Chitika Smowtion 468x60


Thursday, April 19, 2012

ලලිත් හා කූගන් CCD යෙන් රැගෙන යයි ?


පසුගිය 12වන දා රාත්‍රියේ සිට දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාශ මූලස්ථානයේ රඳවාගෙන සිටි ලලිත් හා කූගන් යන ජනඅරගල ව්‍යාපාරයේ ප්‍රධානීන් දෙදෙනා අද(19) උදැසන 2.20ට පමණ එම ස්ථානයෙන් රැගෙන ගොස් ඇති බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ගවලින් අප වෙත වාර්තාවේ.
මොවුන් දෙදෙනා පොලිස් සුභසාධක මූලස්ථාන ගොඩනැගිල්ලේ රඳවාගෙන සිටින බව පසුගිය 12වනදා අපගේ වෙබ් අඩවියෙන් හෙළිදරව් කරන ලදී. අනතුරුව එදිනම රාත්‍රී ඔවුන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාශ මූලස්ථානයට රැගෙන ආ බව අප වෙත වාර්තා වී තිබුණද අප ඒ පිළිබඳව හෙළිදරව් කිරීමෙන් වැලකී සිටියේ ඔවුන්ගේ ජීවිත වලට තර්ජනයක් වෙතැයි සැකය හේතුවෙනි.
එහෙත් අද උදැසන AA-C026 ගරාජ් අංක සහිත සුදු පැහැති ලෑන්රෝව ජීප්රථයක් සහ දෙපස වීදුරු අදුරු කරන ලද ටොයටා වෑන් රථයකින් ඔවුන් දෙදෙනා එම ස්ථානයෙන්ද වෙන වෙනම රැගෙන ගොස් තිබේ. එම වාහන දෙක කොළඹ අපරාධ කොට්ඨාශ මූලස්ථානයට පැමිණීමට මොහොතකට පෙර එම කාර්යාලයේ සියලූම පිරික්සුම් විදුලි ආලෝක නිවා දමා ඇති අතරම එම කාර්යාලය ඉදිරිපිටම ඇති පෙට්ටි කඩය අසල සිටි පිරිස්ද ඉවත් කර තිබේ.
එම වාහන දෙක පැමිණී වහාම, ඔළුවේ සිට දණිස් දක්වා ඛෙඩ්ෂීට්වලින් ආවරණය කරන ලද ලලිත් සහ කූගන් දෙදෙනා එම වාහනවලට දමාගෙන තිබේ. සාමාන්‍යයෙන් පැහැරගෙන එනු ලබන පුද්ගලයින්ගේ දැස් පමණක් බැඳ රැගෙන ඒම හා රැගෙන යාම සිදුකරන ලබන නමුත්, මොවුන් දෙදෙනාගේ හිසේ සිට දණිස් දක්වා ආවරණය කරනු ලැබුවේ එම ආයතනයේ සිටින අනෙකුත් පුද්ගලයන්ට ඔවුන්ව හඳුනා ගැනීම වළකාලීමට බව ද වාර්තාවේ.
එසේ වාහනයකට නංවන ලද එක් පුද්ගලයකු කළු පැහැති දිග කලිසමකින් සැරසී සිටි බවත්, අනෙක් පුද්ගලයාගේ දෙපා නිරාවරණ වී තිබී ඇත. ඔවුන් දෙදෙනාම ඉතා අමාරුවෙන් ඇවිද ගිය බව ද වාර්තාවේ.
ලලිත් හා කූගන් යන දෙදෙනා පොලිස් සුභසාධන මූලස්ථානයේ රඳවාගෙන නොමැති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ නොහොත් 'බත්බඩා' මාධ්‍ය වෙත කර ඇති ප්‍රකාශය අප්‍රේල් 12වනදා රාත්‍රියෙන් පසු වලංගු නමුත්, එතෙක් ඔවුන් එම ස්ථානයේ රඳවා සිටිබව අප යළිත් අවධාරණ කර සිටිමු.
ලලිත් හා කූගන් යන දෙදෙනා අද උදැසනවනවිටත් ජීවතුන් අතර සිටි බව අප දැඩි වගකීමකින් යුතුව ප්‍රකාශ කර සිටින අතර ඔවුන්ව බේරා ගැනීමට වහා මැදිහත්වන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලූ දෙනාගෙන් දැඩිව ඉල්ලා සිටිමු.

























Source - lankanewsweb.com

Share this article with your friends