Chitika Smowtion 468x60


Tuesday, December 20, 2011

නියෝජ්‍ය නායක ධූරයෙන් අස්වෙන්නැයි සජිත්ට බලපෑම්


නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වී එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ බහුජන ව්‍යාපාරයකට නායකත්වය දෙන්නැයි සජිත් කණ්ඩායමේ ක්‍රියාකාරිකයින් පිරිසක් ඊයේ රාත්‍රීයේ සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ නිලවරණයේදී නියෝජ්‍ය නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්කර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් අයකු ප්‍රසිද්ධියේ කටයුතු කර ඇතැයි මෙහිදී ප්‍රකාශ කර ඇති රංජිත් මද්දුමබණ්ඩාර මහතා, එසේ නොවූයේනම් කරු ජයසූරිය මහතාගේ ඡන්ද ප්‍රතිඵලයම සජිත් ප්‍රේමදාස මහතාටද ලැබීමට ඉඩ තිබූ බව සඳහන් කර තිබේ.


සජිත් ප්‍රේමදාස මහතා පැරදුනහොත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සම්බන්ධයෙන් පාක්ෂිකයින් තුළ පවතින විශ්වාසය බිඳවැටෙන බව පැහැදිලි කර ඇති රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් එම කෘත්‍යාධිකාරී ජ්‍යෙෂ්ඨ සාමාජිකයා, ඡන්ද දෙක තුනකින් සජිත් දිනවීම රනිල් වික්‍රමසිංහ මහතා ලබන ජයග්‍රහනය සාධාරණීකරනය කිරීමට බලවත් පිටුවහලක්වන බව මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකුටම දුරකතනය මගින් දැනුම් දී ඇතැයි රංජිත් මද්දුමබණ්ඩාර මහතා හෙළිදරව් කළ තිබේ.
එසේ, සජිත් ප්‍රේමදාස මහතා සුළු ඡන්ද ගණනකින් ජයග්‍රහන කරවීම රනිල් වික්‍රමසිංහ මහතාගේ පැහැදිලි කුමන්ත්‍රණයක් බව එම සාකච්ඡායට සහභාගිවී සිටි අනෙකුත් සාමාජිකයින් ද අවධාරණය කර ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා තව දුරටත් රනිල් වික්‍රමසිංහ මහතාගේ යාන්ත්‍රණයට හසු නොවී කරු ජයසූරිය මහතා සමඟ ජනතාව අතරට යා යුතු බව ඔවුන් දැඩි ලෙස ප්‍රකාශ කර තිබේ.

Source : lankanewsweb.com

Share this article with your friends