Chitika Smowtion 468x60


Monday, June 18, 2012

උතුරු නැගෙනහිර බොහෝ ප්‍රදේශ "කාන්තාරයක් වගේ"


දශක ගණනාවක් යුද්ධයෙන් බැට කෑ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව යුද්ධය සමයේදී මෙන්ම තවමත් ඉතාමත් බියෙන් කල් ගෙවන බව ඉන්දීය පාර්ලිමේන්තු දූත පිරිසක් පවසති.
යුද්ධය පැවති සාමය සහ වර්තමානය අතර වෙනසක ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට තවමත් දැනෙන්නේ නැති බවයි, දූත පිරිසේ ප්‍රකාශකයෙක් බීබීසීයට කියා සිටියේ.
"ඒ ජනතාව තාමත් ජීවත් වෙන්නේ යුද්දෙ කාලේ වගේමයි," දූත පිරිසේ නියෝජිත තමිල්නාඩු ප්‍රාන්ත සභා මන්ත්‍රී PV කදිරවන් බීබීසී දෙමළ සේවයට පැවසීය.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ගේ වර්තමාන තත්ත්වය විමසා බැලීම පිණිස ඕල් ඉන්දියා ෆෝවර්ඩ් බ්ලොක් හෙවත් සමස්ත ඉන්දීය ඉදිරිගාමී කණ්ඩායමේ සිවු පුද්ගල දූත පිරිසක් පසුගිය ජුනි 11 වැනි දින සිට 15 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ.
ප්‍රභාකරන්ගේ නිවාසය.
එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ අවසාන සටන සිදුවූ මුල්ලි වයික්කාල් ප්‍රදේශයේ ද සංචාරය කිරීමට ඉන්දීය දූත පිරිසට අවසර ලැබුන නමුත් එල්ටීටී ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මරුමුවට පත්වූ ස්ථානයට යාමට තමන්ට අවසර නොලැබුන බව කදිරවන් ප්‍රාන්ත මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
"නමුත් ඔවුන් අපට ඒ අවට ප්‍රදේශයේ සංචාරය කරන්න අවසර දුන්නා. විනාශවෙච්ච වාහන, යතුරු පැදි සහ බයිසිකල් දහස් ගානක් මහා කන්දක් වගේ ඒ අවට පළාතේ ගොඩ ගහල තියෙනවා අපි දැක්ක," ඔහු පැවසීය.
එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නිවාසය ද නැරඹීමට ඉන්දීය දූත පිරිසට අවසර ලැබී තිබේ.
"ත්‍රස්තවාදියාගේ නිවස කියල ප්‍රභාකරන්ගේ නිවස ඉස්සරහ බෝඩ් එකක් ගහල තිබුන," බව පැවසූ කදිරවන් ප්‍රාන්ත මන්ත්‍රීවරයා, යුද්ධය හමාර වී අවුරුදු තුනක් ගත වී තිබුනත්, උතුරු නැගෙනහිර පලාත්වල වෙසෙන දෙමළ ජනතාව තවමත් දුක් විඳින බවත් විශේෂයෙන්ම උතුරු නැගෙනහිර බොහෝ ප්‍රදේශ මේ වනතුරුම "කාන්තාරයක්" ලෙසින් දිස්වන අතරවාරයේ, කොළඹ ඇතුළු දකුණේ බොහෝ ප්‍රදේශ නවීකරණය වී තිබෙන බවත් පැවසීය.
"මම හිතන්නේ නෑ උතුරු නැගෙනහිර ජනතාවට කිසිම පහසුකමක් ලබාදීල තියෙනවයි කියල," ඔහු පැවසීය.
- BBC Sinhala

Share this article with your friends