Chitika Smowtion 468x60


Monday, June 18, 2012

අගමැතිකම දුන්නත් ආණ්ඩුවට යන්නේ නෑ - අර්ජුන


ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් පැවති "දූෂිතම ආණ්ඩුව" වන මහින්ද රාජපක්ෂ පරිපාලනය සමග එක්වීමේ කිසිදු අදහසක් නැති බව අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා පවසයි.
හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් කළුතර දිස්ත්‍රික්කයට තේරී පත් වූ රණතුංග මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට එම ප්‍රකාශය කළේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත කැබිනට් සංශෝධනයකදී ඔහු ක්‍රීඩා ඇමතිවරයා ලෙස පත්කෙරෙනු ඇති බවට පලවන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින්.
ජනාධිපති සමාවක් යටතේ මෑතදී බන්ධනාගාරයෙන් නිදහස ලැබූ පක්ෂ නායක සරත් ෆොන්සේකා ද මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එක්වීම තරයේ ප්‍රතික්ෂේප කරයි.
"මම දන්නා තරමටම වැඩියෙන්ම දූෂිත වෙච්ච ආණ්ඩුව තමයි, මහින්ද රාජපක්ෂගේ මේ ආණ්ඩුව. ඉතින් එවැනි ආණ්ඩුවක දූෂිත තවත් පුද්ගලයෙක් වෙන්න මට අවශ්‍යතාවයක් නැහැ," අර්ජුන රණතුංග පැවසීය.
ඉදිරි වසර තුන සඳහා ක්‍රිකට් ක්‍රීඩා විකාශන අයිතිය CSN නාලිකාවට පැවරීම පිළිබඳව බීබීසී සංදේශය සමග සාකච්ඡාවකට එක්වූ අවස්ථාවේයි, ඔහු එම අදහස් පළ කළේ.
"ක්‍රීඩා ඇමතිකම විතරක් නෙවෙයි අගමැතිකම දුන්නත් ගන්න අවශ්‍යතාවයක් මට ඇතිවෙලා නෑ," ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකුද වන රණතුංග මන්ත්‍රීවරයා වැඩිදුටත් සඳහන් කළේය.
- BBC Sandeshaya

Share this article with your friends