වගෙයි 88/89 නාඩගම උඩ තලයේ රඟ දක්වන්න. රාජ්‍ය බලයත් තමන් ලඟ නැත්නම් වැඩේ අමාරුයි කියල උන්නැහැලට දැනෙනවත් ඇති. ඒ නිසාම හයිෆයි කථා දැම්මට ගම් මට්ටමේ ශ්‍රී ලංකා කාරයින්ව ඉස්සරහට එවල කරන නැටුමකට ජනතා විමුක්ති පෙරමුණ දැන් ලෑස්ති වෙනව.
අද සමාජය තුල ඒ විදියට නැටුම් වලට යන එක ගැන වැඩිහිටියො බාල්දි අදිනව. මේ නිසා ''වාමාංශික'' ජාතිවාදී පෙල ගැස්මක් ඇති කරගන්නත් ලේසි වෙන්නේ නෑ.
දෙමල ජනතාව ආයුද ගත්තේ විසඳුමක් ලැබුණෙ නැති නිසා. එදා බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම අනුව කටයුතු කලා නම් දිගටම වුන විනාශයක් නවත්වන්න තිබුන. දැන් අති විශාල විනාශයකින් පසුව බලය ඛෙදන්න යනව.
විනාශය වුනේ උතුරට විතරක් නොමෙයි. සිංහල හමුදාවන්ට, සිංහල ජනතාවටත් විශාල පාඩු වුනා. මැරුණ ගණන 33,000 ක් පමණ කියල කියනව. ඒ මෑතදී වුන මරණ. තව 50,000 ක් වත් අබාධිතයන් වුනා. විශාල වශයෙන් රට නය වුනා. විදේශ බලපුළුවන්කාරයෝ අපව වහල් කරගත්ත. මේ සියල්ලට පස්සේ දැන් දෙමල නිජ බිමට බලය ඛෙදන්න යනව.
මුලදීම හරි දේ කලා නම් මේ සියළු විපත් වලක්වගන්න තිබුණ. මෝඩ පාලකයන් එළුවගේ ඛෙල්ලත් කපල මුට්ටියත් බිඳල තමයි ප්‍රශ්න විසඳන්නේ. ඒකත් විසඳුමක් තමයි. මම නම් මුල ඉඳල කියපු දේමයි අදත් කියන්නේ හැබැයි අනෙක් අය කව්රුත් වෙච්ච විනාශයන්ට වග කියන්න ඕනා.
 - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න


Source - lankanewsweb.com

Share this article with your friends