Chitika Smowtion 468x60


Sunday, October 14, 2012

අනර්කලී ලංකාව 'මාර්කට්' කරන්න යයි

ජනපතිගෙන් හිරුණිකාට අවවාදයක්
ජනපති මහින්ද රාජපක්ෂ ඉකුත් අඟහරුවාදා මීපේ ප්‍රදේශය බලා ගියේය. ඒ එහි ඉදි කළ දකුණු ආසියා සංවර්ධන හා තොරතුරු තාක්ෂණ මධ්‍යස්-ථානය විවෘත කිරීම සඳහාය.


 

එය විවෘත කිරීමෙන් අනතුරුව ජනපතිවරයා ඒ අසලම තිබූ පාදුක්ක සති ‍පොළටද ගොඩ වූයේය. එහි වෙළෙඳුන් සමග කතා කළ ඔහු සති‍පොළේ පවතින අඩුපාඩු පිළිසකර දෙන බවටද ‍පොරොන්දු විය. අනතුරුව හෙලිකොප්ටරයට නැගී කොළඹ එන අතරේ ජනපතිවරයා තමන්ට තිඹිරි ගස්යාය ‍පොලිස් ක්‍රීඩා පිටියට ගොඩ බැසීමට අවශ්‍ය බව දැනුම් දුන්නේය.ඒ අනුව ගුවන් නියමුවෝ යානය ‍පොලිස් පාක් වෙත ගොඩ බැස්සූහ. අනතුරුව ජනපතිවරයා එතනින් නික්ම ගියේ එදින පැවැත්වෙමින් තිබූ, ඝාතනයට ලක් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ වර්ෂ පූර්ණ පින්කමටය.
පින්කමට වැඩම කර සිටි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත සහ මැදගොඩ අභයතිස්ස යන හිමිවරුන් සමග ජනපති-වරයා කතාබහ කළේය. එහිදී ජනපතිවරයා හිරුණිකා ප්‍රේමචන්ද්‍රගෙන් ඇගේ වර්තමාන අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසුවේය. අනතුරුව ජනපතිවරයා මෙසේ පැවසුවේය. දුව මම නාමල්ටත් කිව්වේ ඉගෙනගෙන ඉවර වෙලා දේශපාලනය කරන්න කියලා. ඔයත් මුලින් ඉගෙන ගන්න. ඒවා ඉවර කර ගන්න.

අනර්කලීගේ අපූරු අදහස

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ පළාත් සභා නියෝජිතයින් හා පළාත් පාලන නියෝජිතයින් සියලු දෙනා අවස්ථා දෙකක දී ඉකුත් සතියේ දී කොළඹට කැඳවා තිබුණි. ඊට හේතුව ඉදිරි අයවැය පිළිබඳව ඔවුන්ගේ අදහස් දැන ගැනීමටය. මුලින්ම කැඳවා තිබුණේ පළාත් සභා නියෝජිතයින්ය. මෙහිදී තරගයට මෙන් ඔවුහු අදහස් දැක් වූහ. අනර්කලී ආකර්ෂා පළාත් සභා මන්ත්‍රීවරිය කියා සිටියේ හැකි තරම් ශ්‍රී ලංකාව මාකට් කළ යුතු බවය. සියලු දෙනාගේ අදහස් අසා සිටි ජනපතිවරයා සිනාසෙමින් මෙසේ පැවසුවේය.
හැමෝම වියදම් කරන හැටි ගැන විතරනෙ කිව්වේ. කවුරුත් හම්බ කරන හැටි කිව්වේ නෑනේ.

ශිෂ්‍යත්වයෙන් පළමුවැනියාට සුපිරි මෝටර් රියක්

අම්ජාඩ් නමැති පළාත් සභා මන්ත්‍රීවරයා මේ අතරේ ජනපතිවරයා වෙත පැමිණ චෙක්පතක් පිළිගැන්වූයේය. සර් මේක ශිෂ්‍යත්වයෙන් පළවෙනි තැන ගත්ත ළමයට දෙන්න. මේකෙන් මේ ළමයට ත්‍රීවීල් එකක් හරි ගන්න පුළුවන්. මෙහෙ චෙක් තියා ගන්න බෑ. ඔයාම ගිහින් ඒ ළමයට ඕක දෙන්න. ජනපතිවරයා කීවේය. සර් ලබන පාර මම ශිෂ්‍යත්වයෙන් පළවෙනියට බි එම් ඩබ්ලිව් එකක් අරන් දෙනවා. බි එම් ඩබ්ලිව් අරන් දුන්නට ඔය ළමයට ඕක එලවන්න පුළුවන්යැ ජනපතිවරයා සිනාසුණේය. නෑ සර් ඒ ළමයට ඕන නම් ඒක විකුණන්න පුළුවන්නේ. පළාත් සභා මන්ත්‍රීවරයා පැවසුවේය.

දූෂිත සංවිධායකවරුන් ශ්‍රිලනිපයෙන් ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඉකුත් සතියේ රැස් වූ අවස්ථාවේ දී දූෂණ චෝදනා එල්ල වූ ප්‍රාදේශීය සභා පළාත් සභා හා ආසන සංවිධායකවරුන් ඉවත් කිරීමට තීරණය විය. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට වෙනත් පක්ෂ වලින් ඡන්දය ඉල්ලූ සාමාජිකයන් ඉවත් කිරීමටද තීරණය විය. මේ සාකච්ඡා මෙසේ යන අතරේ උපාලි කොඩිකාර පළාත් සභා මන්ත්‍රීවරයා නිතර කතා කිරීමට උත්සාහ ගත්තේය. බැරිම තැන ජනපතිවරයා උපාලි කොඩිකාරට මෙසේ කීවේය.
උපාලි අපට මේ වැඩේ කරගෙන යන්න ඉඩ දෙන්නෙ නැද්ද? එවිට උපාලි නිහඬ විය. 

මෙවර කැබිනට් මණ්ඩලයේ දී ඉදිරි මාසයේ තානාපති කාර්යාලවල උත්සව සහ සාද සඳහා යන අමාත්‍යවරුන්ව නම් කරන අතරේ ජනපතිවරයා කියා සිටියේ තානාපති කාර්යාල වලදී ඉංග්‍රීසියෙන් පමණක් නොව සිංහලෙන්ද කතා කරන ලෙසය. මෙහිදී ජී. එල්. පීරිස් අමාත්‍යවරයා තමන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ සැසිවාරයට ගිය ගමනේ දී අත්දැකීම් පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරමින් අදහස් දැක්වූයේය.

ඩලස්ගෙන් බැන් කී මූන්ට යෝජනාවක්

මෙම සංචාරයට එක් වූ ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා 2014 ලෝක තරුණ සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ ‍ලේකම් බෑන් කී මුන් සමග පැවති සාකච්ඡාව කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේය.
ආසියාවේ රටක පළමු වරටයි මේ සමුළුව පැවැත්වෙන්නේ. එක්සත් ජාතීන්ගේ මහ ‍ලේකම්වරයා පැවසුවා ඒ සඳහා උපරිම උදව් කරන බව වගේම ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු සම්බන්ධයෙනුත් උදව් කරන බව.

බැසිල් කාර්ය බහුල වෙයි

ඉකුත් සතිය බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට ඉතා කාර්යබහුල විය. ඊට හේතුව පළාත් පාලන ඡන්දයේ දී මනාප ක්‍රමය ඉවත් කිරීම සඳහා වූ කෙටුම්පත ඉදිරිපත් කිරීමටත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්න විසඳීමට මැදිහත් වීමටත් සිදුවූ නිසාය. මනාප ක්‍රමය ඉවත් කිරීම සඳහා නව කෙටුම් පතක් ඉදිරිපත් කිරීමට පක්ෂ අතර එඟතාවයක් නොතිබූ හෙයින් එම උත්සාහය වසර දහයක් පමණ කල් ගත වූයේය. ඉකුත් වසර දෙක පුරා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා එම කටයුත්ත කිරීමට මූලික වශයෙන් දායක වූයේය. ඒ අනුව විවිධ පක්ෂ හා කණ්ඩායම්වල අදහස් අනුව පනත සකස් කර ඒ පිළිබඳව අවසන් සාකච්ඡාව සඳහා පසුගියදා බැසිල්ගේ ප්‍රධානත්වයෙන් රැස් වූයේය. එයට දිනේෂ් ගුණවර්ධන අතාවුද සෙනෙවිරත්න රවුෆ් හකීම් , සජිත් ප්‍රේමදාස, ජෝශප් මයිකල් පෙරේරා ජෝන් අමරතුංග, විජිත හේරත් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මෙහිදී රවුෆ් හකීම් නව මැතිවරණ ක්‍රමය යටතේ යටතේ පිහිටුවන ජාතික කමිටුවට මුස්ලිම් නියෝජනයක් අවශ්‍ය බව ඉල්ලා සිටියේය. එහෙත් එය ප්‍රතික්ෂේප කරමින් බැසිල් පැවසුවේ මෙය ජාතික කමිටුවක් බැවින් ජාතිය අනුව බෙදිය නොහැකි බවත් කෙසේ නමුත් සුළු ජාතීන්ට ද අවස්ථාව අනිවාර්යයෙන් දෙන බවය. එවිට රාවුෆ් හකීම් එය පනතට ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටියේය.
දැන් ඕවා පනතට දාන්න බෑ. මේ රට අවුරුදු විස්සක් විසිපහක් තිස්සේ මනාප ක්‍රමය නිසා අවුලකට ගියා. එකඟතාවයකට එන්න අවුරුදු දහයක් ගියා. දැන් ඕවා දාන්න ගියොත් මේක විසඳගන්න තවත් අවුරුදු දහයක් යයි. බැසිල් කීවේය. 

අනතුරුව හකීම් නැවත මෙම ක්‍රමය යටතේ සමානුපාතික නියෝජනයට වෙන් කර ඇති සියයට තිහක ප්‍රමාණය හතළිහ දක්වා වැඩිකරන ලෙස ඉල්ලා සිටියේය. 

විහිළු කරන්න එපා. ජනාධිපතිතුමත් එක්ක කතා කරලා ගෲප් එකත් එක්ක කතා කරලා සුළු පක්ෂ එක්කත් කතා කරලා පනත ඉදිරිපත් කරන්න. පැය දෙකක් තුනක් තියෙද්දී මෙහෙම සංශෝධන ගේන එක වැරදියි නේද? අනික මේක ශේ්‍රෂ්ඨාධිකරණයත් අනුමත කරලා තියෙන්නේ යැයි කියූ බැසිල් ආසනයෙන් නැගිට යාමට උත්සාහ ගත්තේය. එවිට සෙසු නියෝජිතයෝ ඔහුව වැළැක්වූහ. අනතුරුව නැවත අසුන් ගත් බැසිල් සජිත් ප්‍රේමදාසගෙන් තව ප්‍රශ්න තිබේදැයි විමසුවේය. එවිට සජිත් කීවේ කාන්තා නියෝජනය සියයට විසි පහ දක්වා වැඩි කළ යුතු බවය. 

ඒක කරන්න වත් දැන් වෙලාවක් නෑනේ. ඔයාලා කැමති නම් ඔයාලගෙ පක්ෂයෙන් එම ප්‍රමාණය ඉදිරිපත් කරන්න. දැන් ඕක පනතට දාන්න ගියොත් වෙන්නේ තවත් මේක ඇදෙන එකයි. බැසිල් පැවසුවේය. අනතුරුව සියලු දෙනාගේ එකඟතාවයෙන් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය විය.

පසුගිය සතියේ දිනෙක අම්බලන්ගොඩ ආසනය හැම තැනම නිල් පාට කොඩිවලින් සරසා තිබුණි. ගම් මට්ටමින් පක්ෂ කාර්යාල වල රබන් ගසන අයුරු අසන්නට ලැබුණි. ඒ එම ආසනයේ ශ්‍රී ල නි ප ප්‍රධාන සංවිධායක හා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා සංවිධානය කර තිබූ පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේය. මෙම වැඩපිළිවෙළ යටතේ නව පක්ෂ සාමාජිකයන් දස දහසක් බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කළ අතර ඔවුන්ට සංග්‍රහ කිරීම සඳහා ආසනය පුරා පක්ෂ කාර්යාලවල කැවුම් කිරිබත්ද සූදානම් කර තිබුණි. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් ශාන් පැවසුවේ දිවයිනේ සියලු ආසන අතරින් සන්ධානයට වැඩිම ඡන්ද ප්‍රතිශතය වන සියයට 67.29 ක් ලබා දුන් අම්බලන්ගොඩ ආසනයේ එම ප්‍රතිශතය තව දුරටත් වැඩි කිරීම තම අරමුණ බවය.

රනිල් කරුට කතා කරන්න නොදෙයි
එජාප නායක රනිල් වික්‍රමසිංහ පසුගියදා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ශිෂ්‍ය සංගම් හා වෙනත් දේශපාලන ක්‍රියාකාරිකයින් රැසක් පාර්ලිමේන්තුවේ කාරක සභා අංක එක කාර්යාලයට කැඳවා තිබුණි. ඒ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කිරීමටය. මෙහිදී එජාප නායකයා ප්‍රකාශ කළේ කල් නොමරා ආණ්ඩුවේ ස්ථාවරය දැනගත යුතු බවයි. පසුගිය දිනවල ඇමරිකාවේ හා කැනඩාවේ සංචාරයක යෙදුණු එජාප මහ ‍ලේකම් තිස්ස අත්තනායක නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ ඉකුත් බ්‍රහස්පතින්දාය. මේ ගමනේ දී ඇමරිකාවේ වැඩ වසන ශ්‍රී ලාංකීය භික්ෂූන් වහන්සේලා මුණ ගැසී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව ද සාකච්ඡා කළේය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවේ දී එජාප නායකයාගේ ප්‍රධානත්වයෙන් රැස් විය. මෙහිදී මුලින්ම සාකච්ඡා වූයේ මෙම සතියේ ඉදිරිපත් කිරීමට නියමිත පළාත් පාලන පනත පිළිබඳවය. මෙහිදී එම විවාදය අවස්ථාවේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වන කථිකයන්ගේ ලැයිස්තුව සකස් කරන විට හිටපු එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය තමන්ටද කතාවක් ඉල්ලා සිටියේය. 

ඔය පනත 2002 දී ඉදිරිපත් කළේ මම. ඒ නිසා මටත් අවස්ථාවක් දෙන්න. කරු ඉල්ලා සිටියේය. එහෙත් එජාප නායකයා එය ප්‍රතික්ෂේප කළේය. 

නෑ කාටවත් අවස්ථාව දෙන්නේ නැහැ. අවස්ථාව දෙන්නේ සංශෝධන ඉදිරිපත් කළ අයට විතරයි.
කරු නැවත අවස්ථාව ඉල්ලා සිටියද එය ලැබුණේ නැත. එබැවින් කරු මෙසේ කියමින් නැවත අසුන් ගත්තේය.
දැන් මට අවස්ථාව දෙන්නේ ශෝක ප්‍රකාශවලට විතරද?

සජිත්ගේ යෝජනාවටත් නායකයා විරුද්ධ වෙයි

අනතුරුව සභාවේ සාකච්ඡා වූයේ අධිකරණ සේවා කොමිසමේ ‍ලේකම්වරයාට පහර දීම හා අධිකරණ ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳවය. මෙහිදී එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ මේ අවස්ථාවේ දී පක්ෂය පාරට බැස අධිකරණය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවය. එහෙත් එජාප නායකයා එය දැඩිව ප්‍රතික්ෂේප කළේය.

නෑ නෑ අපි ඒකට මැදිහත් වෙන්න ඕන නෑ. අධිකරණය අපටත් වැරදි කළා. සරත් එන්. සිල්වා දුන්නු තීන්දු නිසයි අපෙන් මන්ත්‍රීවරු ආණ්ඩුවට ගියේ. ඒ නිසා අපි පැත්තකට වෙලා ඉම්මු
කෙසේ නමුත් නැවතත් සජිත් ප්‍රේමදාස රංජිත් මද්දුම බණ්ඩාර, රෝසි සේනානායක හා සුජීව සේනසිංහ ඇතුළු පිරිස පක්ෂය මෙම ප්‍රශ්නයට මැදිහත් විය යුතු බවට තර්ක කළහ. එහෙත් එජාප නායකයා එය ප්‍රතික්ෂේප කළේය.

ජාතික දුම්රිය සේවක සංගමයේ වාර්ෂික සභා රැස්වීම ඉකුත් බදාදා සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණ. මෙම අවස්ථාවට අදාළව ප්‍රධාන ශාලාවේ එජාප නායක රනිල් වික්‍රමසිංහගේ සහ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගේ ඡායාරූප ඇතුළත් බැනරයක් එල්ලා තිබුණි. එහෙත් හදිසියේම එහි පැමිණි සිරිකොත පරිපාලන නිලධාරියෙකු එය වහාම ඉවත් කරන ලෙස වෘත්තීය සමිති නිලධාරීන්ට බැණ වැදුණේය.
තමුසෙලා සජිත්ගේ සල්ලි වලට යට වෙලා මේවා දාන්න හදන්නේ. මට ඉහළින් කිව්වා මේක අයින් කරලා දාන්න කියලා. ඔහු පැවසුවේය. වෘත්තීය සමිති නිලධාරීන් එම බැනරය සකස් කළේ සජිත් ගේ මුදලින් නොව තමන්ගේ වියදමින් බව පැවසුවද එය පිළිගත්තේ නැත. එබැවින් එම බැනරය ඉවත් කිරීමට සිදුවිය.

උපාධිධාරී භික්ෂුන්ගේ ප්‍රශ්නයක්

අභ්‍යාසලාභී උපාධිධාරී පැවිදි සංගමයේ නියෝජිත භික්ෂූන් වහන්සේලා පිරිසක් පසුගිය දා ජාතික හෙළ උරුමයේ නායකත්වය මණ්ඩලය හමුවීමට වැඩම කළහ. උන්වහන්සේලා පැමිණ සිටියේ මෑතක දී පත් වීම් ලැබූ භික්ෂූන් වහන්සේලා මුහුණ දී සිටින ගැටලු පිළිබඳව දැනුවත් කිරීමටය. 

නායක හාමුදුරුවනේ මෑතක දී පත් වීම් ලැබුණු උපාධිධාරීන් අතර භික්ෂූන් වහන්සේලා තුන්සිය පනහක් විතර ඉන්නවා. උන් වහන්සේලාව දැනට ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලවල නගර සභා වල සහ විවිධ අමාත්‍යංශවල සේවාවන්ට අනුයක්ත කර පුහුණුවට යොදවලා තියෙනවා. ඒත් අපට ඒ කාර්යාලවල කිසිදු පහසුකමක් නැහැ. සමහර තැන්වල මේසයක් පුටුවක් වත් නැහැ. සමහර ස්ථාන භික්ෂූත්වයට නොගැළපෙන තැන්. අපට නිසි ගරුත්වයක් පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. මේ ප්‍රශ්න නිසා මේ වන විට හතළිහකට ආසන්න පිරිසක් සිවුරු හැර ගිහින් තියෙනවා. මේ ගැන ඔබ වහන්සේලා ජනාධිපතිතුමාට කියලා විසඳුමක් ලබා දෙන්න. අභ්‍යාස ලාභී උපාධිධාරී පැවිදි සංගමයේ නියෝජිතයෝ ඉල්ලා සිටියහ. එයට පිළිතුරු දුන්නේ ඕමල්පේ සෝභිත හිමියෝය.
ඇයි ඉතින් ඔබ වහන්සේලා පිරිවෙන් ගුරු පත්වීම්වලට අකමැති. මහානායක හිමිවරු කියලා තියෙනවා. භික්ෂු ගරුත්වය රැක ගෙන කරන්න පුළුවන් හොඳම වෘත්තිය ගුරු වෘත්තිය කියලා. ඒ වගේම වෙන වෙන අමාත්‍යංශ වල රැකියා සුදුසු නැහැ කියලත් උන්වහන්සේලා ප්‍රකාශ කරල තියෙනවා. එහෙම කිව්වා කියලා සමහර අභ්‍යාසලාභී උපාධිධාරීන් මහ නා හිමිවරුන්ටත් දොස් කිව්වා කියලා මාධ්‍යවලට කියලා තිබුණා. මම විශ්වාස කරන්නේ අපට වඩාත් උචිත ගුරු වෘත්තිය කියලයි. නුසුදුසු තැන් වල සේවයට ගියාම අපට ඒ පිළිගැනීම හා ගෞරවය ලැබෙන්නේ නැහැ. ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ. හැඩිගල්‍ලේ විමලසාර හිමියන් පැවසුවේ අධ්‍යාපන අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, ආගමික කටයුතු අමාත්‍යංශය හා ජාතික උරුමයන් අමාත්‍යංශය වැනි අමාත්‍යංශ කිහිපයක් පමණක් භික්ෂූන් වහන්සේලාට සේවය කිරීමට උචිත බවය. මේ කතා බහට එක් වූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ කියා සිටියේ පරිසර අමාත්‍යංශයත් භික්ෂූන් වහන්සේලාට සේවය කිරීම සඳහා සුදුසු බවය. මෙම සාකච්ඡාව අවසානයේ දී අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියේ අභ්‍යාස ලාභී උපාධිධාරී භික්ෂූන් වහන්සේලාගේ මෙම ගැටලු පිළිබඳව තමන් ජනපතිවරයා හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන බවය.

අනුරගේ විශේෂ ප්‍රකාශයෙන් කොටසක් කපාදාලා

අධිකරණ සේවා කොමිසමේ ‍ලේකම් මංජුල තිලකරත්නට පහර දීමේ සිද්ධිය ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහට දැනුම් දුන්නේ විජිත හේරත්ය. ඔහුට ඒ බව දැනුම් දී තිබුණේ නීතිඥ සුනිල් වටගලය. 

අධිකරණ සේවා කොමිසමේ ‍ලේකම් මංජුල තිලකරත්නට ගල්කිස්සේ දී මැරයෝ ගහලලු. මුහුණෙ කැපුම් තුවාලත් තියෙනවලු. වාහනය නතර කරල තියෙද්දි තමයි හතර දෙනෙක් ඇවිත් එතුමාට ගහල තියෙන්නේ. එක් කෙනෙක් අතේ තුවක්කුවකුත් තිබිල. මේක අහම්බයක් වෙන්න බෑ. හොඳ ප්ලෑන් එකක් එක්ක සිද්ද වුණු දෙයක්. විජිත හේරත් ජවිපෙ නායකයාට කීවේය. එහෙමනම් ආණ්ඩුව බයක් සැකක් නැතුව අධිකරණයට අත තියලා තිබෙන බවයි පෙනෙන්නේ. මේ ආණ්ඩුවට තමන්ගේ බලය වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ. මේ වගේ තක තීරු ඔලමොට්ටල වැඩ නිසා තමයි ජාත්‍යන්තරයට ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න වලට මැදිහත් වෙන්න ඉඩ හදල තියෙන්නේ. නව නීදන් පිල්ලෙ ලා මානව හිමිකම් ගැන හොයන්න නියෝජිතයෝ එවන්නේ මේ වගේ ඔලමොට්ටල වැඩ නිසයි. අපි මේ සිද්ධියට හදිසි අවස්ථාවක් විදියට සලකා මැදිහත් වෙමු. මොකද නැත්නම් ආණ්ඩුව මේක යට ගහන්න උත්සාහ ගනීවි. සුනිල් වටගල සහෝදරයට ජාතික රෝහලට ගිහින් මේ ගැන හොයල බලන්න කියන්න. ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ උපදෙස් දුන්නේය. අනතුරුව විජිත හේරත් ඇමතුවේ ජවිපෙ ප්‍රධාන ‍ලේකම් ටිල්වින් සිල්වාටය. ඒ වන විට ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයේ පක්ෂයේ කටයුත්තට නියැලෙමින් සිටියේය. 

අපි මේකට විරෝධය පළ කරලා උද්ඝෝෂණයක් ලෑස්ති කරමු. මේක මංජුල තිලකරත්නට කරපු ප්‍රහාරයක් විතරක් නමෛයි. පසුගිය දවස්වල අධිකරණ කොමිසමටයි අධිකරණයටයි කරපු බලපෑම් වල තවත් දිගුවක්. ඒ නිසා අපේ විරෝධය පළ කරන ගමන් ජනතාව සිද්ධිය ගැන ඇත්ත අදහස් ලබා දෙන්න ඕන. ටිල්වින් සිල්වා පැවසුවේය.
මේ අතර ජාතික රෝහ‍ලේ සිට සුනිල් වටගල නැවත විජිත හේරත්ට ඇමතුවේය. 

විජිත සහෝදරයා සිද්ධිය මෙහෙමයි වෙලා තියෙන්නේ. මංජුල තිලකරත්න වාහනයේ ඉන්නකොට හතර දෙනෙක් ඇවිත් තුවක්කුව පෙන්නලා බය කරලා වාහනෙත් එක්කම ගෙනියන්නයි හදල තියෙන්නේ. ඒත් ඒක කරගන්න බැරිවෙලා තියෙන්නේ තිලකරත්න මහත්තයා කෝල් එකක ඉන්න ගමන් මේ ගැන අනිත් පැත්තේ ඉන්න කෙනාට දන්වලා තියෙන නිසයි. අනෙක තමයි එතුමා මේ වෙ‍ලේ කෑගහලා තියෙනවා. එතකොට මැරයෝ දුවලා. එහෙම නොවනව නම් තව ටිකෙන් මංජුල තිලකරත්නව අතුරුදහන් ලිස්ට් එකට ඇතුළත් වෙන්න ඉඩ තිබුණා. අනූනමයෙන් තමයි බේරිලා තියෙන්නේ. සුනිල් වටගල පැවසුවේය.

අනතුරුව පක්ෂයේ සියලු දෙනාගේ අනුමැතියෙන් උද්ඝෝෂණයක් පැවැත්වීමටත් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමටත් තීරණය විය. ඒ අනුව අනුර කුමාර දිසානායක වහාම විශේෂ ප්‍රකාශයක් සකස් කර පාර්ලිමේන්තුවට යැව්වේය. එහෙත් පසුව පාර්ලිමේන්තුවේ සේවකයෙකු මන්ත්‍රීවරයාට දැන් වූයේ එම විශේෂ ප්‍රකාශයේ විශාල කොටසක් කපා දමා ඇති බවය.
ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ කලාපීය සමුළුව කොළඹ පදනම් ආයතනයේ දී ඉකුත් හය හත දෙදින පැවැත්වුණි. මෙම සමුළුවට සහභාගි වූ ඉන්දියාව වියට්නාමය බංග්ලාදේශය හා නේපාලය ඇතුළු රටවල් කිහිපයක නියෝජිතයින්ට ජනතා විමුක්ති පෙරමුණ රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දුන්නේය. ඒ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දීය. මේ අවස්ථාවට ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය ප්‍රධාන ‍ලේකම් ඉන්දියාවේ මහා දේවන්ද සහභාගි වූයේය. 

ඔබ හැමෝම අපේ පක්ෂ ප්‍රධාන කාර්යාලයට සාදරයෙන් පිළිගන්නවා. ඔබේ පැමිණීම අපට ලොකු ආඩම්බරයක්. අපේ සහය කවදත් ලෝකයේ වැඩ කරන ජනතාවට ලබා දෙන්න අපි සූදානම්. ඉතින් අපේ ආරාධනාව පිළි අරගෙන ශ්‍රී ලාංකීය කෑම වේලක රස බලන්න කියලා. හැමෝටම ආරාධනා කරනවා. ජවිපෙ නායකයා සියලු දෙනාට ආරාධනා කළේය.
අපි ඒ ආරාධනාව බොහොම සතුටින් පිළිගන්නවා. ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයට ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත් වීම අපි ජාතිකවත් ජාත්‍යන්තරවත් දැකල තියෙනවා. විදෙස් රටවල දී වසන්ත සමරසිංහ සහෝදරයා මුණ ගැහෙනවා කතා කරනවා. අපි ඔබලාගේ මැදිහත් වීම අගය කරනවා. ඒ වගේම මේ සංග්‍රහයත් අපි බොහොම කැමැත්තෙන් පිළිගන්නවා. අපි හැමෝම බඩගින්නේ ඉන්න ජනතාවනේ. එහෙනම් ඉතින් අපේ වැඩේ ආරම්භ කරමු. සංග්‍රහ කමිටුව සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ සංඥාව ලැබෙන කම් බලා ඉන්නවා. මහා දේවන් සිනාසෙමින් පැවසුවේය. සංග්‍රහය අතරවාරයේ දී මහාදේවන් පැවසුවේ ආණ්ඩුවේ ඇමැතිකම් දරන වෘත්තීය සමිති නායකයින් කිහිප දෙනෙක් ගේ මැදිහත් වීමෙන් තමන්ට තනිවම කොළඹ තරු හෝටලයකදී රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දුන් නමුත් තමන් එවැනි සංග්‍රහයන්ට අකමැති බවය.

- නුවන් ගන්කන්ද





Share this article with your friends