Chitika Smowtion 468x60


Tuesday, December 20, 2011

වෙස්ට්කෝස්ට් බලාගාරය අක්‍රීය කිරීමට හැරීගෙන් මෙහෙයුමක්


වත්තල කෙරවලපිටිය වෙස්ට්කෝස්ට් විදුලිය නිෂ්පාදන බලාගාරයේ නිෂ්පාදන කටයුතු සඳහා යොදාගනු ලබන Low Sulfer fuel oil (LSFO) හිඟයක් මවාපා එම විදුලි බලාගාරයේ නිෂ්පාදන කටයුතු අක්‍රීය කිරීමේ සියුම් සැලසුමක් දියත්වී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ එම සංස්ථාවේ සභාපති කෝටිපති ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා බව වැඩිදුරටත් අනාවරණය වේ.
හැරී ජයවර්ධන මහතා සභාපති ධූරයට පත්වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම LSFO ඉන්ධන වර්ගය මිලදී ගෙන තිඛෙන්නේ මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 690ක මුදලකටවන අතර එහි Premium කාණ්ඩය සඳහා ඇමරිකානු ඩොලර් 27ක මුදලක් ගෙවා තිබේ. හැරී ජයවර්ධන මහතා සභාපති ධුරයට පත්වීමෙන් අනතුරුව මෙම මිලදී ගැනීම් පස්වතාවකට අධික ප්‍රමාණයක් අත්හිටුවා ඇති අතර පසුව මෙම ඉන්ධන වර්ගය සැපයීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Fujaira නැමැති සමාගම සමඟ මාස හයක ගිවිසුමකට එළඹ තිබේ.


මෙම ගිවිසුම ප්‍රකාරව Fujaira සමාගම විසින් දෙසැම්බර් මස 21වන දිනට LSFO ඉන්ධන මෙටි්‍රක් ටොන් 40,000ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අලවිකළයුතුව තිබුණු අතර එකී මෙටි්‍රක් ටොන් 40,000 ලංකාවට එවීමට තමන් අපොහොසත්වනු ඇතැයි Fujaira සමාගම විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත දන්වා තිබේ. ඒ සඳහා Fujaira සමාගම හේතු ලෙස දක්වා ඇත්තේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන ආනයනය කිරීමේදී පිළිගත නොහැකි සහ ඉටුකළ නොහැකි අනවශ්‍ය කොන්දේසි රැසක් පනවා ඇති හෙයින් එම කොන්දේසිවලට යටත්ව මෙම සැපයීම සිදු කළ නොහැකි බවයි.
මෙසේ මෙම ඉන්ධන වර්ගය අදාළ දිනට නොලැඛෙන්නේ නම් කෙරවලපිටිය වෙස්ට්කෝස්ට් බලාගාරයේ නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන් ම නවතා දැමීමට සිදුවේ. මෙහි නියත ප්‍රතිඵලය වන්නේ ජාතික විදුලිබල ධාරිතාවය සඳහා පුද්ගලික සමාගම්වලින් විදුලිය මිලයට ගැනීමට සිදුවීමයි. මේ සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට විශාල අතිරේක පිරිවැයක් දැරීමට සිදුවේ.
මෙම තත්ත්වය පිළිබඳව පසුගිය දෙසැම්බර් 14වෙන දා ඒ.එච්.එම්. ෆවුසි අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු අනුකාරක සභා රැස්වීමේදී සාකච්ඡා කොට ඇති අතර එහි දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව Fujaira සමාගම වෙත පනවන ලද කොන්දේසි පිළිබඳව පාර්ලිමේන්තු අනුකාරක සභාවේ සාමාජිකයන් විමතිය පළ කර ඇති අතර ඒ පිළිබඳව සභාපති හැරී ජයවර්ධන මහතාගෙන් කරුණ විමසීමට තීරණය කොට තිබේ.
මෙසේ Fujaira සමාගම අදාළ ඉන්ධන තොගය එවීමට නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැන්වූ වහාම එහි සභාපතිවරයා සිදු කර ඇත්තේ ඒ සඳහා විකල්ප සැපයුම්කරුවෙකු ලෙස නෙදර්ලන්තයේ රොටර්ඩෑම්හි Vitol Group නැමැති සමාගමට LSFO ඉන්ධන සැපයීමට අවස්ථාව ලබාදීමයි. මෙකී අවස්ථාව සියලූම ටෙන්ඩර් පටිපාටි උල්ලංගනය කරමින් සිදුකර ඇති අතර Fujaira සමාගමෙන් මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 710කට ලබාගන්නා LSFO ඉන්ධන Vitol Group සමාගමෙන් මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 790කට ලබාගැනීමට කැමැත්ත පළකොට තිබේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති හැරී ජයවර්ධන මහතා මෙසේ අත්තනෝමතික ආකාරයෙන් කරන ලද මිලදී ගැනීම් හේතුවෙන් සංස්ථාවට ඔහුගේ නිලකාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 110ක් පමණ අහිමිවී ඇතැයි සංස්ථා අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන අතර, ඔහු මෙසේ හිතාමතාම කෙරවලපිටිය විදුලි බල නිෂ්පාදනාගාරයේ කටයුතු අක්‍රීය කිරීමට හේතු වී ඇත්තේ එවිට ඔහු සතු විදුලි බල නිෂ්පාදනාගාරවලින් ජාතික විදුලිබල ධාරිතාවයට විදුලිය විකිණීමේ උපායක් ලෙසය.
මේ සම්බන්ධයෙන් 'Lanka News web' . සමඟ දුරකතනයෙන් කරුණු පැහැදිලි කළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති හැරී ජයවර්ධන මහතා පවසා සිටියේ, මේ සම්බන්ධයෙන් තමාට එරෙහිව පාර්ලිමේන්තු අනුකාරක සභාව ඇතුළු සියලූම පුද්ගලයින් නගා ඇති චෝදනා තමන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත් තමා කිසි විටක සංස්ථාවේ මිලදී ගැනීම් සම්බන්ධයෙන් හෝ ටෙන්ඩර් පටිපාටිය සම්බන්ධයෙන් කටයුතු නොකරන බවත් ඒ සඳහා කටයුතු කිරීමට වෙනමම තාක්ෂණික මණ්ඩල ඇති බවයි. සභාපතිවරයා වශයෙන් තම විෂය පථය කුමක්දැයි තමා හොදින් දන්නා බවත් කිසිවිටකත් එම විෂය පථය ඉක්මවා නොයන බව සඳහන් කළ සභාපතිවරයා තමන්ගේ විදුලිබල නිෂ්පාදනාගාරවලින් විදුලිය, විදුලිබල මණ්ඩලයට අලවිකරන ලද්දේ අවුරුදු 25ක කාලයක සිට බවත් තමාට අන් පුද්ගලයන් මෙන් අනිසි ආකාරයෙන් මුදල් ඉපයීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් තමා මෙම ධූරයට පත් වූ දා සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මිලියන ගණනක් ඉතුරු කර දී ඇති බව ඒ මහතා අවධාරණය කර සිටියේය.

Source : LankaNewsWeb.com

Share this article with your friends