Chitika Smowtion 468x60


Sunday, November 18, 2012

කතා මැද කතා - සතියේ දේශපාලන සිදුවීම් සමාලෝචනය

මාව කඩේ යවන්න හදන්න එපා - ජනපති කියයි!



උගන්ඩා ජනපති වතුරත් අරන් ඇවිත්
ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහය දැක්වූ රටක් වූයේ උගන්ඩාවය. එයට කෘතගුණ සැලකීම සඳහා එරට ජනපති යොවෙරි මුසෙවේනිට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ජනපතිවරයා ආරාධනා කළේ ඉකුත් ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුවේ දී උගන්ඩා ජනපතිවරයා හමු වූ අවස්ථාවේ දීය.එය පිළිගත් උගන්ඩා ජනපතිවරයා ඉකුත් සතියේ දී ශ්‍රී ලංකාවට පැමිණියේය. 

ඔහු නවාතැන් ගත්තේ හිල්ටන් හෝටලයේය. මෙරටට පැමිණි රාජ්‍ය නායකයන් අතරින් සිය ආරක්ෂාව ගැන වැඩිම සැලකිල්ලක් දැක්වූ ජනපතිවරයා ලෙස වාර්තා වන්නේද උගන්ඩා ජනපතිවරයායි. ඔහු ශ්‍රී ලංකාවේ සිටින කාලය තුළ පානය කළේ උගන්ඩාවේ සිට ගෙන එන ලැබූ ජලයයි. එමෙන්ම හිල්ටන් හෝටලයේ සිටියදී ආහාර ලබාගත්තේ උගන්ඩාවේ සිට පැමිණි කෝකියකු සෑදූ ආහාරය. ඔහු ශ්‍රී ලංකා ජනපතිවරයා සමග පැවසුවේ තමන් සෞඛ්‍ය ආරක්ෂාව ගැන සිතා සිය රටින් පිටව යන සෑම අවස්ථාවකම නිර්මාංශ ආහාර පමණක් ලබා ගන්නා බවය. 

දෙරටේ නිල රාජ්‍ය නායක හමුව පැවැත්වුණේ ඉකුත් දහ තුන් වැනිදා උදෑසනය. ශ්‍රී ලංකා ජනපතිවරයා නියමිත වේලාවට සූදානම්ව සිටි නමුත් උගන්ඩා ජනපතිවරයා පැමිණියේ විනාඩි පහළොවක් ප්‍රමාද වීය.
ශ්‍රී ලංකා ජනපතිවරයා මුලින්ම ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නයේ දී ශ්‍රී ලංකාවට සහය දැක්වීම ගැන ස්තූතිය පුද කළේය. උගන්ඩා ජනපතිවරයා පැවසුවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක් ලෙස ශ්‍රී ලංකාව සේම උගන්ඩාවද සෑහෙන කාලයක් දුක් විඳි රටක් බවය. එසේම වර්තමානයේ තම රටද ත්‍රස්තවාදී ප්‍රශ්නයකට මුහුණ දී සිටින බවත් ත්‍රස්තවාදය ජයගත් එකම ලෝක නායකයා ලෙස ශ්‍රී ලංකා ජනපතිවරයාට තම ගෞරවය හිමිවන බවත්ය.

කාන්තාවන් වැඩිම පාර්ලිමේන්තුවක්
ශ්‍රී ලංකා ජනපතිවරයා සමග ජී.එල්. පීරිස්, සරත් අමුණුගම, ඩලස් අලහප්පෙරුම, මහින්ද සමරසිංහ, චම්පික රණවක, රිෂාඩ් බදුර්දීන් හා ටී.බි. ඒකනායක යන අමාත්‍යවරු හත් දෙනෙක් උගන්ඩා ජනපතිවරයා හමුවීමට එක්ව සිටියහ. උගන්ඩා ජනපතිවරයාගේ නියෝජිත කණ්ඩායමද හත් දෙනෙකුගෙන් යුක්ත විය. එහෙත් විශේෂත්වය වූයේ ඉන් පස් දෙනෙකුම කාන්තාවන් වීමය. උගන්ඩා ජනපතිවරයා එයට හේතු මෙසේ පැහැදිලි කළේය. 

අපේ රටේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු තුන්සිය තිස් දෙනාගෙන් එකසිය දොළහක්ම කාන්තාවෝ. ඒකට හේතුව අපේ ව්‍යවස්ථාවේ සඳහන් කරලා තියෙනවා රටේ තියෙන දිස්ත්‍රික්ක එකසිය දොළහෙන් හැම දිස්ත්‍රික්කයකටම එක් කාන්තා නියෝජනයක් තිබිය යුතුයි කියලා. ඉතින් මන්ත්‍රීවරියන් එකසිය දොළහක් ඉන්නවා. අපේ රට තමයි ලෝකයේ දවෛනියට වැඩිම කාන්තා නියෝජනයක් තියෙන පාර්ලිමේන්තුව තියෙන්නේ. කොටින්ම මගේ භාර්යාවත් අපේ රටේ ඇමැතිවරියක්.
ශ්‍රී ලංකා ජනපතිවරයා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික-යින්ට උගන්ඩාවේ ව්‍යාපාර අවස්ථාවලට ඉඩදී තිබිම ගැන එරටට ස්තූති කළේය. එවිට උගන්ඩා ජනපතිවරයා ශ්‍රී ලංකාවෙන් මෙසේ ඉල්ලා සිටියේය. 

රටක් විදිහට අපි අපේ නිෂ්පාදන ලෝකයට ගෙන යන්න උත්සාහ කරනවා. අපි කිරි ආශ්‍රිත නිෂ්පාදන, සීනි සහ මස් නිෂ්පාදනය කරනවා. බටහිර රටවලට වඩා අඩු මිලට අපට ඒවා සපයන්න පුළුවන්. ඩොලර් එකක මිලට අපේ රටෙන් ගන්න මස් කිලෝ එකක් ජපානෙදී විකුණන්නේ ඩොලර් විසි දෙකට. අපේ නිෂ්පාදන-වලට ශ්‍රී ලංකාවෙත් අවස්ථාව ලබාදෙන්න.

එදින රාත්‍රී ශ්‍රී ලංකා ජනපතිවරයා උගන්ඩා ජනපතිවරයා වෙනුවෙන් භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර එරට ආයෝජනය කර සිටින ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන්ටද මේ අවස්ථාවට ආරාධනා කර තිබුණි. මේ සාකච්ඡාවේ දී උගන්ඩාවට ඩොලර් මිලියන 1.5 ක් වටිනා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ලබා දීමට ශ්‍රී ලංකා ජනපතිවරයා කැමැත්ත පළ කළේය. එය එරට අගනුවර වන කම්පාලා නගරයට කිලෝ මීටර් හතළිහක් දුරින් ස්ථාපිත කිරීමටද තීරණය විය.

උගන්ඩා ජනපතිවරයා ඊට පසුදින පාර්ලිමේන්තුව අසල පිහිටි රණ විරු ස්මාරකයට ගෞරව පුද කර අනතුරුව දක්ෂිණ අධිවේගී මාර්ගය නිරීක්ෂණය කිරීමට ගියේය. එතැනින් ඔහු ගියේ කටුබැද්ද ජර්මන් තාක්ෂණික අභ්‍යාස ආයතනයටය. ඒ ශ්‍රී ලංකා ආධාර මත උගන්ඩාවේ ඉදිකිරීමට නියමිත කාර්මික අභ්‍යාස ආයතනයේ ක්‍රියාකාරකම් පිළිබඳව සාකච්ඡා කිරීමටය. එහිදී වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ නිලධාරීන් පැවැසුවේ පාඨමාලා අටක් පහළ මට්ටමේ සිට මට්ටම් ගණනාවක් ඉහළට උගන්ඩාවේ දී ඇරඹීමට සූදානමින් සිටින බවය. මෙහි දී උගන්ඩා ජනපතිවරයා පැවැසුවේ තම රටේ ජනතාවගේ අධ්‍යාපනික මට්ටම අඩු බැවින් අදාළ පාඨමාලා සරලව පහළ මට්ටමෙන් කිරීම සුදුසු බවය.

ජනපති බැලූ නාට්‍යයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කාරක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව ඉකුත් බ්‍රහස්පතින්දා හවස්වරුවේ රැස් විය. මුලින්ම හවස 6.30 ට විධායක සභාව රැස් වූ අතර එහි කටයුතු ආරම්භ වූයේ පසුගියදා අභාවප්‍රාප්ත වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වූ ආනන්ද දසනායක සිහි කිරීමෙන් අනතුරුවය. මෙම හමුව වැඩිවෙලා නොපැවති අතර ඉකුත් මැයි දිනය පිළිබඳ වාර්තාවක් සභා ගත කෙරුණි. එහි මැයි දිනයට පැමිණි නොපැමිණි ජනතාව අඩුවැඩි වශයෙන් සහභාගි කළ සංවිධායකයන් පිළිබඳව තොරතුරු ඇතුළත් ව තිබිණි.
අනතුරුව රාත්‍රී 7.30 ට සමස්ත ලංකා කාරක සභාව රැස්විය. මෙහි දී අමාත්‍ය සරත් අමුණුගම මෙවර අය වැය පිළිබඳව දේශනයක් ද සිදු කළේය. අනතුරුව සභාව ඇමතූ ජනපතිවරයා සිය දේශනය අතරතුර මෙසේ පැවසුවේය. 

මම ළඟඳී නාට්‍යයක් දැක්කා සමහරවිට තමුන්නාන්සේලාත් දකින්න ඇති. ඒක ඇමැති පුතෙක් ගෙ කතාවක්. ඇමැති පුතා ‍පොලිසියට නියෝග දෙන හැටි රාජ්‍ය නිලධාරී මාරු කරන හැටි නාට්‍යයේ තියෙනවා. මේවා සියයට සියයක් ඇත්ත වෙන්නත් බෑ. ඒ වගේම බොරු වෙන්නත් බෑ. තමුන්නාන්සේලාට එහෙම දරුවො ඉන්නවා නම් ඒයාලට කියල දෙන්න දේශපාලන බලය හැමදාම නැති බව.

බොරු කරපු අයට දෝෂාරෝපණයක්
අනතුරුව ජනපතිවරයා පක්ෂයේ ඉකුත් මැයි දිනය පිළිබඳව සකස් කළ වාර්තාව පිළිබඳව අදහස් දැක්වූයේය. මේ වාර්තාව අනුව මැයි දිනයට සෙනඟ ගෙනාවේ නැති අයත් ඉන්නවා. හැබැයි ඒ අය හිතන්න එපා මාව කඩේ යවන්න. මොකද ඔය කා‍ලේ මමත් පහු කරලා ඉන්නේ. අපිත් කොල්ලො කා‍ලේ කොළඹ ඉන්න යාළුවෝ ටිකක් එකතු කරගෙන බැනර් එක අරගෙන සෙනඟ ගොඩක් මැද්දට ගිහින් බැනර් එකත් අරගෙන යනවා. එතකොට හිතෙන්නේ ඒ සෙනඟ ඔක්කොම අපි ගෙනාවා කියලා. ඉතින් මට මේ ගැන හොඳ වැටහීමක් තියෙනවා. ජනපතිවරයා පැවසුවේය.

ජයලත්ගේ හෘදයාබාධයට හේතුව?
ඉකුත් අඟහරුවාදා ජනපතිවරයා ඒ වන විට අරලිය ගහ මන්දිරයේ රැඳී සිටි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට පරණ යාළුවෙක් බලන්න යමු. යැයි අඬ ගැසුවේය. ජොනී ඒ කවුදැයි ඇසූවිට ජනපතිවරයා පැවසුවේ දොස්තර ජයලත් ජයවර්ධන බවය.

ඒ වන විට අසනීප වී ජයවර්ධන පුර රෝහ‍ලේ සිටි දොස්තර ජයලත්ව බැලීමට ජනපතිවරයා හා ජොනී ගියෝය.
සර් මේ වගේ ගමන් එන නිසා මාවත් බලන්න එයි කියල හිතුණා. දොස්තර ජයලත් පැවැසුවේය. ජනපතිවරයා මොකද වුණේ යැයි ජයලත් ගෙන ඇසූ විට ලැබුණේ මෙවැනි පිළිතුරකි.
ඔබතුමාට විරුද්ධව ජිනීවාවලට ලියුමක් යවන්න කියලා මට පක්ෂයෙන් උපදෙසක් ලැබුණා. ඒක කරන්න යද්දී තමයි හාට් ඇටෑක් එක ආවේ. ජයලත් කිවේය.

හොඳට ඉන්න ජනාධිපතිතුමාට ඔය වගේ වැඩ කරද්දී හාට් ඇටෑක් හැදෙනවා තමයි. ජොන්ස්ටන් පැවසුවේය.
මම මේ ළඟදී ටී.වී. එකේ දැක්කා ජයලත් බෙරිහන් දෙනවා. හාට් ඇටෑක් එන්න ඕවා තමයි හේතු. ජනපතිවරයාද පැවසුවේය. අනතුරුව ජනපතිවරයාත් ජොන්ස්ටනුත් ජයලත්ට නීරෝගී සුව පතා නික්ම ගියහ.
ජනපතිවරයා ඉකුත් සතියේ දී ඩෙංගු රෝගය වැළඳීම නිසා අසනීපව සිටි මාධ්‍යවේදියෙකුට ද දුරකතනයෙන් අමතා සුවදුක් විමසුවේය. ඒ සිළුමිණ පුවත් පතේ දේශපාලන ලියුම්කරු වන චන්දන බණ්ඩාරගේ ය.

සජිත්ගේ කට වහයි
ගත වූ සතියේ එක්සත් ජාතික පක්ෂයේ වැඩි අවධානය යොමුව තිබුණේ අය වැය විවාදය පිළිබඳවය. කෙසේ නමුත් අය වැය විවාදයට කථිකයන් නම් කිරීමේ දී පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම්කාරී තත්ත්වයක් ද ඇති විය. එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට අය වැය විවාදය වෙනුවෙන් විනාඩි 45 ක කාලයක් ලැබෙන බව ඔහුට මුලින් දන්වා තිබුණේය. එබැවින් ඔහු විනාඩි 45 කාලයක කතාවකට සූදානම් වූයේය. ඉකුත් 14 වැනිදා සිය කතාව පැවැත්වීමට පාර්ලිමේන්තුවට ගිය සජිත්ට දැනගන්නට ලැබුණේ සිය කතාව විනාඩි 30 කට කප්පාදු කර ඇති බවය.

ඔයා ඉස්මතු වෙනවා වළක්වන්නයි ඔය වැඩේ කරල තියෙන්නේ සජිත්ට හිතවත් එජාප මන්ත්‍රීවරු මෙන්ම ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන් කිහිප දෙනෙක්ද සජිත්ට පැවසූහ. අනතුරුව සජිත්ට සිදුවූයේ විපක්ෂයේ වෙනත් මන්ත්‍රීවරුන් වෙත ගොස් ඔවුන්ගේ කතා කාලයෙන් විනාඩි පහ බැගින් ඉල්ලා ගැනීමටය. සජිත්ම ඔවුන්ට පැවැසුවේ තමන් කාලය හිඟා කෑමට පැමිණි බවය. සිය කතාවෙන් අනතුරුව සජිත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංගට තමන්ගේ කාලය කෙටි කිරීම පිළිබඳව සිය විරෝධය දැක්වූයේය.
ඇයි මේ හැඳි දෙකකින් බෙදන්නේ? මෙහෙම කොහොමද අපි පක්ෂයක් විදියට ඉස්සරහට යන්නේ සජිත් විමසුවේය. ජෝන් එයට පිළිතුරු දුන්නේ නැත.

විමල් - රනිල් හමුවේදී මොකද වූණේ?
පසුගිය දා එජාප නායක රනිල් වික්‍රමසිංහ මුණ ගැසීමට ඔහුගේ පාර්ලිමේන්තු කාර්යාලයට ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ හා නියෝජිත පිරිසක් පැමිණියහ. ඔවුන් සමග සාකච්ඡා කිරීමට ගාමිණී ජයවික්‍රම පෙරේරා, තිස්ස අත්තනායක, ජෝශප් මයිකල් පෙරේරා, ලක්ෂ්මන් කිරිඇල්ල හා රවී කරුණානායක එජාප නායකයා සමග එක්ව සිටියේය. ජාතික නිදහස් පෙරමුණේ අරමුණ වී තිබුණේ 13 වැනි සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීමටය. විමල් ඔයා නියෝජනය කරන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මොකක්ද? 13 වැනි සංශෝධනය ගැන. මොකද මම එහෙම අහන්නේ ජනාධිපතිතුමා දිල්ලි ගිහින් 13 ට එහා ගිය විසඳුමක් ගැන කතා කරනවා. එජාප නායකයා විමල් ගෙන් විමසුවේය.
විපක්ෂ නායකතුමනි ඒක ආණ්ඩුවේ මතය. අපි ජාතික නිදහස් පෙරමුණ විදිහට වෙනස් මතයක් දරන්නේ. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හදිසියේ හැදූ එකක් නිසා සංශෝධන අවශ්‍යයි. විමල් පිළිතුරු දුන්නේය. 13 ගැන විතරක් කතා කරලා වැඩක් නැහැ. මුළු ව්‍යවස්ථාවේම සංශෝධනයක් ගැන කතා කරමු. විධායක ජනාධිපති ක්‍රමය, සමානුපාතික ඡන්ද ක්‍රමය, ස්වාධීන කොමිෂන් සභා වගේ හැම දෙයක් ගැනම එජාප නායකයා යෝජනා කළේය. සාකච්ඡාව අවසන් වූයේ නිශ්චිත නිගමනයකින් තොරව කෙසේ නමුත් ඉදිරියේ දී සාකච්ඡා කිරීමේ අරමුණිනි. ජා වත්තේ පිහිටුවා ඇති විපක්ෂ නායක කාර්-යාලයෙහි ඉකුත් අඟහරුවාදා එජාප නායකයාගේ ප්‍රධානත්වයෙන් 2013 වර්ෂයේ පක්ෂ කටයුතු පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වුණි. මෙහි දී එජාප නායකයා අවධාරණය කළේ ජනවාරි මාසය අවසන් වන්නට පෙර එම වර්ෂය සඳහා සාමාජික ටිකට් පත් මුද්‍රණය කර අවසන් කළ යුතු බවටය.
ඉදිරි අවුරුද්ද අපි ආණ්ඩුවට විරුද්ධව ඒකරාශී වෙන්න යොදා ගන්න ඕන. එජාප නායකයා පැවසුවේය. එමෙන්ම මෙම සාකච්ඡාවේ දී අගවිනිසුරු-වරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව පිළිබඳව පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එජාප යෙන් නම් කර ඇති සාමාජිකයන් දෙදෙනා වන ජෝන් අමරතුංග හා ලක්ෂ්මන් කිරි ඇල්ලට සහය වීම සඳහා නීතිඥයන්ද නම් කරන ලදී. ඒ රොනල්ඩ් පෙරේරා, ශ්‍රීනාත් පෙරේරා හා ප්‍රදීප් සෝසා යන නීතිඥවරුන්ය.

එජාප නායකයා හා සබරගමු පළාත් සභාවේ එජාප මන්ත්‍රීවරු අතර හමුවක් ඉකුත් බදාදා සිරිකොතේ දී පැවැත්විණි. මෙහි දී පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව එජාප නායකයා ඔවුන්ට මෙසේ උපදෙස් දුන්නේය.
ඔයගොල්ලෝ පළාත් සභාව ඇතුළේ දී පක්ෂය ගැන කතා කරන්න එපා. පක්ෂය ගැන මොනවා හරි දැන ගන්න ඕන නම් මට හරි මහ ‍ලේකම්- තුමාට හරි කතා කරලා දැන ගන්න පුළුවන්.

ධම්මපද ගාථා තරගයක්
පසුගිය දිනක පාර්ලිමේන්තු භෝජනාගාරයේ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හා තලතා අතුකෝරාළ ඇතුළු පිරිසක් දිවා භෝජනය ගන්නා අතරේ දී එතැනට නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පැමිණියේය.
ඔයා රැස්වීම් වල කවි වරද්දන්නේ පබ්ලිසිටි ගන්නද? සජිත් විජිතමුණි සොයිසා ගෙන් විමසුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා රැස්වීමක දී කවියක් ගායනා කරන්නට ගොස් අමාරුවේ වැටුන හැටි මාධ්‍යවල පළ වූ නිසාය.
හරි එහෙමනම් ඔයා ධම්ම පදය දන්නවා නම් ගාථාවක් කියන්න බලන්න. විජිතමුණි සොයිසා සජිත් ට අභියෝග කළේය. සජිත් කියා සිටියේ මුලින්ම විජිතමුණි සොයිසා ධම්ම පද ගාථාවක් කිව යුතු බවය. ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා ධම්ම පද ගාථාවක් කියා එහි සිංහල තේරුම පැහැදිලි කළේය. එයට ප්‍රතිචාර ලෙස සජිත් ද ධම්ම පද ගාථාවක් කියා සිංහල තේරුම පැහැදිලි කළේය. එයින් පසු බට නොවූ නියෝජ්‍ය අමාත්‍යවරයා තවත් ධම්ම පද ගාථාවක් කියා සිංහල තේරුම කීවේය. සජිත් ද නැවතත් එසේම කළේය. මෙසේ දෙදෙනාම මාරුවෙන් මාරුවට ධම්ම පද ගාථා කිහිපයක්ම කී පසු ඇති වූ මඳ විරාමයක දී නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දැන් තමන්ට වෙනත් වැඩකට යාමට අවශ්‍ය බවය. සජිත් කීවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇති කියන තුරු ධම්ම පදය කීමට තමන් සූදානම් බවය. කෙසේ හෝ දෙදෙනා සමුගත්තේ එකිනෙකාගේ ධම්ම පද දැනුම ගැන ප්‍රශංසා කර ගනිමිනි. 

හිටපු එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය ඉකුත් සතියේ අධිකරණ ක්ෂේත්‍රයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන් හා සිවිල් සංවිධාන නියෝජිතයින් ගණනාවක් හමු වී අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කර ඇති දෝෂාභියෝගයට එරෙහිව පුළුල් පෙරමුණක් ගොඩ නැගීම සඳහා සාකච්ඡා කළේය.

අජිත් කුමාර ස්වාධීන වුණේ ඇයි?
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංවිධානයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අජිත් කුමාර ඉකුත් බ්‍රහස්පතින්දා කථානායකවරයාට දැනුම් දුන්නේ තමන් ඉදිරියේ දී ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවය. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු වූ අජිත් කුමාර ඉකුත් මහ මැතිවරණයේ දී එම පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යටතේ තරග වැදි අවස්ථාවේ ගාලු දිස්ත්‍රික්කයෙන් නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත් විය. පසුව ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ වූ අවස්ථාවේ දී අජිත් කුමාර කැරලිකාර කණ්ඩායමට සම්බන්ධව ජන අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කළේය. ඉන් අනතුරුව පාර්ලිමේන්තුව තුළදී අජිත් කුමාරට කතා පැවැත්වීමට ඉඩ ලැබුණේ නැත. ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ ලලිත් හා කූගන් අතුරුදන් වූ අවස්ථාවේ දීත් කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැරගෙන ගිය අවස්ථාවේදීත් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශ කිරීමට අජිත් කුමාර උත්සාහ ගත් නමුත් අවස්ථාව ලැබුණේ නැත. මෙවර අය වැයේ දී තමන්ට අදහස් දැක්වීමට අවස්ථාව දෙන ලෙස අජිත් කුමාර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංගගේ හා ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා තිබුණේය. ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා දැනුම් දුන්නේ නොවැම්බර් 12 වෙනි දින ඔහුට කාලය ලබා දෙන බවය. 12 වැනිදා උදෑසන පාර්ලිමේන්-තුවට ගිය අජිත් කුමාරට දක්නට ලැබුණේ එදින විපක්ෂයේ කථික ලැයිස්තුවේ කථිකයන් හත් දෙනාගෙන් හත් වැන්නා ලෙස ඔහුගේ නම ඇති බවය. එදින හවස සිය කතාව පැවැත්වීම සඳහා ගිය අජිත් කුමාරට දැනගන්නට ලැබුණේ ඔහුගේ නම ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවය. ඔහු මේ ගැන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංගගෙන් විමසුවේය. ජෝන් පැවසුවේ අනුර කුමාර දිසානායකගේ ඉල්ලීම පරිදි ඔහුගේ නම ඉවත් කළ බවය. අජිත් කුමාර ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කළේ මේ සිද්ධියෙන් අනතුරුවය.

කළු සල්ලි ලංකාවට අදින අය වැයක්ලු
ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව ඉකුත් 13 වැනිදා රැස්වූ අවස්ථාවේ ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ අය වැය පිළිබඳවත් අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය පිළිබඳවත් සහ එක්සත් ජාතික පක්ෂය සමග වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන බවට පළ වූ මාධ්‍ය ප්‍රචාර ගැනත්ය.

මේ අය වැය මංකොල්ලකාරයින්ට, ජාවාරම්-කාරයින්ට තමන් හම්බ කර ගත්ත කළු සල්ලි ලංකාවට ගේන්න නීති හදපු එකක්. විනිමය පාලන දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව මුදල් හම්බ කරපු අයට ඒවා ලංකාවට ගේන්නත් විදේශ බැංකුවක මුදල් තැන්පතු පවත්වාගෙන යන්නත් ඒවා ආයෝජනය කරන්නත් ඉඩ හදලා. ඒ මදිවට ඒ අයට අවුරුදු තුනක බදු සහන කාලයකුත් දීලා. මේකෙ අරමුණ පහුගිය කාලයේ ස්විස්බැංකුවලට හොරෙන් සල්ලි දාපු අයට නීත්‍යනුකූල භාවයක් ලබා දෙන එකයි. සුනිල් හඳුන්නෙත්ති පැවසුවේය.
මේ අය වැයේ තව හොඳ ආශ්චර්යයක් තියෙනවා. ඒ යූරියා රක්ෂණ ආශ්චර්යය. ගොවියාට දෙන ‍පොහොර සහනාධාරය අනුව රක්ෂණයකුත් හඳුන්වලා දීලා යූරියා ‍පොහොර මල්ලක් ගන්න කොට රුපියල් එකසිය පනහක අනිවාර්ය රක්ෂණ-යකුත් ලබා ගන්න ඕනෑ. ඒ කියන්නේ මලු දහයට රුපියල් එක් දහස් පන්සියයි. කුමාරවරුන්ට රේස් පදින්න රේසින් කාර්වල බදු අඩු කරනවා. ඒත් සාමාන්‍ය මිනිහගේ වාහනේ බලපත්‍ර ගාස්තු වැඩි කරනවා. අනුර කුමාර දිසානායක පැවසුවේය. අවසානයේ දී ජවිපෙ මධ්‍යම කාරක සභාව තීරණය කළේ අය වැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමටය. 

අනතුරුව සභාවේ අවධානය යොමු වූයේ ඇතැම් මාධ්‍යවල එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර හවුලක් පිළිබඳව පළ වූ වාර්තා පිළිබඳවය. මෙහි දී ලාල් කාන්ත කියා සිටියේ වැටුප් අරගලය සඳහා සෙසු දේශපාලන පක්ෂවලට අයත් වෘත්තීය සමිති සමග කරනු ලබන සාකච්ඡාවන් නිසා මාධ්‍ය මෙවැන්නක් පළ කර ඇති බවය.

සෝමවංශ පැරණි හිතවතකු බැලීමට යයි
ඉකුත් 14 වැනිදා ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ පක්ෂයේ පැරණි සාමාජිකයෙකු ගේ සුවදුක් බැලීමට ගියේය. ඒ පසුගියදා පක්ෂය ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය නම් කෘතියද රැගෙනය. දෙල්ගොඩ රාජා නම් මෙම පැරණි සාමාජිකයා වර්තමානයේ අසනීපව සිටී. තමන්ද දායක වූ ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය කතාව ඇතුළත් එම කෘතිය දෙල්ගොඩ රාජා පිළිගත්තේ ඉතා සතුටිනි.

- නුවන් ගන්කන්ද




Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=4203:2012-11-17-10-42-23&catid=62:2012-08-14-03-41-39&Itemid=84

Share this article with your friends