Chitika Smowtion 468x60


Friday, March 9, 2012

මර්වින් සිල්වාගේ ගෞරව නාමය ගැන සුමනජෝති හිමි පහදයි


මර්වින් සිල්වා අමාත්‍යවරයා පසුගියදා "දෑ ප්‍රේමී ජනරංජන" ගෞරව නාමයෙන් පිදුම් ලැබූ පුවතක් පසුගිය 22වනදා අප ඔබට ගෙන ආවා.

එම ගෞරව නාමය අම්බලන්ගොඩදී පිරිනැමුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ බෞද්ධ සම්මේලනය වෙනුවෙන් පල්ලත්තර සුමනජෝති හිමියන් විසිනි.

මර්වින් සිල්වා වැනි තක්කඩියෙකුට, මැරයෙකුට, කප්පම්කාරයෙකුට එවන් ගෞරව නාමයක් ලබාදීමෙන් පසු පසුගිය 26වනදා මව්බිම පුවත්පතේ උන්වහන්සේ දැඩි ලෙස විවේචනය කරමින් ලිපියක් පළ වුණා.

ඉන්පසු පල්ලන්තර සුමනජෝති හිමියන් විසින් එම ගෞරව නාමය දීමට හේතුවූ කාරණා පිළිබඳව පැහැදිලි කිරීමක් එම පුවත්පතට යොමු කර තිබෙනවා. පහත දැක්වෙන්නේ උන්වහන්සේ නිකුත් කළ නිවේදනයයි.

"දෑහිතකාමී ජනරංජන සහ ශ්‍රී රෝහන ජනරංජන" මාතෘකාව යටතේ පෙබරවාරි 26 දින ඔබ පුවත්පතේ පළ වූ විශේෂාංග ලිපිය සම්බන්ධවයි.

මර්වින් සිල්වා ඇමතිවරයා දරුණු අපරාධකාරයකු ලෙස හෙලා දකිමින් ලියා ඇති මෙම ලිපිය සඳහා දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍ය පල්ලන්තර සුමනජෝති හිමියන් වන මා සම්බන්ධ කරගෙන මගේ චරිතය ඝාතනය කොට ඇත.

මේ පිළිබඳව මා කිසිවක් දැන සිටියේ නැත. මෙය ගාල්ල දිස්ත්‍රික් බෞද්ධ සම්මේලනය විසින් මර්වින් සිල්වා ඇමතිවරයාට ලබාදුන් සම්මානයක් මිස මගේ සම්මානයක් නොවේ. මේ සංගමයේ අම්බලංගොඩ සුද්ධම්ම නාහිමි හැර එහි සභාපති කියාගන්නා තැනැත්තා හා වෙන කිසිඳු සාමාජිකයෙක් මා හඳුනන්නේ නැත. මෙවැනි සම්මේලනයක් තිබෙන බව පවා මම දැනගත්තේ මෙම රැස්වීමට වැඩමකොට මුලසුන ගන්නා ලෙස මට කළ ආරාධනාවට අනුවයි.

පසුගිය 22 වෙනි දින ඔබ පුවත්පතේ පළ වූ ප්‍රවෘතියෙන් හා 26 වන දින පළ වූ මඩ ප්‍රචාරය කිරීමේ ලිපියෙන් සඳහන් වන කරුණු අනුව මෙම සංගමය සහ සංවිධායකයන් සමඟ මගේ සම්බන්ධයක් නැත. එමගින් ඔවුන් කරගෙන යන්නේ කුමක්ද කියා මම අදත් නොදනිමි. එහෙත් මට මෙම සම්මේලනයට යාමට සිදු වූයේ බෞද්ධ සංගමයක රැස්වීමක් නිසා හා අනික මට ආරාධනා කලේ වැදගත් භික්ෂූන් වහන්සේ නමක නිසාය.

එමෙන්ම මෙම රැස්වීමේදී කරනු ලැබූ කතාබහ එහි වැඩකටයුතු පිළිබඳ මෙම පුවතේ තිබූ ප්‍රවෘති දෙකේම සඳහන් වී නැත. ඒ අනුව මෙම ලිපිය ලියා ඇත්තේ ආරංචි සහ මනඃකල්පිත අදහස් හා මඩ ගැසීමේ පරමාර්ථයෙනි. ඒ නිසා මෙම ලිපිය තුලින් මගේ චරිතය ඝාතනයක් කිරීමක් හැටියට මම සලකමි.

මේ පිළිබඳව මා නීතිමය උපදෙස් ලබාගනිමින් සිටිනවා පුවත්පතට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට. ඔබේ පුවත්පත මඟින් ගන්නා මීලඟ ක්‍රියාමාර්ගය දෙස බලා ඉදිරි පියවර ගැනීමට මගේ අවධානය යොමු වී ඇත.

පුවත්පතක් මඟින් කරනු ලබන්නේ රටේ ලෝකයේ ප්‍රවෘති සහ මහජනතාවට අවශ්‍ය කරුණු ලිපි ලේඛන මඟින් සත්‍ය වටහා දීමයි. නමුත් කිසිම කෙනෙකුගේ චරිතය ඝාතනය කිරීමට සදාචාරාත්මක ධර්මයට විරුද්ධයි. කෙනෙකු විවේචනය කිරීමේ අයිතිය තිබෙනවා. නමුත් විවේචනය තුළ හා මඩගැසීම, චරිත ඝාතනය කිරීම අතර විශාල පරතරයක් තියෙනවා.මෙම ලිපිය ලියා ඇති ලේකකයා මා කිසි දිනක දැක නැත. නම පවා දැකගත්තේ පුවත්පත මඟිනි.

එබඳු පුද්ගලයෙකු මා ගැන කිසිවක් නොදැන මගේ චරිතය ඝාතනය කරන ලද ඔහුගේ ලිපිය මෙවැනි මහජන පුවත්පතක විශාල ප්‍රසිද්ධියක් ලැබෙන සේ පළකිරීම සාපරාධී ක්‍රියාවකි. මාර්වින් සිල්වා ඇමතිවරයා පිළිබඳ පුවත්පත දරණ මතය හා ලේඛකයාගේ මතය මට අවශ්‍ය නොවේ.
බෞද්ධයෙකු හා සිංහලයෙකු වශයෙන් රුහුනේ උපන් මිනිසෙකු වශයෙන් වර්තමාන රජයේ ඇමතිවරයෙකු වන මර්වින් සිල්වා සමඟ භික්ෂුවක් වශයෙන් සම්බන්දතා පැවැත්වීමට මට කාගේන්වත් අවසරයක් අවශ්‍ය නැත.

බුදුරඳුන් මිනීමරු අංගුලිමාල ලඟට වැඩම කලේ කාගෙන්වත් අවසර ගෙන නොවේ. භික්ෂුවක් වශයෙන් හොඳ නරක සෑම පුද්ගලයෙකුටම කරුණාව මෛත්‍රිය දැක්වීම මගේ යුතුකමයි. දෑ හිතකාමී ජනරංජන ගෞරව නාමය මර්වින් සිල්වා ඇමති වරයාට පිරිනමා ඇත්තේ එය යෝජනා කළ, ප්‍රධානය කළ සංගමයේ අයට ඔහු හොඳ කෙනෙක් විදියට පෙනෙන්නට ඇති නිසාය. ඇමතිවරයාට පිට රටකින් ආචාර්ය උපාධියක් පවා පිරිනමා ඇත.

ඒ ඔවුන්ගේ දෘෂ්ටිය අනුව කැමැත්ත අනුව ඔවුන් ගන්නා තීරණ මටවත්, අපි කාටවත් තහනම් කල හැකි නොවේ. එය මානව නිදහසකි. ඒ නිසා එය මුවාවෙන් මර්වින් සිල්වා ඇමතිවරයාට මඩ ගැසීම සද්භාවයෙන් කරනු ලබන ක්‍රියාවක් නොවේ. නැති චෝදනා නගමින් මඩගැසීම ඉරිසියාව හා ක්‍රෝධයෙන් යුතුව කරන ලද මුග්ධ ක්‍රියාවක් ලෙස සලකමි. මෙවැනි ලිපි පළ කිරීම ඔබ පුවත්පතට පමණක් නොව මුළු පත්තර ලෝකයටම කරන ලද මහා අපහාසයකි. නින්දාවකි.

මොහුගේ ලිපිනය මගේ මුලින් දෑ හිතකාමී ජනරංජන ගෞරවනාමය යන නාමය මට ආරෝපනය කොට ඇත. මම අලජ්ජ භික්ෂුවක් බව නොකියා කියා ඇත. තවදුරටත් ඔහු ලැජ්ජා නැති භික්ෂුවකගේ ක්‍රියාකාරකම් පිළිබඳ පාලියේ සඳහන් පාඨයක සිංහල තේරුම ලියා ඇත. ඒ අනුව මෙම උපාධිය මර්වින් සිල්වා ඇමතිවරයාට මා දුන් විට එහි පාපයෙන් නරකාධියේ උපදින බව කියයි. මර්වින් සිල්වා ඇමතිවරයා පව්කාරයකු ලෙස හඳුන්වන මොහු මෙම උපාධිය දෙන්නේ දුශ්ශීලයෙක් බව ඉති උත්තක පාලියේ උපුටාගත් ගාථාවකින් දක්වා ඇත.

ඒ අනුව දුෂ්චරිත කරන්නන් ඔවුන්ට පුද පූජා කරන අය මෝඩයන් බව දේශනාපාඨය ආශ්‍රයෙන් හඟවයි. මේ අනුව මෙම උපාධිය දිනූ අය නොව එම සහතිකය දුන්නු මා ඔහු මෝඩයකු හැටියට හඳුන්වයි. මොහු අතිගරු ජනාධිපති තුමාටත් ශ්‍රී රෝහන පාර්ශවය මඟින් ලබාදුන් උපාදියත් ගාල්ල දිස්ත්‍රික් බෞද්ධ සම්මේලනය විසින් මර්වින් සිල්වා ඇමතිවරයාට දෙන ලද උපාදියත් යන දෙකට සමාන බව පෙන්වන අතර එම උපාධිය මා විසින් දෙන ලද්දක් බව පුන පුනා මුග්ධ ප්‍රකාශයක් මා සහ ජනාධිපති තුමා මර්වින් සිල්වා ඇමති වරයා අතර භේදයක් ඇති කිරීමට නිර්ලජ්ජිත ප්‍රයත්නයක් දරයි.

මේ අනුව මට කිව යුතුව ඇත්තේ මා මෙහි ලේඛකයාගේ චරිත ඝාතනයට ලක් වූයේ බෞද්ධ නාමයෙන් පෙනී සිටින සංගමයක බෞද්ධ භික්ෂුවක් ලෙස මුලසුන ගෙන අනුශාසනා කරන ලෙස මට ආරාධනා කළ අම්බලන්ගොඩ සුදම්ම හිමියන් හා එක සංගමයේ සභාපතිවරයාගේ අඥාන ක්‍රියාවන් නිසා බව කනගාටුවෙන් ප්‍රකාශ කරමි.

මම දුරකථනය මඟින් ඔවුන් අමතා මේ පුවත සැලකල විට සුදම්ම හිමියන් පවසා සිටියේ තමනුත් මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි. නමුත් අනුශාසකයකු වශයෙන් එසේ විය හැකිද කියා මට සැක සහිතයි. ඒ අනුව අභූත චෝදනා සංස්කරණය කොට මට මඩ ගසා චරිතය ඝාතනය කිරීමට තැත්කිරීම පිළිබඳ මට විරුද්ධව කිසියම් කුමන්ත්‍රණයක් ඔබ පුවත්පත හා බෞද්ධ සම්මේලනයේ සංවිධායකයන් හා එයට පරිභාහිර අය එක්තරා පිරිසක් තුළ තිබුණු කට කූඨ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මම දනිමි. ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මාගේ ප්‍රකාශය මේ අයුරින්ම ඔබ පුවත්පතේ පළ කරන ලෙසය.

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක
මහෝපාධ්‍ය පල්ලන්තර සුමනජෝති නාහිමි. 






Source: http://www.gossip9.com/2012/03/blog-post_4147.html#ixzz1ocwxVlDV

Share this article with your friends