Chitika Smowtion 468x60


Tuesday, January 31, 2012

අලෙවි වෙනුවට ගීතාංජන පත්කිරීමට ගත් උත්සාහයත් අසාර්ථකයි


බස්නාහිර පළාතේ ආණ්ඩුකාර ධූරයෙන් අලෙවි මව්ලානා මහතා ඉවත්කොට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතාංජන ගුණවර්ධන මහතා පත්කිරිමට ජනාධිපතිවරයා දැරූ උත්සාහයත් අසාර්ථක වී තිබේ. පසුගිය දින කිහිපයෙහි ජනාධිපතිවරයා විසින් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ දේශපාලන ව්‍යාපෘතින් කිහිපයක්ම අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් හකුලා ගැනීමට ඔහුට සිදුවිය.
කෙසේ වුවද, එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කොට ඇති මහජන එක්සත් පෙරමුනේ ගීතාංජන ගුණවර්ධන මහතා ඉල්ලා අස්කරගන්නා ලෙස ජනාධිපතිවරයා පසුගියදා එම පක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාට දැනුම්දි තිබේ.

එම ඉල්ලීම හමුවේ තිගැස්මකට ලක්වී ඇති දිනේෂ් ඇමතිවරයා, එසේනම් ගීතාංජනට සුදුසු වෙනත් තනතුරක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා හමුවේ බැගෑපත්වී තිබේ.

අලෙවි මව්ලානා මහතා මේ දිනවල සිහිමද ගතියෙන් පෙළෙන බැවින්, ඔහු බස්නාහිර ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමට එකඟ කරගන්නේනම් එම තනතුර ගීතාංජනට ලබාදිය හැකි බව ජනාධිපතිවරයා මෙහිදී දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාට පවසා ඇත.

අලෙවි මව්ලානා මහතාව පෙබරවාරී 08 වන දා එම තනතුරෙන් ඉවත්කිරිමට තමා තීරණය කර ඇති නමුත්, ඊට පෙර ඉල්ලා අස්වීමේ ලිපියක් ලබාගැනීමට හැකිනම් එය වඩාත් සුදුසු බව ජනාධිපතිවරයා, ගුණවර්ධන ඇමතිවරයාට පවසා ඇත.

එහෙයින් අලෙවි මව්ලානා මහතා හමුවී මෙම යෝජනාව ඉදිරිපත් කරන ලෙස දැනුම්දී ඇති ජනාධිපතිවරයා, එසේ ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදුනහොත් ඔහුව තමාගේ මැදපෙරදිග කටයුතු සම්බන්ධ ජ්‍යෙෂ්ඨ උපදේශකයා ලෙස පත්කිරීමට එකග බවද පවසා තිබේ.

ඒ අනුව දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා පසුගිය දා අලෙවි මව්ලානා මහතා හමුවීමට ගොස් ඇති අතර ඇමතිවරයා වෙනුවෙන් මව්ලානා මහතා විසින් ප‍්‍රනීත භෝජන සංග‍්‍රහයක්ද සූදානම් කොට තිබී ඇත.

එම සුහද සාකච්ඡාවේදී දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, එම මොහොතේ ඇය අසල සිටි මව්ලානා මහතාගේ පුත‍්‍රයින් තිදෙනා දැඩි ආවේගයෙන් යුතුව ජනාධිපතිවරයාට බැනවැදී තිබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දශක කිහිපයක් ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ තම පියාට මෙලෙස නිග‍්‍රහ කරන්නේනම් දැඩි ක‍්‍රියාමාර්ගයක් ගන්නා බව සඳහන් කර ඇති මව්ලානා මහතාගේ පුත‍්‍රයින්, තම පියාට ආණ්ඩුකාර තනතුර ලබාදුන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නොව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් බවද සිහිපත් කර තිබේ.

එහෙත් මව්ලානා මහතා මෙහිදී ප‍්‍රකාශ කොට ඇත්තේ ජනාධිපතිවරයා තමාව ආණ්ඩුකාර ධූරයෙන් ඉවත්කළ හොත් තමා දේශපාලනයෙන් සමුගන්නා බවයි. ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට මේ වනවිට අත්වී ඇති ඛේදජනක ඉරණම ගැන අලෙවි මව්ලානා මහතා දැඩි කනස්සල්ලෙන් යුතුව මෙහිදී අදහස් ප‍්‍රකාශ කර තිබේ.

මේ අනුව, අලෙවි මව්ලානා මහතාගේ විරෝධය දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇති අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨතමයෙකු ඉවත්කොට තම පක්ෂයේ අයෙකුට තනතුරක් ලබාදීමෙන් ආණ්ඩුවේ පැවැත්මට පවා හානියක් විය හැකි බව පවසා තිබේ.

එම තත්ත්වය යටතේ අලෙවි මව්ලානාගේ සේවය පෙබරවාරී 01 දා සිට යලිත් දීර්ඝ කිරිමට අදාල ලිපිය ජනාධිපතිවරයා විසින් අද නිකුත් කර තිබේ.

මේ වනවිට අප වෙත වාර්තාවන පරිදි ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස නීතීඥ ජනක බණ්ඩාර මහතාටද ජනාධිපතිවරයා විසින් දැනුම්දී තිබේ. ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී කමලා රණතුංග මෙනවිය ඉවත්කිරිමට ජනාධිපතිවරයා තීරණය කර තිබුණද ජනාධිපති ආර්යාව ඊට විරෝධය පළකර තිබිණ.


Source : lankanewsweb.com

Share this article with your friends