Chitika Smowtion 468x60


Saturday, June 23, 2012

‘ජූලම්පිටියේ අමරේ’ට වෙනත් නීතියක්ද?


මනුෂ්‍ය ඝාතන හා ස්තී‍්‍ර දූෂණ ගණනාවක් සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටින ‘ජූලම්පිටියේ අමරේ’ නොහොත් මීගහගමගේ අමරසිරි නමැත්තා පසුගිය 19 වනදා තංගල්ල මහාධිකරණයට භාර වූ අවස්ථාවේදී ඒ වන විට මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවැති නඩුව ‘අමරේ’ වෙනුවෙන් අතරමග නතර කෙරී ඇත. අධිකරණ සම්ප‍්‍රදායට අනුව පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීම වෙනුවෙන්, පැවැත්වෙමින් තිබෙන නඩුවක් අතරගම නතර කරන්නේ නැත.
වරෙන්තුකරු නීතීඥයෙකු මාර්ගයෙන් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ එසේ අධිකරණයට භාර වූ අවස්ථාවේදී තංගල්ල අධිකරණයේ විනිසුරු චන්ද්‍රසේන රාජපක්‍ෂ මහතා විසින් ප‍්‍රකාශ කොට ඇත්තේ වරදකරුට ඔහු භාර වූ නඩු කටයුත්ත වෙනුවෙන් ඇප ලබාදිය හැකි බවයි. එහිදී රජයේ නීතීඥවරිය ඊට විරෝධය පළ කළ හෙයින් අමරේ නමැත්තා සම්බන්ධ තීන්දුවක් ලබාදීම පසුදිනට කල් තබන ලද අතර, ඊට පසු දින එනම් 20 වනදා විනිසුරුවරයා විසින් නියෝග කරන ලද්දේ වරෙන්තුකරු බන්ධනාගාරගත කරන ලෙසය.
වරෙන්තුකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී ඊට පෙර අධිකරණය මගහැර සිටීමට හේතු වූ කරුණු පිළිබඳව වෛද්‍ය වාර්තා හෝ වෙනත් කරුණු ඉදිරිපත් කළ යුතුය. සම්ප‍්‍රදාය අනුව එසේ නොකරන්නේ නම් වරෙන්තුකරුවෙකුට ඇප ලබාදීමක් සිදු නොකරයි. එහෙත් පසුගිය මැයි 23 වනදාද අමරේ නමැත්තා නීතීඥයෙක් මාර්ගයෙන් අධිකරණයට භාර වූ අවස්ථාවේදීද විනිසුරුවරයා විසින් වරෙන්තුකරු පෙර ඇප මත නිදහස් කරමින් වැඩිදුරටත් පවසා ඇත්තේ, හතර පෝයට සිල් සමාදන් වන ලෙසත්, වරෙන්තුකරු සන්තකයේ තබාගෙන සිටින ටී56 ගිනි අවිය රජයට භාර දෙන ලෙසත්ය. කිසිදු ගිනි අවියක් පෞද්ගලික සන්තකයේ තබා ගැනීම බරපතළ නීති විරෝධී කි‍්‍රයාවකි.
මෙසේ තංගල්ල මහාධිකරණ විනිසුරුවරයා විසින් පෙර වතාවක පූර්ව ඇපමත නිදහස් කර මෙවරද ඇප ලබාදීමට කැමැත්ත පළ කර ඇත්තේ, අදාළ විනිසුරුවරයා විසින්ම අමරේ නමැත්තාට වරෙන්තු ‘එකසිය ගණනක්’ ඇතැයි පිළිගෙන තිබියදීය.
පසුගිය 15 වනදා කටුවන පැවැති ජනතා විමුක්ති පෙරමුණේ ජන හමුවට පහරදී දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ‘ජූලම්පිටියේ අමරේ’ නමැත්තා ප‍්‍රධාන සැකකරු වශයෙන් හඳුනාගෙන සිටින අතර, එම සිදුවීම සිදුවන අවස්ථාවේදී අදාළ වරෙන්තුකරු එම ස්ථානයේ සිටි බව රහස් පොලිසිය විසින් හඳුනාගෙන අධිකරණයට ඒ බව දැනුම් දී තිබේ.
මේ අතර, 20 වන දින නඩුව යළි සලකා බැලූ අවස්ථාවේදී විනිසුරුවරයා කළ ප‍්‍රකාශයද දැඩි මතභේදකාරී තත්ත්වයක් ඇති කර තිබේ. එහිදී ඔහු ප‍්‍රකාශ කොට ඇත්තේ අද දින තමන් විශ‍්‍රාම ගන්නා බවත්, එහෙත් සති දෙකකින් යළිත් තංගල්ල මහාධිකරණ විනිසුරු වශයෙන් කටයුතු කිරීමට පැමිණෙන බවත්ය.
මහාධිකරණ විනිසුරු ධූරයක් පුරප්පාඩු වූ අවස්ථාවලදී මහාධිකරණ විනිසුරු සංචිතයෙන් කෙනෙකු යොදවා පුරප්පාඩුව පිරවීම සාමාන්‍ය පිළිවෙතය. ඇතැම් අවස්ථාවලදී විශ‍්‍රාම ලත් විනිසුරෙකු ‘මහාධිකරණ කොමසාරිස්’ වශයෙන් නම් කර එම රාජකාරී ආවරණය කිරීමට පත් කරන අවස්ථාද ඇත. සංචිතයේ විනිසුරුවරයෙකු නොමැති අවස්ථාවක හෝ වෙනත් භාෂාවකින් කටයුතු කළ හැකි විනිසුරුවරයන් නොමැති අවස්ථාවක මෙවැනි පත් කිරීම් සිදු කරනු ලැබේ. චද්‍රසේන රාජපක්‍ෂ මහතා තමන් ‘මහාධිකරණ කොමසාරිස්වරයෙකු’ වශයෙන් තංගල්ල මහාධිකරණයට පැමිණෙන බව විවෘත අධිකරණයේදී ප‍්‍රකාශ කිරීම ආන්දෝලයට හේතු වී තිබේ.
මේ වනවිට අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව කටුවනදී ජවිපෙ සාමාජිකයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසුව ‘ජූලම්පිටියේ අමරේ’ වහාම ජනාධිපතිවරයාගේ තංගල්ලේ කාල්ටන් නිවසට පැමිණ ඇති අතර, ඔහු එහි රඳවා ගනිමින් අධිකරණයට යොමු කරන තෙක් පූර්ණ ආරක්‍ෂාව සලසා දී ඇත්තේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතාය.
‘අමරේ’ අධිකරණයට යොමු කිරීමට පෙර දින රාති‍්‍රයේ තංගල්ල මහාධිකරණ විනිසුරුවරයාව පෞද්ගලිකව මුණ ගැසී ඇති නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා, පසුදින අමරේව අධිකරණයට ඉදිරිපත් කරන බවත්, ඔහුට උපරිම ආරක්‍ෂාව සැලසිය හැකි පරිදි නියෝග ලබාදෙන ලෙසත් දැනුම් දී ඇත. එම සාකච්ඡාව අතරවාරයේදී මහාධිකරණ විනිසුරුවරයාට, විදේශගතව සිටි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව දුරකතනයට සම්බන්ධ කර දීමටද නාමල් රාජපක්‍ෂ මහතා කටයුතු යොදා තිබේ.



Source - lankanewsweb.com

Share this article with your friends