Chitika Smowtion 468x60


Wednesday, October 24, 2012

විගණන අධිකාරි ලලිත් අඹන්වලට ඇසිඩ් ගැසූ 07 දෙනාම හිරේ යවයි




විගණන අධිකාරි ලලිත් අඹන්වල මහතාට ඇසිඩ් ගසා ඔහුගේ මරණය සිදු කරන්නට උත්සහ දැරී යැයි යන අධි‍ චෝදනා ලබා සිටි විත්තිකරුවන් හත් දෙනා සියලු චෝදනාවලට වරදකරුවන් බව මහනුවර පළාත්බද මහාධිකරණ විනිසුරු ප්‍රිතී පද්මන් සූරසේන මහතා අද (24) තීන්දු කළේය.2002 මැයි මස 20 වැනිදා මහනුවර අස්ගිරිය ප්‍රදේශයේ දී විගණන අධිකාරි ලලිත් අඹන්වල මහතාට ඇසිඩ් ගසා තිබුණි. එම ඇසිඩ් ප්‍රහාරය හේතුවෙන් ඒ මහතා බරපතල තුවාල ලැබූ අතර ජීවිතයත් මරණයත් අතරේ සෑහෙන කාලයක් සටන් කරමින් සිට වෛද්‍යවරුන්ගේ දක්ෂතාව නිසා ජීවිතය බේරා ගන්නට හැකි විය. එහෙත් ඇසිඩ් ප්‍රහාරයෙන් ඒ මහතාගේ ඇසක් අන්ධ වී ගියේය. මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් 07 දෙනෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබිණ. අධිචෝදනා භාර දීමෙන් පසු පිළිවෙලින් මෙම විත්තිකරුවන් දොන් ආනන්ද මුණසිංහ, වාසල මුදියාන්සේලාගේ ආනන්ද වීරසිංහ,මොහොමඩ් රාසික් මොහොමඩ් රිහාන්,හුසේන් සෙයියදු සාෆි,මොහොමඩ් සාෆි,හිරිපිටියේ ගෙදර ඕමාර් ලෙබ්බේ මරික්කාර් මොහොමඩ් නිල්ෆර්,මොහොමඩ් ජුනයිඩීන් මොහොමඩ් රියාල් ඉෆ්රූල් රහුමාන් සහ මොහොමඩ් හනීෆා මොහොමඩ් ඉමිටියාස් වශයෙන් නම් කෙරුණි. මෙම විත්තිකරුවන්ට එරෙහිව ඇසිඩ් ගැසීම,ඇසිඩ් ගැසීමට කුමන්ත්‍රණය කිරීම,මිනිමැරීමට තැත් කිරීම, ඊට අනුබල දීම ඇතුළු අධිචෝදනා අටක් භාර දෙනු ලැබිණ. අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා ලලිත් අඹන්වල මහතා වෙනුවෙන් පෙනී සිටියේය.ඒ මහතාට ඇසිඩ් ගසා ඔහු මරා දැමීමට තැත් කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවෝ සාමුහිකව චෝදනා ලැබ සිටියහ. 

මොවුන් සියලු දෙනා එම චෝදනාවලට වරදකරුවන් වූහ. 01 වැනි චෝදනාවට චූදිතයන් හත් දෙනාටම වසර 10ක බරපතල සිර දඬුවම් නියම කෙරුණ අතර,රුපියල් ලක්ෂ 02ක් බැගින් දඩ මුදලක් ද නියම කෙරිණ. දඩය නොගෙවන්නේ නම් බරපතල වැඩ ඇතිව තවත් වසර දෙකක් බැගින් සිර දඬුවම් නියම කළේය. 02 වැනි චෝදනාවට වරදකරුවන් වූ 05,06 සහ 07 වැනි චූදිතයන්ට අවුරුදු විස්සක් බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් පනවන ලදි. ඔවුන්ට ද රුපියල් ලක්ෂ 02 ක දඩයම් නියම විය. එය නොගෙවන්නේ නම් දෙවසරක බරපතල වැඩ සිහිත සිර දඬුවම් නියම කෙරිණ. 03 වැනි චෝදනාව සම්බන්ධයෙන් 03 වැනි විත්තිකරුට අවුරුදු විස්සක බරපතල වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂ දෙකක දඩයක් නියම විය.



එම දඩය නොගෙවන්නේ නම් තවත් දෙවසරක බරපතල සිර දඬුවම් නියම කෙරිණ. 04 වැනි චෝදනාව සම්බන්ධයෙන් 03 වැනි චූදිතට බරපතල වැඩ සහිත තවත් විසි අවුරුදු සිර දඬුවමක් ද නියම විය. 02,03,04,05,06,07සහ 08 යන චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන්ට පනවන ලද බරපතල වැඩ සහිත සිර දඬුවම් එක විට ගෙවී යන ලෙස නියම කළේය. මෙම ඇසිඩ් ප්‍රහාරයට මුල් වූ 03 වැනි විත්තිකරුට රුපියල් ලක්ෂ 50 වන්දියක් ලලිත් අඹන්වල මහතාට ගෙවන ලෙස නියෝග කළේය. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17 (06) වගන්තිය අනුව මෙම වන්දි මුදල දඩ මුදලක් වශයෙන් අධිකරණයට අයකර ගෙන එය ලලිත් අඹන්වල මහතාට ලබා දීමට පියවර ගන්නා ලෙසට මහාධිකරණ විනිසුරුතුමා නියෝග කළේය. එය නොගෙවන්නේ නම් තවත් වසර 03ක බරපතල වැඩ සහිත සිර දඬුවමකට විත්තිකරු යටත් කළේය.


- ගයා වන්නිආරච්චි




Share this article with your friends