පිටරට ගිය මැතිඇමැතිවරුන් වහා ගෙන්වයි
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුව ඉකුත් පස්වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මෙවර සතියේ ප්‍රධාන කටයුතු කිහිපයක් යෙදී තිබුණු බැවින් මන්ත්‍රී කණ්ඩායම් හමුව එම කටයුතු කෙරෙහිම අවධානය යොමු කරනු ලැබිය. අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කර ඇති දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තු පුස්තකයට ඇතුළත් කිරීම හා දිවි නැගුම පනතට අදාළ ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුදිනට යෙදී තිබුණි. එමෙන්ම අය වැය ඉදිරිපත් කිරීම ද මෙම සතියටම යෙදී තිබුණි
මෙම සියලු කටයුතු තීරණාත්මක බැවින් මැති ඇමැතිවරුන් සියල්ලෝම අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවට ජනපතිවරයා අවධාරණය කළේය. අනතුරුව ජනපතිවරයාගේ අවධානය යොමු වූයේ මේ දිනවල විදේශගතව සිටින මැති ඇමතිවරුන් පිළිබඳවයි. එම සංඛ්‍යාව දහ අටක් විය.
මේ රට ගිහිල්ලා ඉන්න හැමෝම ගෙන්නන්න. මේ අය හෙටත් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. අය වැය දවසෙත් ඉන්න ඕන. සමහරු දවස් දෙකකට කියලා රට ගිහින් මාස ගණන් ඉන්නවා. තවත් අය නොකියම යනවා. ඉදිරියේ දී මේ වගේ දේවල් වාර්තා වුණොත් සේවය අතහැර ගියා සේ තමයි සලකන්නේ. එහෙම යනව නම් ඇමතිකම් ගැන බලාපොරොත්තු තියා ගන්න එපා. ජනපතිවරයා දැඩිව ප්‍රකාශ කළේය.
සර් මර්වින් සිල්වා ඇමතිතුමා රට ගිහිල්ලා ඉන්නේ. සභාවේ සිටි මන්ත්‍රීවරයෙක් ජනපතිවරයාගේ අවධානයට ලක් කළේය.
කාට වුණත් එකයි. නීතිය කාටත් එකයි. ජනපතිවරයා පිළිතුරු දුන්නේය.
ශේ්‍රෂ්ඨාධිකරණයේ අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව කථානායකවරයාට ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාව ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තු පුස්තකයට ඇතුළත් කරනු ලැබිය. ඒ සමගම කථානායකවරයා පාර්ලිමේන්තුවට දන්වනු ලැබුවේ දෝෂාභියෝග යෝජනාට සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන බවය. ඒ සඳහා දේශපාලන පක්ෂවල නියෝජිතයින් නම් කරන ලෙසද දැනුම් දෙනු ලැබිය.
ආණ්ඩුවේ හත් දෙනා නම් කරයි
ඉකුත් සතියේ දී ආණ්ඩුවේ ඉහළ නායකයින් තමන් ඉදිරිපත් කරන කමිටු සාමාජිකයින් පිළිබඳව සාකච්ඡා කරනු ලැබූ අතර ඉකුත් 08 වැනිදා වන විට ආණ්ඩුවෙන් කමිටු සාමාජිකයින් හත් දෙනෙකු තෝරා ගනු ලැබූහ. ඒ සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, විමල් වීරවංශ, රාජිත සේනාරත්න හා නියෝමාල් පෙරේරාය. එමෙන්ම මෙම ආණ්ඩුවේ ඉහළ පෙළේ සාකච්ඡා වලදී දෝෂාභියෝග යෝජනාව සාර්ථකව ඉදිරියට ගෙන යන ආකාරය පිළිබඳව ද සාකච්ඡා කරනු ලැබිය.
ඔබාමාට ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා ඉදිරි සිවු වසර සඳහාද ඇමරිකාවේ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූ පසු ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂද සුබ පැතුම් පණිවුඩයක් යැව්වේය. ඇමරිකානු නායකයා වශයෙන් ප්රජාතන්ත්රවාදය හා ලෝක සාමය වැනි කටයුතු වලදී ඉදිරියේ දීත් විශිෂ්ට සේවයක් ඉටුකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ශ්‍රී ලංකා ජනපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කර තිබුණි.
කලාකරුවන් හා මාධ්‍යවේදීන්ට වාහන ණය සහ ලැප්ටොප් යන්ත්‍ර බෙදා දීමේ උත්සවය ඉකුත් තුන් වැනිදා හවස්වරුවේ දී අරලිය ගහ මන්දිරයේ දී ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. මේ අවස්ථාවට කෙහෙළිය රඹුක්වැල්ල, අනුර ප්‍රියදර්ශන යාපා යන අමාත්‍යවරුන් ද තිලංග සුමතිපාල, මාලනී ෆොන්සේකා හා මනූෂ නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද එක්ව සිටියහ. මෙහි දී ජනපතිවරයා මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බැංකු ආයතන වලින් ඉල්ලා සිටියේ කලාකරුවන් හා මාධ්‍යවේදීන් කරන සේවය සලකා සිය නිලධාරීන්ව ඔවුන් වෙත යවා ණය මුදල් ලබා දීමට කටයුතු කරන ලෙසය.
ඇමැතිකම් ගැන කතාවක්
ජනපතිවරයා ඉකුත් සතියේ දී තංගල්ල බලා ගියේ එහිදී පැවැත්වීමට සූදානම් කර තිබූ ඩී.ඒ. රාජපක්ෂ ගුණසමරුවට සහභාගි වීම සඳහාය. මෙම සමරුවට සහභාගි වීම සඳහා ජී.එල්. පීරිස්, මහින්ද අමරවීර, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගීතාංජන ගුණවර්ධන හා ඉන්දික බණ්ඩාරනායක යන අමාත්‍යවරුන්ද ශාන්ත බණ්ඩාර හා ශ්‍රී රංගා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද පැමිණ සිටියහ. සියලු දෙනා උදෑසන ආහාර ගත්තේ ජනපතිවරයාත් සමග සුහද කතා බහක යෙදෙන අතරේය.
ඔබතුමා පහුගිය දාක කිව්වා නේ නොදන්වා රට යන ඇමැතිවරුන්ගේ ඇමැතිකම් අයින් කරනවා කියලා. ඒ පුරප්පාඩු වෙන ඇමැතිකම් අපට දෙනවද? මැති ඇමැතිවරු ජනපතිවරයාගෙන් විමසූහ.
නැතුව නැතුව දෙනවා. ජනපතිවරයා සිනාසුනේය.
උදෑසන ආහාර ගැනීමෙන් පසුව ඩී.ඒ. රාජපක්ෂ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම හා ගුණසමරු උත්සවය පැවැත්විණි. එහි දී අනුශාසනාවක් කළ එක් භික්ෂූන් වහන්සේ නමක් මෙසේ ප්‍රකාශ කළහ.
මහින්ද රාජපක්ෂ මහත්තයා මේ ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරුව පවත්වන්නේ අද ඊයේ ඉඳල නොවේ. ජේ.වී.පී. ප්‍රශ්න තිබුණු භීෂණ සමයේදීත් මෙතුමා මේ සමරුව පැවැත්වූවා.
ගුණ සමරු උත්සවය අවසන් වීමෙන් අනතුරුව ජනපතිවරයා හා පිරිස නැවත කාල්ටන් මන්දිරය බලා පැමිණියහ. අනතුරුව මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයාද තංගල්ලට පැමිණ ජනපතිවරයා සමග එක් වූයේ තංගල්ල රෝහලේ අලුතින් ඉදි කළ හදිසි අනතුරු ඒකකය විවෘත කිරීම සඳහාය. එය අවසන් වීමෙන් පසු ජනපතිවරයා පැමිණ සිටි මැති ඇමැතිවරුන් අමතා මෙසේ පැවැසුවේය.
පාර්ලිමේන්තු යන්න හෙලිකොප්ටරයක්
අද පාර්ලිමේන්තු දවසනේ. හැමෝම දැන් පාර්ලිමේන්තු යන්න. වෙලාවට යන්න ඕන හින්දා මම හෙලිකොප්ටරයක් ලෑස්ති කරලා දෙන්නම්. මැති ඇමැතිවරුන් නැවත කොළඹ බලා පැමිණියේ ජනපතිවරයා සූදානම් කර දුන් හෙලිකොප්ටරයෙනි. එදින රාත්‍රී මැද මුලන නිවසේ දී සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වුණු අතර පසුදින දහවල් දානමය පිංකමක් පැවැත්වුණි. මේ කටයුතුවලට ජනපතිවරයා ඇතුළු රාජපක්ෂ සහෝදරයෝ එක්ව සිටියහ.
එජාපයට තේ එපාලු
ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී සිය අය වැය දේශනය හමාර කිරීමෙන් පසු ජනපතිවරයා සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයට එක් විය. එහෙත් තේ බොනවාට වඩා ජනපතිවරයා සිදු කළේ එහි පැමිණ සිටි සියලු දෙනා වෙත ගොස් කතා බහ කිරීමය. එක්සත් ජාතික පක්ෂය මෙම තේ පැන් සංග්‍රහය වර්ජනය කර තිබුණි. එසේ වුවද එජාප මන්ත්‍රීවරු දෙදෙනකු තේ පැන් සංග්‍රහයට පැමිණ සිටියේය. ඒ දැනට පක්ෂ තහනමකට ලක්ව සිටින පාලිත රංගේ බණ්ඩාර හා අශෝක අබේසිංහය. ජනපතිවරයා ඔවුන් දෙදෙනා සමගද කතාබහ කළේය.
මෙසේ මැති ඇමැතිවරුන් සමග කතා කරමින් සිටින අතරේ දී ජනපතිවරයා හදිසියේ එහි සිටි විවිධ මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් වෙත පැමිණ මෙසේ පැවැසුවේය.
එන්නකෝ ඕගොල්ලන්ට මම හොඳ ෆොටෝ එකක් දෙන්න. එසේ පැවැසූ ජනපතිවරයා කෙළින්ම ගියේ දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් හා එම පක්ෂයේ සෙසු මන්ත්‍රීවරු සිටි ස්ථානයටය. ජනපතිවරයා ආර්. සම්බන්ධන් සමග අතින් අල්ලා ගෙන සුහද කතා බහක නිරත වූයේ ඡායාරූප ශිල්පීන් ඡායාරූප ගන්නා අතරේය.
සාම්ප්‍රදායික අය වැය තේ පැන් සංග්‍රහය වර්ජනය කළ එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ කොමිටි ශාලාවකදී අය වැය පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වූයේය. මාධ්‍යවේදීන් එජාප නායකයාගෙන් අය වැය පිළිබඳව අදහසක් ලබා ගැනීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත. එජාපයේ එම රැස්වීම අවසන් වීමෙන් පසු එම ශාලාවෙන් පිටතට පැමිණි විජේදාස රාජපක්ෂ, රවි කරුණානායක හා හරීන් ප්‍රනාන්දුට මූණට මුණ ගැසුනේ ජනපතිවරයාය.
රේසිං කාර් බදු අඩු කළ හේතුව
රේසිං කාර් බදු අඩු කළ හේතුව
මේ අය වැය ගැන ඕගොල්ලන්ට කෑගහන්න දෙයක් නෑනේ. ඒ හින්දා මම ඔන්න ඔයගොල්ලන්ට කෑ ගහන්න රේසිං කාර්වල බදු අඩුකෙරුවා. ඔවුන් දුටු ජනපතිවරයා සිනාසෙමින් පැවැසුවේය.
ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ උද්ඝෝෂණය
තවමත් විසඳී නැති ගෝල්ඩන් කී ප්‍රශ්නයෙන් අසාධාරණයට ලක්ව සිටින එහි තැන්පත්කරුවන් පසුගිය දිනක පෙළපාළියකින් පැමිණ පාර්ලිමේන්තු වට රවුම අසල උද්ඝෝෂණයක නිරත වූහ. ඔවුන් ඉල්ලා සිටියේ ජනාධිපතිවරයා ප්රමුඛ රජය මැදිහත් වී මෙම ප්රශ්නය විසඳන ලෙසය. උද්ඝෝෂණයෙන් අනතුරුව ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගෙන් නියෝජිත පිරිසක් කථානායකවරයාට පෙත්සමක් භාර දීම සඳහා පාර්ලිමේන්තුවට ගියේය. එහෙත් ඒ අවස්ථාවේ කථානායකවරයා පාර්ලිමේන්තුවේ නොසිටි හෙයින් පෙත්සම භාර ගනු ලැබුවේ අමාත්‍ය බැසිල් රාජපක්ෂය.
තිලංගට අලුත් වගකීමක්
එදින පැවැති ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ජනපතිවරයා ගෝල්ඩන් කී ප්රශ්නය පිළිබඳව අවධානය යොමු කළේය. එහිදී ජනපතිවරයා තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාට උපදෙස් දෙමින් කියා සිටියේ සියලුම ගෝල්ඩන් කී තැන්පත්කරුවන් වෙනුවෙන් රජයේ පාර්ශ්වය නියෝජනය කරමින් ඔවුන්ට යුක්තිය ඉටු කිරීමට මැදිහත් වන ලෙසය. පසුව අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට රජයේ සම්බන්ධීකාරක ලෙස තිලංග සුමතිපාල සමග කටයුතු කරන ලෙස දන්වා තිබුණේය.
රනිල්ගේ තීරණයට සජිත් - කරු විරෝධය
අගවිනිසුරුවරියට එරෙහිව එල්ල වී ඇති දෝෂාභියෝගයේ දී එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ඉකුත් සතිය පුරා පක්ෂයේ විවිධ කණ්ඩායම් අතර විවිධ අදහස් පැවැතුණි. එම ප්‍රශ්නයට මැදිහත් නොවීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ ගෙන ඇති තීරණයට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හා කරු ජයසූරිය විරෝධය පළ කරති. ඉකුත් සඳුදා විපක්ෂයේ පක්ෂවල නායකයින්ගේ හමුවක් ජාවත්තේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි. මෙහිදී දෝෂාභියෝගය ප්රශ්නය පිළිබඳව විපක්ෂයේ පක්ෂවල නායකයෝ විවිධ අදහස් දැක්වූහ. මෙහි දී එජාප නායකයා සිය ස්ථාවරය මෙසේ දැක්වූයේය.
අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගය ගේන්නේ ව්‍යවස්ථාවේ සඳහන් පරිදි නීත්‍යනුකූලවයි. ඒ ගැන අපට තර්ක කරන්න බැහැ. ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ මේක කරන්නේ දේශපාලන වුවමනාවකට. දේශපාලන වුවමනාවට අධිකරණය දඩයම් කරන්න දෙන්න බෑ. පසුව විපක්ෂයේ පක්ෂ නායකයෝ දෝෂාභියෝගයට එරෙහිව ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කළහ.
දෝෂාභියෝගය සම්බන්ධයෙන් එජාප නායකයාගේ ආක්‍රමණශීලී නොවන පිළිවෙත පක්ෂය තුළින් කෙළින්ම ප්‍රශ්න කෙරුනේ ඉකුත් අඟහරුවාදා පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවේදීය. මෙහිදී සතියේ පාර්ලිමේන්තු න්යායපත්රය සාකච්ඡා කිරීමෙන් අනතුරුව සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා දෝෂාභියෝගය සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය විමසුවේය.
කෘත්‍යාධිකාරී මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා පක්ෂය දෝෂාභියෝගය සම්බන්ධයෙන් තීරණය අරන් රටට හෙළි කළා. එජාප නායකයා පැවැසුවේය.
තාම පක්ෂයේ පණිවුඩය රටට ගිහිල්ලා නැහැ. ඒක පැහැදිලි කළත් මදි. අපි මීට වඩා මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න ඕන. සුජීව සේනසිංහ තර්ක කළේය.
මේ ප්‍රශ්නෙදී අපේ කාර්ය භාරය තියෙන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී. මේ ප්රශ්නයේ දී යුක්තිය ඉටු කරන්න අපේ කාර්ය භාරය තේරීම් කාරක සභාවේදී දෙමු. එජාප නායකයා නැවත කීවේය.
රනිල්ට කේන්ති ගිහින්
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් වන අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශ කරලා තිබුණා දෝෂාභියෝගයට මුල දිවිනැගුම පනත සම්බන්ධයෙන් ඇති වූ තත්ත්වය නිසා බව. ඒකෙන් තේරෙනවා දෝෂාභියෝගය පිටිපස්සේ තියෙන්නේ දේශපාලන උවමනාවක් බව. අපි මේක ගැන පාරට බහිමු. එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසද ප්‍රකාශ කළේය. එමෙන්ම කබිර් හෂීම් මන්ත්‍රීවරයාද මේ අදහසම මතු කළේය. එහෙත් එජාප නායකයා එම අදහස් පිළිගත්තේ නැත. මේ අතරේ සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා දිගින් දිගටම එජාප නායකයා සමග තර්ක කළේය. එවිට එජාප නායකයා කෝපයට පත් වූයේය.
මේ පක්ෂෙ නායකයා ඔයාද? මමද? මගේ තීරණවලටයි වැඩ කරන්න ඕන. ඔයා කණ්ඩායමක් විදිහට වැඩ කරන්න ඉගෙන ගන්න. ඕන්නම් මාව ඇවිල්ල පුද්ගලිකව හම්බ වෙලා ඉගෙන ගන්න. එජාප නායකයා බැණ වැදුණේය.
ඉකුත් සතියේ දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක, ජෝශප් මයිකල් පෙරේරා, හර්ෂ ද සිල්වා, රවි කරුණානායක හා එරාන් වික්‍රමරත්න සමග ගොස් රාජගිරියේ මැතිවරණ දෙපාර්ත-මේන්තුවේ දී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියව මුණ ගැසුණේය. මෙහි දී මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ දේශපාලන පක්ෂයක ඉහළම කණ්ඩායමක් මෙසේ තමන්ට මුණ ගැසුණේ පළමු වරට බවය. මේ සාකච්ඡාවේ දී එජාප නායකයා පොදුවේ දේශපාලන පක්ෂ වෙනුවෙන් ඉල්ලීම් කිහිපයක් මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරිපත් කළේය. ඒ ඡන්ද නාමලේඛන ඉදිරියෙන් පක්ෂවලට අවශ්‍ය නම් සටහන් තබා ගැනීමට හිස් තීරුවක් වෙන් කර දෙන ලෙසත්, ඕනෑම කෙනකුට ඕනෑම වෙලාවක ඡන්ද නාම ලේඛනයකට ඇතුළු වීමටත් ඉන් ඉවත් වීමට අවසර දීමත්ය. මේ ඉල්ලීම් පිළිබඳව අවධානය යොමු කරන බව මැතිවරණ කොමසාරිස්වරයා පැවැසුවේය.
ලබන දෙසැම්බරයේ දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ පනස් හතරවෙනි සම්මේලනය වෙනුවෙන් සංවිධායක කමිටුව පසුගියදා එජාප නායකයාගේ ප්‍රධානත්වයෙන් රැස් විය. මෙහිදී වැඩි අවධානයක් යොමු වූයේ සම්මේලනයේ ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳවය. මෙම සම්මේලනය පක්ෂ සමගිය රටට පෙන්වන අවස්ථාවක් බවට පත් කළ යුතු බව ද එජාප නායකයා අවධාරණය කළේය.
හම්බන්තොට ලුණු ලේවායේ ලංකා සෝල්ට් ලිමිටඩ් ජාතික සේවක සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරාධනා කර තිබුණේ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසටය. කෙසේ නමුත් එම උත්සවය පැවැති ආයතනයේ රැස්වීම් ශාලාවට සජිත්ට ඇතුළු වීමට අවසර ලැබුණේ නැත. එබැවින් ශාලාවේ සිටි ජාතික සේවක සංගම් සාමාජිකයෝ පිටතට පැමිණ අන්දර ගසක් යට සභාව පැවැත්වූහ. මෙහි දී ඔවුන් එජාප නියෝජ්‍ය නායකයාට ස්තූති කරමින් පැවැසුවේ ඔහු ලබා දුන් රුපියල් පනස් දහසක මුදලින් ඇරඹූ අවමංගල්‍යාධාර අරමුදල මේ වන විට රුපියල් දෙලක්ෂ පනස් දහස දක්වා වැඩි වී ඇති බවය. සජිත් එයට තව රුපියල් පනස් දහසක් ලබා දුන්නේය.
කරු මහනාහිමිවරුන් බැහැදකියි
පෞද්ගලික කටයුත්තක් සඳහා විදෙස් ගතව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණි එජාප හිටපු නියෝජ්‍ය නායක කරු ජයසූරිය ඉකුත් සතියේ දී සියලු නිකායන් හි මහනාහිමිවරුන් බැහැ දැක ආණ්ඩුව විසින් අගවිනිසුරුවරියට එරෙහිව ගෙන ඒමට සූදානම් දෝෂාභියෝගය වැළැක්වීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටියේය.
ජවිපෙ දෝෂාභියෝග කමිටුවට නොයයි?
ජනතා විමුක්ති පෙරමුණේ මෙවර මධ්‍යම කාරක සභාව ඉකුත් තුන් වැනිදා පක්ෂ ප්‍රධාන මූලස්ථානයේ දී රැස් වූ අවස්ථාවේ දී අවධානය යොමු කළේ අග විනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය හා දිවිනැගුම පනත පිළිබඳවය.
අය වැය බඩු මිල, තෙල් ප්රශ්නය වගේ හැම ප්‍රශ්නයක්ම දෝෂාභියෝගයෙන් ආණ්ඩුව යට ගහලා. ජීවන වියදම වැඩිවෙලා. වැඩ කරන ජනතාව වැටුප් වැඩිවීමක් ඉල්ලල පාරට බැහැලා. හැබැයි හැම දෙයක්ම යටවෙලා දෝෂාභියෝග සද්දෙට. ලාල් කාන්ත පැවැසුවේය.
ඒ අතරේ හෙජින් ගිවිසුම නිසා ආණ්ඩුවට ඩොයිෂ් බැංකුවට රුපියල් කෝටි 600ක් විතර ගෙවන්න වෙලා. තෙල් පිරිපහදුව වහන්න සිද්ද වුණ එකෙනුත් රුපියල් කෝටි 100ක් විතර පාඩු වුණා. ඒ නිසා ආණ්ඩුව අය වැයෙන් පස්සේ මේ හැම දේකම මිල වැඩි කරයි. හඳුන්නෙත්ති ප්‍රකාශ කළේය.
ඇත්තම කතාව මේ අර්බුදයට මුල දිවිනැගුම පනත ගෙනාපු එකයි. ආණ්ඩුව කරන්නේ තමන්ගේ ආර්ථීක අර්බුදය වහගන්න සල්ලි කීයක් හරි වැඩිපුර තියෙන තැන්වලින් ඒවා තමන්ගේ හිතු මතේට වියදම් කරන්න පුළුවන් විදියට එක එක ජාතියේ පනත් ගේන එකයි. ඒක තමයි ඇත්ත ආර්ථීක අර්බුදය. ටිල්වින් සිල්වා ද සාකච්ඡාවට එක් විය.
මේ දෝෂාභියෝගය ගේන්නේ නීත්‍යනුකූලව යහපත් ච්ෙතනාවෙන් අධිකරණයේ සාධාරණත්වය හිතලා නෙමේ. ඒ වගේම අගවිනිසුරුවරියගේ ඇත්ත විෂමාචාරය නිසාත් නෙමේ. පොඩි හරි දේශපාලන දැනුමක් තියෙන කෙනකුට තේරෙනවා මේක ගේන්නේ දේශපාලන වුවමනාවකට කියලා. මේක බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන දෝෂාභියෝගයක්. දැන් අවශ්‍ය මේ දෝෂාභියෝගය පරද්දන දේශපාලන සටනක්. ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ ද පැවැසුවේය.
දෝෂාභියෝගය ගැන රටේ මේ තරම් බලවත් අවුලක් තියෙද්දී යූ.එන්.පී.ය ඒකට කිසිම මැදිහත්වීමක් කරන්නේ නැහැ. විපක්ෂ නායකයාගෙන් කිසිම විරෝධයක් නැහැ. මාධ්‍යවේදීන් ඒ ගැන අහද්දී එයා මග අරිනවා. එයා බලා ඉන්නේ ඔටුන්න ඔළුවට වැටෙන කල්. ලාල් කාන්ත නැවත පැවැසුවේය.
අනෙක් පැත්තෙන් ආණ්ඩුව රට තවත් ණය උගුලක හිර කරන්නයි යන්නේ. කබ්රාල් කියලා තියෙනවා ඉදිරියේ දී අයි. එම්. එෆ්. එකත් එක්ක අලුත් ආර්ථික වැඩපිළිවෙළකට යනවා කියලා. කොහොමත් දැනුත් ආණ්ඩුව යන්නේ අයි. එම්. එෆ්. එකත් එක්ක තමයි. මේ හැම දේකටම මුහුණ දෙන්න ශක්තිමත් ජනතා බලවේගයක් අපි ගොඩනගන්න ඕන. හඳුන්නෙත්ති කීවේය.
අනතුරුව සභාවේ සාකච්ඡා වූයේ අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කර ඇති දෝෂාභියෝගය විමසන පාර්ලිමේන්තු කමිටුවට ජනතා විමුක්ති පෙරමුණ සහභාගි වෙනවාද නැද්ද යන්න පිළිබඳවය.
මේ පාර්ලිමේන්තු කමිටුවේ බහුතරය ආණ්ඩුවේම අයයි. එතකොට ආණ්ඩුවේ මන්ත්රීවරුන්ම චෝදනාව ගෙනල්ලා කමිටුවේ දී විභාග කරලා ඒ අයගේ බහුතරයෙන් සම්මත කර ගන්නවා. අපි ගියත් නැතත් ආණ්ඩුව ඒ දේ කරනවා. විජිත හේරත් පැවැසුවේය. ඒ අනුව පක්ෂය තීරණය කළේ පාර්ලිමේන්තුව පිටින් සිට උද්ඝෝෂණ හා විරෝධතා ආදියෙන් දෝෂාභියෝගයට විරෝධය දැක්විය යුතු බවය.
- නුවන් ගන්කන්ද
Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=3934:2012-11-10-08-39-44&catid=62:2012-08-14-03-41-39&Itemid=84