Chitika Smowtion 468x60


Friday, March 9, 2012

කාන්තා දිනයත් රාජ්‍ය විරෝධී ලු - හමුදාව පෝස්ටර් ගලවයි


ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් සංවිධානය කර ඇති උද්ඝෝෂණ පාගමනට අදාළ පෝස්ටර් හමුදාව මැදිහත්වී ඉවත් කළ බව එම ව්‍යාපාරය ප්‍රකාශ කරයි.


ඊයේ උදෑසන කෝට්ටේ නගරයේ පෝස්ටර් අලවමින් සිටියදී එම ස්ථානයට LA 7438 දරණ ජීප් රථයෙන් පැමිණි හමුදා නිලධාරීන් පිරිසක් පෝස්ටර් ඇලවීම නතර කරන ලෙස දැනුම්දී තිබේ. එහිදී පෝස්ටර් අලවමින් සිටි පිරිස ඊට හේතු විමසා ඇති අතර හමුදා නිලධාරීන් පවසා ඇත්තේ පරිසර දූෂණයක් සිදුවන බැවින් එය නතර කරන ලෙසයි.


නමුත් එම අවස්ථාවේදී වෙනත් පෝස්ටර් රාසියක් අලවා තිබී ඇති අතර එම පෝස්ටර් මගින් පරිසර දූෂණයක් සිදු නොවන්නේ දැයි පෝස්ටර් ඇලවූ පිරිස හමුදා නිලධාරීන්ගේ විමසා ඇත. එවිට එක් නිලධාරියෙක් ඉහළ නිලධාරියෙකුට දුරකථන ඇමතුමක් ගෙන අනතුරුව මෙම පෝස්ටර් රාජ්‍ය විරෝධී පෝස්ටර් බවත් ඒ නිසා ඒවා ඉවත් කළයුතු බවත් පවසා ඇත.
එහිදී ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පැවැත්වෙන උද්ඝෝෂණයක් රාජ්‍ය විරෝධී වන්නේ කෙසේ දැයි එම පිරිස හමුදා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ඇත. එය ඔවුන්ට අදාළ නොවන බවත් මෙම පෝස්ටරය ඉවත් කරන ලෙස ඉහළින් නියෝග ලැබී ඇති බවත් එම නිලධාරීන් පවසා ඇත. එහිදී නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සාමාජිකාවන් පවසා ඇත්තේ එවැනි කටයුත්තකට හමුදාවට මැදිහත්වීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි. එසේ වුවත් තමන්ට ඉහළින් නියෝග ලැබී ඇති බැවින් එම නියෝගය ක්‍රියාත්මක කරන බවත් අලවන සියලු පෝස්ටර් ගලවන බවත් ඔවුන් ප්‍රකාශ කර ඇත.
අනතුරුව පෝස්ටර් ඇලවූ පිරිස දිගටම පෝස්ටර් අලවා ඇති මුත් හමුදා නිලධාරීන් එම සියලුම පෝස්ටර් ඉවත් කර තිබේ.


Source - lankanewsweb.com

Share this article with your friends