Chitika Smowtion 468x60


Thursday, August 30, 2012

මහනුවර බාලිකා පාස‍ලේ ‘‍ලේ හලන භූතයා’ සොයාගිය ගමනක්

2011 සැප්තැම්බර් 17 සෙනසුරාදා අලව්වේ දී සිදුවූ දුම්රිය අනතුර තවමත් බොහෝ දෙනකුට මතකය. ඉන් බරපතළ තුවාල ලැබ රෝහල් ගත කොට සිටි මහනුවර ප්‍රධාන පෙළේ බාලිකාවක සිසුවියක ඉන් මඳ කලකට පසුව මිය ගිය පුවත එතරම් ප්‍රසිද්ධ වූයේ නැත. එහෙත් 2012 ජුනි 29 සෙනසුරාදා රාත්‍රියේ එම පාස‍ලේ ප්‍රධාන ශාලාවේ දී ගැනුණු ඡායාරූපයක එම සිසුවියගේ රුව අද්භූත අයුරින් සටහන්ව තිබූ බවක් පසුගිය කාලයේ මාධ්‍ය මගින් ප්‍රචාරය කොට තිබිණ. අතිශය අද්භූත සිදුවීමක් වශයෙන් හුවා දක්වා තිබූ එම ඡායාරූපය මුල් කොට බොහෝ දෙනා විශ්මයටත් කුතුහලයටත් පත් වූහ. ඡායාරූපයකින් අප යමකු හඳුනා ගන්නේ ඒ තැනැත්තාගේ මුහුණෙනි. එහෙත් මෙම භූත ඡායාරූපයේ මුහුණක් තිබුණේම නැත. ඒ අනුව ඒ අද්භූත රූපය එම සිසුවියගේ බවට නිගමනය වූයේ කෙසේද? යන්නද වෙනම සලකා බැලිය යුතුය. නමුදු එම විදුහ‍ලේ සිසුවියන් සේම ආචාර්ය මණ්ඩලය ඉන් මහත් බියටත් තැති ගැනීමකටත් පත්ව සිටියහ. මෙය ඔවුන්ගේ මානසික සෞඛ්‍යය ප්‍රබල අයුරින් පසුගන්වන්නක් ද විණි.
මෙම තත්ත්වය පිළිබඳව සිය සුවිශේෂ අවධානය යොමු කළ තරුණ පරපුරේ ගුප්ත විශ්වාස ගවේශකයකු වන ගලගෙදර දිස්ත්‍රික් රෝහ‍ලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතා ඒ සම්බන්ධ විධිමත් විමර්ශනයක් ඇරඹීය. එහිදී ඔහුට ඉතා පහසුවෙන් අනාවරණය කර ගත හැකි වූයේ එය ඩිජිටල් ඡායාරූපකරණයේ දී ඇති වූ ඉතා ස්වභාවික දෝෂ තත්ත්වයක් බවය. ඒ බව සනාථ කළ හැකි ඉතා පැහැදිලි සාක්ෂි ද සමග ඔහු එම ව්‍යාජ භූත සංසිද්ධිය මාධ්‍ය හමුවේ ගෙන හැර දැක් වූ පසු එය හුදු මිථ්‍යාවක් බව සැමට වටහා ගත හැකි විය. මෙම සිදුවීමත් සමග මගේ මතකයට නැංවුණේ මීට එකොළොස් වසරකට පෙර එම පාසල සම්බන්ධයෙන්ම මතු වූ ඊටත් වඩා බෙහෙවින් ප්‍රබල භූත ක්‍රියාකාරකමකි.
ඒ 2001 වසරේ මාර්තු මාසයේ දීය. එම පාස‍ලේ හත්වන ශේ්‍රණියේ පන්තියකට සතියකට වරක් දෙකක් සෙම මිශ්‍ර රුධිර බින්දු වැටීම එම අද්භූත ක්‍රියාවය. මෙම රුධිර බින්දු පන්තියේ ඩෙස් බංකු මතට වැටී තිබූ අතර දැරියන්ගේ නිලැඳුම්වලද සුළු වශයෙන් ඒවා තැවරී තිබුණි. එම ‍ලේ බිඳු වැටීම පිළිබඳව අදහස් පළ කළ එම පන්තියේ දැරියන් එක හ¾ඩින් කියා සිටියේ ඒවා පන්ති කාමරයේ සිවිලිම තුළින් වැටෙන බව තමන්ට සහතිකවම කිව හැකි බවය. එහෙත් එසේ වරින් වර සිවිලිම තුළින් පන්ති කාමරයට රුධිරය වැටීම කිසිවකුටත් අදහා ගත නොහැකි විය. ඒ අනුව මෙය කිසියම් අද්භූත සිදුවීමකැයි ඇතැම් ගුරු දෙගුරුන් මුල සිටම සිතන්නට ඇත. නමුදු මේ පිළිබඳව ඊට වඩා යථාර්ථවාදී අයුරින් අදහස් පළ කළ තවත් පාර්ශ්වයකගේ මතය වූයේ ඒවා පන්ති කාමරයේ සිවිලිම තුළ ඇතැයි සිතිය හැකි මීගුලක හිඳින මීයන් වරින් වර එහි සිටින ගැර¾ඩින්ගේ ග්‍රහණයට නතු වීමේදී වැගිරෙන රුධිරය විය හැකි බවය. කෙසේ හෝ ඒ අනුමානය මුල් කොට ඊට ආසන්නතම දිනයකදී එම පන්ති කාමරයේ සිවිලිම ද ඉවත් කරන ලදී. එහෙත් ඒ තුළ මී ගුලක් තබා මීයන් ගැවසෙන බවට ලකුණකුදු දක්නට නොලැබුණි. එමෙන්ම මෙම කටයුත්තෙන් පසු වඩාත් ඇදැහිය නොහැකි තත්ත්වයක් නිර්මාණය වූයේ එම අද්භූත ‍ලේ ගැලීම එතැනින් නිමාවට පත් නොවූ බැවිනි. 
මේ වන විට අසවල් බාලිකා පාස‍ලේ පන්ති කාමරයකට භූතයකු අරක් ගෙන ඇතැයි යන පුවත එම පාස‍ලේ සිසුන් හා ගුරු දෙගුරුන් වෙතින් ‍පොදු සමාජය වෙත ශීඝ්‍රයෙන් සම්ප්‍රේෂණය වෙමින් තිබිණ. එමෙන්ම මෙම තත්ත්වය හමුවේ මෙම පන්තියේ පමණක් නොව සමස්ත පාස‍ලේම සිසුවියෝ බියට පත් වූහ. ඔවුන් එසේ කොතෙක් බියට පත් වූයේ ද යත් හිසරදය, ක්ලාන්තය, වමනය, පාචනය, නොසන්සුන් බව, බිය ආදී කායික මානසික තත්ත්වයන් බොහොමයකින් පෙළෙන්නට වූහ. එමෙන්ම එම පන්තියේ ඇතැම් සිසුවියන් තව දුරටත් එම පාසලට පැමිණීම ප්‍රතික්‍ෂේප කරන තත්ත්වයක් ද උද්ගත විය. මෙහි තවත් විශේෂත්වයක් තිබිණ. එනම් මෙම පන්තියේ ඉගෙනුම ලබන සිසුවියන් අතරේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විශේෂඥ වෛද්‍යවරුන්, නීතිඥයන්, ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් නිලධාරීන් ආදී සමාජයේ ඉහළ පිළිගැනීමකට ලක්වූවන්ගේ දියණිවරුන් ද සිටීමය. ඒ අනුව අදාළ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් මෙම අද්භූත උවදුර හැඳින ඊට පිළියම් සෙවීම පිණිස විශේෂ රැස්වීම් කිහිපයක් ද සංවිධානය කරන ලදී. එමෙන්ම සිසුවියන් බියගන්වන මෙම අද්භූත ක්‍රියාකාරකම කිසියම් පුද්ගල ක්‍රියාවක් දැයි විමසීම පිණිස විශේෂ ‍පොලිස් පරීක්ෂණ ද ඇරඹිණ. එහෙත් ඒවායින් ද නිගමනය වූයේ එම ක්‍රියාවනට සම්බන්ධ පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් සොයා ගත නොහැකි බවකි. මෙම පුවත සිසුන් දෙගුරුන් සහ සෙසු පාර්ශ්වයන් වෙතින් ජනමාධ්‍ය වෙත වාර්තා වනු ලදුව ‘මහනුවර බාලිකා පාසලක ‍ලේ හලන භූතයෙක්’ ආදී සිරස්තලවලින් යුතුව ඒවා ‍පොදු සමාජය වෙත සම්ප්‍රේෂණය විණි. එම විද්‍යාලයේ සිසු ගුරු දෙගුරු ආදී පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් එම විදුහ‍ලේදී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පවා සංවිධානය කරන ලද්දේ මෙම අද්භූත උවදුර දුරලන පිණිසය.
මෙම භූත සිදුවීම කමෛන් වර්ධනය වන අතරේ මෙහි සියලු විස්තර දුරකථනය මගින් මාවෙත සැලකොට සිටියේ එම පන්තියේ ඉගෙනුම ලබන සිසුවියකගේ මවක විසිනි. ඒ අනුව එම භූත සිද්ධිය පිළිබඳ ස්ථානීය විමර්ශනයක් කොට ඒ අබිරහස හෙළිදරව් කරන ලෙස එම මව ම’වෙතින් ඉල්ලා සිටියාය. නමුදු 2001 මාර්තු මාසයේ මුල් සතියේ දිනයෙක ඒ සම්බන්ධයෙන් එම විදුහලෙන් කෙරුනු දුරකථන විමසීමකදී මට අසා ගත හැකි වූයේ සතුටුදායක පුවතක් නොවේ. එනම් දැනට පවතින තත්ත්වය යටතේ කුමන හේතුවක් මත වත් බාහිර පුද්ගලයන් පාසලට ඇතුළු කර නොගැනීමට සාමුහික තීරණයක් ගෙන ඇති බවකි.
ඒ අනුව මගේ අනන්‍යතාවය හුවා දක්වමින් පාසලට ඇතුළු වීමට මා හට නොහැකි විණි.
නමුදු එම පාස‍ලේ බෞද්ධ වැඩසටහන්වලදී දේශන පැවැත්වූ දේශකයකු පිළිබඳව අපි දැන සිටියෙමු. එම විද්‍යාලය හා යම් සම්බන්ධයක් පැවැත්වූ ඔහු එම විදුහලට ආගන්තුකයකු නොවිණි. එබැවින් ඔහුට අපගේ මෙම අවශ්‍යතාවය පහදා දුන් මම අප නියෝජිතයකු හට එම පාසලට ඇතුළු වීමට ඉඩ දුන හොත් එම භූතයා දඩයම් කරගත හැකි යැයි ද කීවෙමි. එහෙත්, ඒ බව එම විදුහලට දැන් වූ ඔහු වෙතින් අපට ලැබුණේ ද එතරම් සතුටුදායක පණිවුඩයක් නොවේ. දැනට ක්‍රියාත්මක එම තහනම වෙනස් නොකළ හැකි යැයි පාලනාධිකාරිය පවසන බවත් එම පාස‍ලේ බෞද්ධ වැඩසටහන්වලට සම්බන්ධ පුද්ගලයකු වන තමන්ට නම් එහි යාමට ඊමට කිසිදු තහංචියක් නොමැති බවත් ඔහු අපට දන්වා සිටියේ අපට උපකාර කිරීමට නොහැකි වීම පිළිබඳව සිය කනගාටුව ද පළ කරමිනි. කෙසේ හෝ භූත සිද්ධියෙන් පසු ඔහු ද එම විදුහලට ගොස් තිබුණේ නැත. එමෙන්ම තමන් බොදු දෙසුම් පවත්වා ඇති එම විදුහලට භූතයකු කඩා වැදී ඇති එම මොහොතේ ඒ සම්බන්ධයෙන් විමසා බැලීම ඔහුගේ යුතුකමක් වූ බව ද නොරහසකි. මම ඒ බව ඔහුට විශේෂයෙන් මතක් කර දුන්නෙමි. ඒ අනුව එම විදුහ‍ලේ සිසුවියන් ගුරු මණ්ඩලය සහ දරුවන්ගේ දෙමාපියන් පමණක් නොව අසන සියලුම දෙනා බියටත් තැති ගැන්මටත් පත් කළ එම ‍ලේ ගලන භූතයා සොයා ඔහු 2001 මාර්තු 26 සඳුදා පෙ.ව. 18.15ට නිරාබාධිතව එම විදුහල් ගේට්ටුවෙන් ඇතුළට පිවිසියේ සිය ‘හිතවතකු’ ද සමගිනි.
එසේ අපගේ අනුදැනුම සහ මග පෙන්වීම මත එම දේශකයා සමග ඔහු හා එම විදුහලට පිවිසි ‘හිතවතා’ එම භූත දඩයම සඳහා සැදී පැහැදී ගත් මනැසින් යුතු රැජින කර්තෘ මාණ්ඩලික සුරංජිත් ගුණසේකර බව ඔහු හා අපහැර අන් කිසිවකුත් දැන සිටියේ නැත.

- තිලක් සේනාසිංහ


Share this article with your friends