Chitika Smowtion 468x60


Saturday, July 28, 2012

අම්මලා දෙන්නෙක්, තාත්තලා දෙන්නෙක් ලබා දෙන නීතියක්


සාමාන්‍යයෙන් දරුවෙකුට මව්වරුන් කිහිපදෙනකු හෝ පියවරුන් කිහිපදෙනකු හිමිකම් කියූ විට නීතියේ මැදිහත්වීම මත එම දරුවාගේ නියම දෙමාපියන් හඳුනාගෙන ඔවුන්ට භාර කෙරේ. නමුත් එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දරුවන්ගේ හිමිකාරත්වය සම්බන්ධයෙන් එවැනි සංකීර්ණ තත්ත්වයන් මින් පසු මතු නොවනු ඇත. ඒ දරුවෙකුගේ හිමිකාරත්වය එක් දෙමාපිය යුවළකට නොව මවුපියන් කිහිපදෙනකුට හිමිවන පරිදි එම ප්‍රාන්තයේ නීති සංශෝධනය කිරීමත් සමගය.
එරට සෙනෙට් සභිකයෙකු වන මාර්ක් ලිනෝ විසින් ගෙන එන ලද මෙම නවතම සංශෝධනයේ අරමුණවී ඇත්තේ දරුවන්ගේ උපරිම යහපත ආරක්ෂා කිරීම යැයි කියවේ.
නමුත් මෙසේ වැඩි දෙමාපියන් පිරිසක් එක් දරුවෙකුට හිමිකම් කීමට නම් ඔවුන් අධිකරණය විසින් ඉදිරිපත් කරන සුදුසුකම් සපුරා තිබිය යුතු යැයි ලිනෝ විසින් නිකුත් කරන ලද ප්‍රකාශනයක දැක්වේ.
මෙම නව සංශෝධනය පිළිබඳ අදහස් දැක්වූ ලිනෝ කියා සිටියේ මෙම පනත කැලිෆෝනියා ප්‍රාන්තය විසිඑක් වන සියවසට ගෙන එන බවය. 
මෙවැනි නීති බිහිවීමට හේතුව වශයෙන් සමලිංගික විවාහ සහ දරුවන් බලා‍පොරොත්තු වන එවැන්නන් සඳහා සහය දැක්වීමට ඉදිරිපත් වන විරුද්ධ ලිංගිකයන් සුලබ වීම සහ ඒ අනුව බිහිවන නව ඥාති සබඳකම් දැක්විය හැකි බව එක්තරා වාර්තාවක සඳහන් විය.
මෙසේ එක් දරුවෙක් සඳහා වැඩි දෙමාපියන් පිරිසකට හිමිකාරීත්වය කිවහැකි අවස්ථාවකට උදාහරණ වශයෙන් එක්සත් ජනපදයෙන් නිකුත් කරන ලද වාර්තාවක් මගින් පහත අවස්ථා පෙන්වාදී තිබුණි.
එනම් දරුවන් බලා‍පොරොත්තු වන කාන්තා සමලිංගික විවාහක යුවළකට ඒ සඳහා සහය දක්වන පිරිමියෙකු හෝ පිරිමි සමලිංගික විවාහක යුවළකට ඒ සඳහා සහය දක්වන කාන්තාවක වේ නම් බිහිවන දරුවාට මව්වරුන් දෙදෙනකු සහ එක් පියෙකු හෝ පියවරුන් දෙදෙනකු සහ එක් මවක වශයෙන් මව්පියන් තිදෙනකු මෙම නීතිය යටතේ හිමිවනු ඇත.
එපමණක් නොව විවාහක කාන්තාවක විසින් තම නීත්‍යනුකූල ස්වාමිපුරුෂයා හැරදමා වෙනත් පුද්ගලයකු සමග නීත්‍යනුකූල විවාහයකින් තොරව ජීවත්වන්නේ නම් සහ එම පුද්ගලයා විසින් එම කාන්තාවගේ දරුවා වසර හතකට වැඩි කාලයක් රැකබලා ගත්තේ නම් එම දරුවාට තම ජීව විද්‍යාත්මක පියාට අමතරව මෙකී පුද්ගලයාද පියෙකු වේ.
ඒ අනුව ඔවුන් දෙදෙනාම දරුවාගේ නඩත්තුව සඳහා හිමිකම් කියනු ඇත. නමුත් මේ සඳහා එම දරුවා සහ ඔහුගේ ජීව විද්‍යාත්මක පියා අතර සමීප සබඳතාවක් ආරම්භයේ සිට තිබිය යුතුය. ඒ අනුව එම දරුවාට පියවරුන් දෙදෙනකු සහ එක් මවක වශයෙන් මවුපියන් තිදෙනකු වේ.
ඒ අනුව මව්පියන් වන තිදෙනාම දරුවාගේ ෙනෙතික භාරකරුවන් වනු ඇති බවටද සඳහන් වේ. මෙවන් පනතක් ගෙන ඒමට මුල්වූ හේතුව පැහැදිලි කරමින් ලිනෝ විසින් පසුගිය වසරේ 2011 එරට අභියාචනාධිකරණයේ ගොනු කරන ලද මව්වරුන් දෙදෙනකු විසින් හිමිකම් කියූ කුඩා දැරියකගේ හිමිකාරත්වය සම්බන්ධයෙන් නැගුණු ගැටලුව ඉදිරිපත් කරන ලදී. එහිදී එම සිද්ධියට අදාළ දැරියගේ එක් මවක් බන්ධනාගාරගත කොට තිබූ අතර අනෙක් මව රෝහල් ගත කර තිබිණි.
එම දැරියගේ ජීව විද්‍යාත්මක පියා විසින් දැරියගේ හිමිකාරීත්වය ඉල්ලා ඇති නමුත් අධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කර ඇත්තේ ජීව විද්‍යාත්මක පියාට දරුවාගේ ෙනෙතික භාරකරු විය නොහැකි බවට නියෝග කරමිනි. ඒ එක් දරුවකුගේ හිමිකාරීත්වය එවකට කැලිෆෝනියා ප්‍රාන්ත නීතියට අනුව මව්පියවරුන් දෙදෙනකුට හිමිවන බව පවසමිනි. අවසානයේදී දරුවාගේ හිමිකාරීත්වය රජය විසින් භාරගන්නා ලදී.
ඒ මීට පෙර පැවැති නීතිය අනුව සමලිංගික යුවළකගේ දරුවන්ගේ ෙනෙතික හිමිකාරීත්වය සාම්ප්‍රදායික පවුලක පරිදි පුද්ගලයින් දෙදෙනකුට පමණක් හිමිවීම හේතුවෙනි. ඒ අනුව එවැනි විවාහයකදී  ජීව විද්‍යාත්මක පියාට හෝ මවට දරුවා සම්බන්ධයෙන් ෙනෙතික හිමිකාරීත්වයක් නොවූ අතර එම ෙනෙතික හිමිකාරීත්වය මව්වරුන් දෙදෙනාට හෝ පියවරුන් දෙදෙනාට පමණක් හිමිවිය.
එක් දරුවෙකුට, දෙදෙනකුට වැඩි මව්පියන් සඳහා හිමිකාරීත්වය හිමිකරවන මෙම නීතිය සඳහා සහයෝගය දක්වන පිරිස් කියා සිටියේ මේ හේතුවෙන් දරුවන් ළමා සුරැකුම් මධ්‍යස්ථානවල රැඳවීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඔවුන්ට අවශ්‍ය ‍පෝෂණය රැකවරණය සහ මූල්‍ය අවශ්‍යතා මෙම අමතර මව්පියන්ගෙන් හිමිවනු ඇති බවය. ඔවුන්ගෙන් දරුවන්ට හිමිවන මූල්‍ය පහසුකම් හේතුවෙන් දරුවන් සම්බන්ධයෙන් රජයේ මූල්‍යමය වගකීමද අඩුවනු ඇති බව ඔවුන් පෙන්වා දුන්හ.
මේ නීතිය සඳහා විරුද්ධවන්නන් පෙන්වා දෙන පරිදි සාම්ප්‍රදායික පවුලක වටිනාකම මින් බිඳවැටීමට ඉඩ ඇත. එපමණක් නොව නව නීතිය මගින් වෙනත් නීතිමය ගැටලු මතුවනු ඇතැයි ඔවුන් සඳහන් කරයි. ඒ බදු අය කිරීමේදී යම් රටක පුරවැසිභාවය ලබාගැනීමේදී මෙන්ම සමාජ ආරක්ෂණ අයිතිවාසිකම් යන කාරණාවලදීය. ඊට අමතරව මෙවැනි නීති මගින් දරුවන්ගේ මනසේද ව්‍යාකූලතා ඇති කරනු ඇතැයි සමහරුන් චෝදනා කරන බවට ඇතැම් වාර්තාවල දැක්වේ.
මෙම නීතිය යටතේ දරුවෙකුගේ භාරකාරත්වය නඩත්තුව වැනි කරුණු සම්බන්ධයෙන් මව්පියන් හට එකඟත්වයකට පැමිණීමට නොහැකිවූ විට අධිකරණය මගින් ඒවා දරුවාගේ මව්පියන් වන සියලු පුද්ගලයින් අතර වෙන්කරනු ලැබේ. ඒ දරුවෙකුගේ මව්පියන් වන පුද්ගලයින් හට දරුවා සමග ගත කළ හැකි කාලය ඔහුගේ හෝ ඇයගේ වත්කම අනුවය.
කැලිෆෝනියා ප්‍රාන්තයට නව නීතියක් වන එක් දරුවෙකුට දෙදෙනකුට වැඩි මව්පියන් හිමිවන මෙම නීතිය මේ වනවිටත් එක්සත් ජනපදයේ මැයින් , ඩෙලවෙයාර් , පෙනිසිල්වේනියා යන ප්‍රාන්තවල ක්‍රියාත්මක වෙමින් පවතින නීති හා සමාන බව සමහර වාර්තාවල සඳහන් වේ.
එක්සත් ජනපදයේ සැන්ඩියාගෝ නීති විද්‍යාලයේ ළමා කටයුතු පිළිබඳ කාර්යංශයේ උපදේශකවරයකු මෙවැනි නීති ඉදිරිපත්වීම සම්බන්ධයෙන් පවසන්නේ පවුල් සංස්ථාවේ වෙනස්කම් කළේ අපි නොවේ, එය ඇති කරන ලද්දේ පවුල් සංස්ථා විසින්මයි යනුවෙනි.
එක්සත් ජනපදයේ වෙනස් වෙමින් යන පවුල් සංස්කෘතිය ඔහුගේ ප්‍රකාශයේ නිවැරදි බව මනාව පෙන්නුම් කරයි. මේ වනවිට අදාළ පනත එරට සෙනෙට් සභාවේ සම්මතවී ඇති බවට වාර්තා වේ.


parents-modern-1
parents-modern-2
Sen-Mark-Leno(Right)-shakes


හසීනා අයුබ්  ජර්මනියේ සිට ලියයි




Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=808%3A2012-07-25-05-20-50&catid=52%3Asamudura&Itemid=71

Share this article with your friends