තමිල්නාඩු ධීවරයින්ට පහරදීම් සම්බන්ධව ගැටලුව පිළිබඳව ශ්‍රී ලංකා රජය සමග දැඩිව ක්‍රියා කළ යුතු බව තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මිය, ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා වෙත දැනුම් දී තිබේ. ඇය මේ බව ප්‍රකාශකර ඇත්තේ ඊයේ (26) දෙදින නිල සංචාරයක් සඳහා තමිල්නාඩුව වෙත පැමිණි අගාමාත්‍යවරයා සමග රාජ් භවන්හි දී පැවතී සාකච්ඡාවකදීය.
මෙහිදී මහ ඇමතිනිය ඉල්ලීම් විශාල ප්‍රමාණයක් ඇතුළත් පිටු 18 න් යුත් සංදේශයක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත බාර දී ඇති අතර පෝක් සමුද්‍ර සන්ධියේ ධීවර කටයුතුවල යෙදෙන ඉන්දීය ධීවරයින්ගේ සම්ප්‍රදායික ධීවර අයිතීන් සුරක්ෂිත කිරීමට පියවර ගන්නා ලෙස ද එමගින් ජයලලිතා මහත්මිය අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සිදුකරන බව කියන ඉන්දීය ධීවරයින්ට පහරදීමේ සිදුවීම් අතරතුර එම ධීවර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධව ද ඇය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්ය.
පසුගිය මැයි මාසයේ දී තමන් බලයට පත්වීමත් සමග මෙවැනි පරහදීමේ සිද්ධි 30 ට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජයලලිතා මහත්මිය ප්‍රකාශ කර ඇත. අදාළ ගැටලු සම්බන්ධව එළඹෙන ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන සාකච්ඡාවල දී දැඩිව කටයුතු කළ යුතු බව ද ඇය වැඩිදුරටත් අවධාරණය කර ඇත.