Chitika Smowtion 468x60


Saturday, October 6, 2012

අරුම පුදුම වැසි වැටුණ හැටි

බටහිර ජාතීන් නොකඩවා වැටෙන වර්ෂාව හඳුන්වන්නේ ‘බලු බළල් වැස්ස’(RAINING CATS AND DOGS) යනුවෙනි. මෙයින් අදහස් වන්නේ තද වැස්ස සමග බලු බළල් ආදී සතුන්ද ඇද වැටීමේ ප්‍රවණතාවක් ඇති බවයි. එවැනි අවස්ථාවක් පිළිබඳ ආරංචි නැති නිසා බලු බළල් වැස්සද නා කපන වැස්ස වගේ නිකම්ම නිකම් මිථ්‍යා අදහසක් බව පැවැසිය හැකියි.


එසේ වුවද වැස්ස සමග අයිස් කැට බිමට පතිත වීමද සාමාන්‍ය සංසිද්ධියක්. අයිස් කැට පමණක් නොව තද වර්ෂාව සමග මසුන්, කෘමීන්, කුරුල්ලන්, මැඩියන්, ඉස්ගෙඩියන් ආදී සතුන් ඇද වැටීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි.
ඔබ මෙවැනි සිද්ධි අසා හෝ දැක ඇතිවාට සැකයක් නැහැ. මෙලෙස සතුන් වැටෙන්නේ මුහුදු ජලය තද සූර්යය රශ්මියෙන්
වාෂ්පීකරණය වීමේදී ඒ සමග මුහුදේ වසන ජලජ ජීවීන්ද අහසට ඇදීයාමේ ප්‍රවණතාවක් පැවැතීමයි. එලෙස අහසට රැගෙන යන සතුන් ජලවාෂ්ප ජලබින්දු බවට පත් වී ‍පොළොවට ඇද හැළෙන විට ඒ සමග බිමට පතිත වේ.

එසේ වුවද මෙයට වඩා විශාල සතුන් හෝ ද්‍රව්‍ය වර්ෂාව සමග බිමට පතිත වූ බවට පළවන ආරංචි සමහර විට ව්‍යාජයයි කියා බැහැර කිරීමටද ඉඩ තිබේ. එසේ වුවද කලාතුරකින් හෝ එවැනි අරුම පුදුම වැසි වැටුණු සත්‍ය අවස්ථා අතීතයේ වාර්තා වී තිබේ.


අරුම පුදුම සූකිරි වැස්සක් පිළිබඳව වාර්තා වී ඇත්තේ කැලිෆෝනියාවේ නාපා නගරයෙනි. ඒ 1857 වසරේ ගිම්හාන සෘතුවේදීය. වැසි ජලය සමග ඇද වැටුණු සෙ.මී. 3-4 ප්‍රමාණයේ මෙම සුදු පැහැති කැට මුලදී සැකකර ඇත්තේ විශාල අයිස්කැට ලෙසටය. එහෙත් මේවා සූකිරි බව හඳුනාගෙන ඇත්තේ වැස්ස වැටී ස්වල්ප වේලාවකට පසුවය. මෙය කුඩා දරුවන්ට ස්වර්ණමය අවස්ථාවක් වූ අතර ඔවුන් මහ වැස්සේ තෙමි තෙමී සූකිරි කැට අහුලනු දැකගත හැකි වී තිබේ.


1794 දී ප්‍රංශයේ ‘‍ලේ‍ලේන්’ නැමැති පිටිසර ගම්මානයට වැටුණු පැය භාගයක පමණ වැස්සද එවැනි අරුම පුදුම වැස්සක්් විය. එය ඉස්ගෙඩි වර්ෂාවකි. මෙම ඉස්ගෙඩි වර්ෂාව නිසා යුද භටයන්ට සිය හිස් වැසුම් පැළඳ සිටීමට නොහැකි වූ බවද සඳහන්. මේ වනවිට ප්‍රංශය හා ඕස්ට්‍රියාව අතර ආරම්භව තිබූ යුද්ධය දරුණු අතට හැරී තිබුණු අතර භටයන්ගේ හිස් වැසුම් මතට වැටුණු ඉස්ගෙඩියන් සිරුරු තුළට රිංගායාම නිසා යුද්ධ කිරීමටද බාධා සිදුව තිබේ. ඔවුන්ට වර්ෂාවෙන් තෙමි තෙමී ඉස්ගෙඩියන් ඉවත් කිරීමට කාලය ගත කරන්නට සිදු වී තිබේ.


මේ අතර විශාල මසුන් වර්ෂාව සමග පතිත වූ අවස්ථාද දැක ගන්නට ලැබි ඇත. මෙලෙස මසුන් වැස්ස සමග ලැබිම ඒ ප්‍රදේශවල ජනයාට අමතර ආදායම් මාර්ගයක් බවට පත්විය. 1878 සැප්තැම්බර් මස 11 වනදා කැලිෆෝනියාවේ’ ‘බටි’ ප්‍රාන්තයට මසුන් පතිත වී තිබේ. එසේම 1974 වසරේ පෙබරවාරි 20 දා ඇද හැලුණු මිරිදිය මත්ස්‍ය වැස්සක් පිළිබඳවද වාර්තා වේ. ඒ ඕස්ට්‍රේලියාවේ ‘ කිලර් නිස්ටේෂන් ’ නමැති ගමටයි.
මසුන් 150කට වැඩි ප්‍රමාණයක් විනාඩි දෙකක වැස්සක් තුළ ඇදහැලීම ඒ ගම්වැසියන් පුදුමයට පත් කරන්නක් විය. ඔවුන් එය තමන්ට දෙවියන් දුන් ධනයක් බවට විශ්වාස කර ඇති බවයි කියන්නේ. 

කැලිෆෝනියාවේ සැක්‍රිමෙන්ටෝ ප්‍රදේශයට 1870 වසරේ අගෝස්තු මාසයේ ඇද හැලුණු වර්ෂාව ඉතාම අද්භූත එකක් ලෙස සැලකේ. එරට ‘සැක්‍රිමෙන්ටෝ රි‍පෝට්ස්’ නමැති පුවත්පත වාර්තා කළ අයුරු තද වර්ෂාව සමග හූනන් දහස් ගණනක් බිමට පතිත වූ බවයි.
ස්පයිසර් නම් නීතිඥයා තම නිවෙස ඉදිරිපස හෑරී තිබූ කුඩා වළකින් වර්ෂාවෙන් පසු හූනන් පන්සියයක් පමණ සොයාගත් බව එහි පළවිණ. මෙම පුවත්පත අද ද ඇමෙරිකාවේ රාජ්‍ය ‍ලේඛනාගාරයේ තැන්පත් කර තිබේ.


2001 ජූලි 25 දා සිට සැප්තැම්බර් 23 දක්වා රතු පැහැති වැස්සක් ඉන්දියාවේ ප්‍රන්තයක් වන කේරළයට ඇදවැටුණු බව කියැවේ.

1978 අප්‍රේල් 23 වනදා ‘ඩෙනයි ‘ප්‍රාන්තයේ ‘රිප්ලි’ නගරයට ඇද වැටුණ කිලෝ 11ක් පමණ බර වූ කොළපාට අයිස් කැටයක්. මෙම අයිස් කැටයට වාසනාවට වගේ කවුරුවත් යට වී නැහැ. එසේ යට වූවානම් තුවාල සිදු වන්නට පමණක් නොව මරණයට පවා හේතුවනු ඇති බවයි පැවැසෙන්නේ.

- යසවර්ධන රුද්රිගු



Share this article with your friends