Chitika Smowtion 468x60


Sunday, May 27, 2012

ක්‍රිකට් තරග විකාශන අයිතිය ජනපති පුත්‍රයින්ට


ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සහභාගිවන ජාත්‍යන්තර තරග සියල්ල 2015 වනතෙක් මෙරට විකාශය කිරීමේ අයිතිය, ජනාධිපතිවරයාගේ පුත්‍රයින්ට අයත් 'කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්ස්' (CSN) ආයතනට පවරාගෙන ඇත. මෙම පවරා ගැනීම සඳහා කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්ස් සදහා රුපියල් මිලියන 125 ක් ගෙවා තිබේ. මෙය තරග විකාශන අයිතිය ලබා ගැනීමේ ගිවිසුමකට කිසිසේත් ප‍්‍රමාණවත් මුදලක් නොවේ.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඉදිරි තෙවසර තුළ ඉන්දියාව, නවසීලන්තය, බංග්ලාදේශය දකුණු අපි‍්‍රකාව හා සිම්බාබ්වේ යන රටවල තරග සංචාර 11 ක සහභාගිත්වය මේවනවිට විට ස්ථිරවී තිබේ. ඊට අමතරව, මෙයට 2012 දී පැවැත්වෙන 20/20 ලෝකකුසලන තරගාවලියද ඇතුලත් වේ.
කෙසේවුවද තරග සංචාර 11 කට අයකර ඇති මුදල රුපියල් මිලියන 125 කි. එම මුදල් අගය සංචාර ගණනින් බෙදන්නේ නම් එය රුපියල් මිලියන 11 ක් පමණය. මේතාක් කල් තරග සංචාරයක් සදහා අවම වශයෙන් රුපියල් මිලියන 25-30 ත් අතර මුදලක් රුපවාහිනිය ගෙවා තිබේ. ලෝක කුසලාන තරගාවලියක මිල අවම රුපියල් මිලියන 50-60 වේ.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා විසින්, ඔහු ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සේවය කරන 'කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්ස්' ආයතනයට මෙම විකාශන අයිතිය හොර රහසේම පවරා දී ඇත්තේ, මූලික නීති රීති පද්ධතියද උල්ලංගනය කරමින් බව මේවනවිට විට හෙලිවී ඇත. ඉන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් හට සිදුවී ඇති පාඩුව රුපියල් මිලියන 150 කට අධික බවට ගණන් බලා ඇත.
රුපවාහිනියට හෝ ක්‍රීඩා තරග විකාශය කරනු ලබන වෙනත් රුපවාහිනි ආයතන වලට මෙම ටෙන්ඩරය සදහා ඉදිරිපත් වීමට දැනුම්දී නැත. මීට පෙර මෙවැනි තරග විකාශයක් පවරාදීමේදී අනුගමනය කළ ක‍්‍රමවේදය වූයේ සියලූ‍ම තරග සදහා ලංකාවේ සියලූ‍ම නාලිකාවලට ෆැක්ස් යවමින්, මිලගන්නන් කැදවීමය. ක්‍රීඩා අමාත්‍යවරයාද නොසලකා හරිමින් ක‍්‍රිකට් ආයතනයේ ලේකම් ලෙස නිශාන්ත රණතුංග මහතාට ඕනෑම දෙයක් කිරීමේ බලය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් පවරා ඇති තත්වය තුල, වසර 3 කට විකාශන අයිතිය ලබාදීමේදී නිශාන්ත රණතුංග මහතා මෙවර එවැන්නක් මිලගන්නන් කැදවීමක් සිදුකර නොමැත.
තවද මෙහිදී මතුවන ප්‍රධානම ගැටලූ‍ව නම්, වසරකට ප‍්‍රථම ආරම්භ කල ආයතනයකට රුපියල් මිලියන 125 ක් ලැබුනේ කෙසේද යන්නයි.
අනෙක් කාරණාව 2012 මාර්තු මුල් සතියේ අවසන් කල මෙම ටෙන්ඩරය 2012 මැයි මස 23 වැනිදා වනතෙක් විකාශන අයිතිය ලැබූ ආයතනය දැනුම්දීම පමාකලේ කුමන හේතුව නිසාද ? යන්නයි.
සී. එස්. එන් හෙවත් කාල්ටන් රූපවාහිනී නාළිකාව ආරම්භ කළේ 2011 මාර්තු 07 වැනිදාය. ආරම්භක උත්සවයට ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ පෙම්වතියවන යසාරා අබේනායක මෙනවියද, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිශාන්ත රණතුංග හා ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූ‍ත්ගමගේ ද සහභාගි විය.යසාරා අබේනායකය මෙනවිය කාල්ටන් නාළිකාවේ ප‍්‍රධානියාවේ.
මෙම නාළිකාවේ ප‍්‍රධාන කාර්යාලය ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති අතර, රාජ්‍ය ආයතනවලින් ජනාධිපති කාර්යාලයට අනුයුක්ත කර ගනු ලැබූ නිලධාරි හා සේවකයින් 85 දෙනෙකු පමණ මෙම නාලිකාවේ සේවයට යොදවා තිබේ. ඔවුන්ගේ වැටුප්, දීමනා, සියල්ල ගෙවනු ලබන්නේ ඒ ඒ රජයේ ආයතන විසිනි. මෙම නාළිකාවේ ඉංජිනේරු අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ප‍්‍රියන්ත අබේරත්න නැමැත්තා අදටත් ශ‍්‍රී ලංකා ටෙලිකොම් ‍ආයතනයෙන් පඩි ගන්නා සේවකයකි.
මෙම නාලිකාව විකාශන මැදිරි ලෙස යොදා ගන්නේ බත්තරමුල්ල වික‍්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී සේවයට අයත් මැදිරි සංකීර්ණයයි. සම්පේ‍්‍රෂණ කයුතු සදහා ස්වාධීන රූපවාහිනී සේවයට අයත් සිංහරාජ විකාශනාගාරය යොදා ගැනේ. එහි කුළුණු සහ සේවයකන්ට අයත් කාමරද නාළිකාවේ කටයුතු ‍සදහා යොදා ගෙන ඇත.ට‍්‍රාන්ස්මීටර් හෙවත් සම්පේ‍්‍රෂණ යන්ත‍්‍ර 02ක් සේවකයන් ඉවත් කළ එම කාමරවල සවි කර තිබේ. ඊට කිසිදු මුදල්ක අය නොකරයි.
මෙම නාළිකාව විකාශය කෙරෙන්නේ ප‍්‍රයිම් ටී. වී. තරංග ඔස්සේය.එම තරංග 2006 වර්ෂයේදී ජාතික හෙළ උරුමට ලබාදී පසුව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ලබා දුන් තරංග වේ. රූපවාහිනී ආයතනයේ වාහනද මෙම නාළිකාවේ පරිහරණයට ලබා දී ඇත. එසේම එම නාලිකාව භාවිත කරන ඕ. බී බස් රථය හෙවත් ජංගම මැදිරිය ජනාධිපති කාර්යාලයේ එකකි.මල්ටි කැමරා හෙවත් බහුකාර්ය කැමරා උපකරණද ජනාධිපති කාර්යාලයට අයත් ඒවා වේ.
මෙම නාලිකාවට ආරක්‍ෂාව සැපයීම මෙන්ම, එහි සේවකයින්ට දිවා ආහාරය සපයනු ලබන්නේද ශ්‍රී ලංකා නාවික හමුදාව විසිනි.
සී.එස්.එන්. තරග විකාශනයට ලැබී ඇති තරගාවලි මෙසේය
2012
ඉන්දියාව - ජුලි/අගෝස්තු
20/20 ලෝක කුසලානය - ඔක්/නෙවැ
නවසීලන්තය - දෙසැම්බර්
2013
බංගලාදේශය - පෙබ /මාර්තු
දකුණු අප‍්‍රිකාව - ජුලි/අගෝස්තු
නවසීලන්තය - නොවැම්බර්
2014
එංගලන්තය - ජුලි/අගෝස්තු
2015
එංගලන්තය - ජුනි
සිම්බාබ්වේ - ජුලි /අගෝස්තු
නවසීලන්තය් - අගෝස්තු

Source - lankanewsweb.com

Share this article with your friends