Chitika Smowtion 468x60


Thursday, May 31, 2012

එක වසරකට කාන්තාවන් 607 ක් සහ ළමයින් 1180 ක් දූෂණය කරන ආශ්චර්යමත් දූපතක්


පොලිස් වාර්තාව හෙළිකරයි.!
ලමයින්ට වැඩියෙන්ම අපරාධ කර ඇත්තේ ලඟම නෑදෑයන් සහ භාරකරුවන් බව හෙලිවේ.!

ළමයින්ට සහ කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ සම්බන්ධයෙන් වැදගත් දත්ත සංඛ්‍යා ලේඛණ රැසක් එළිදක්වන පොලීසිය ඒවා ඉදිරිපත් කරන්නේ ළමයින්ට සහ කාන්තාවන්ට එරෙහි වැරදි වැලැක්වීමට මිස ළමයින්ට හා කාන්තාවන්ට එරෙහිව අපරාධ විශාල සංඛ්‍යාවක් සිදුවී ඇතැයි හුවා දැක්වීමට නොවණ බව ප්‍රකාශ කරයි.

අද සවස පොලිසිය විසින් නිකුත් කරන ලද ළමා හා කාන්තා අපරාධ සම්බන්ධ සංක්ෂිප්ත වාර්තාව පහත පරිදිය.

2011 වර්ෂය සඳහා ළමයින්ට පහරදීම් සිද්ධින් 252 ක් ද, ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය සම්බන්ධ වැරදි (වයස අවුරුදු 16 ට අඩු ළමයින්ට ස්ත්‍රී දූෂණය සිදු කිරීම) 1169 ක් ද, ව්‍යාභිචාරය හෙවත් ලේ ඥාතීන් අතින් සිදුවූ ලිංගික අපරාධ 11 ක් ද වාර්තා වී ඇති අතර මනුෂ්‍ය ඝාතන වලට ගොදුරු වූ ළමයින් සංඛ්‍යාව 27 කි.

2012 වර්ෂයේ ජනවාරි 01 දින සිට මාර්තු 31 දින දක්වා පළමු කාර්තුව තුල ළමයින්ට පහරදී තුවාල සිදු කිරීම් 90 ක් ද, ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ 317 ක් ද, ව්‍යාභිචාර 05 ක් ද ළමයින් මරණයට පත් කිරීම් 14 ක් ද වාර්තා වි ඇත

මෙම සිද්ධින් වලින් 95% සම්පූර්ණයෙන්ම විසඳා සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියා මාර්ග ගෙන ඇත. ළමා අපරාධ බොහොමයක් වාර්තා වි ඇත්තේ අනුරාධපුරය, අම්පාර, කුරුණෑගල, මොණරාගල, රත්නපුර, පොළොන්නරුව, පානදුර, මාතලේ, හලාවත, කෑගල්ල, තංගල්ල, මහනුවර සහ ගම්පහ ප්‍රදේශ වලිනි

තවද ශ්‍රී ලංකා පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, අධිකරණ වෛද්‍ය නිළධාරී කාර්යාලය, පරිවාස සහ ළමාරක්ෂන දෙපාර්තමේන්තුව එක්ව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේද සහාය ඇතිව ළමයින්ට එරෙහි අපරාධ වලට අදාල සිද්ධිය සිදුවී මාස 06 ක් ඇතුලත සියලූම නීති කෘත්‍යයන් අවසන් කිරීමේ නියමු ව්‍යාපෘති ගම්පහ, පොළොන්නරුව සහ අනුරාධපුරය මහාධිකරණ බල සීමා ආශ්‍රීතව ක්‍රියාත්මක කරන අතර අදාල අපරාධකරුවන් වැරදිකරුවන් වන්නේනම් මාස 06 ක් ඇතුලත දඩුවම් ලබා දීම සිදුවේ

කාන්තාවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් සලකා බැලීමේදී 2011 වර්ෂයේ ගෘහස්ථ ප්‍රචන්ඩත්වයට අදාල වැරදි 142 ක් ද, කාන්තාවන් ඝාතනයට ලක්වීම් 101 ක් ද, වාර්තා වි ඇත. එමෙන්ම ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 607 කි.

තවද 2012 ජනවාරි 01 දින සිට මාර්තු 31 දින දක්වා ගෘහස්ථ ප්‍රචන්ඩත්වයට අදාල සිද්ධීන් 80 ක් ද, කාන්තාවන් ඝාතනයට ලක්වීම් 14 ක් ද, ස්ත්‍රී දූෂණ 59 ක් ද වාර්තා වී ඇති අතර, වාණිජමය ලිංගික කටයුතූ (ගනිකාවන්) වල යෙදුන කාන්තාවන් 65 ක් අත් අඩංගුවට ගෙන ඇත

ළමයින්ට හා කාන්තාවන්ට එරෙහිව සිදුවන වැරදි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය ප්‍රමුඛත්වය ලබා දී ක්‍රියා කරන අතරම ළමයින්ට එරෙහි වැරදි බොහොමයක් සිදුවී ඇත්තේ ඔවුන්ගේ භාරකරුවන්, ළගම ඥාතීන් හෝ අසල්වාසීන් ගෙන්ය

ළමයින්ට සහ කාන්තාවන්ට එරෙහි වැරදි වැලැක්වීමට සැම දෙනාම දායක විය යුතු අතර මෙම දත්ත ඉදිරිපත් කර ඇත්තේ හුදෙක්ම ළමයින්ට හා කාන්තාවන්ට එරෙහිව අපරාධ විශාල සංඛ්‍යාවක් සිදුවී ඇතැයි හුවා දැක්වීමට නොව, ඒ තුලින් එවැනි වැරදි නොකිරීමට සමාජයේ පිරිස් දැනුවත් කිරීම සඳහා මතවාදයක් සහ කතිකාවක් සමාජය තුල ගොඩනැංවීම සඳහාය

නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ළමා හා කාන්තා කාර්යාංශයට අමතරව ලංකාවේ සෑම පොලිස් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි ළමා හා කාන්තා කාර්යාංශ 43 ක් ඇත. එමෙන්ම සෑම පොලිස් ස්ථානයකම ළමා හා කාන්තා කර්යාංශයේ ඒකකයක් ඇත. මෙම ඒකකවල රාජකාරී සඳහා කාන්තා පොලිස් නිළධාරීන් යොදවා ඇත. සැමවිටම කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි අපරාධ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැනි කරුණු සම්බන්ධයෙන්ද මෙම ඒකක විශේ්ෂයෙන්ම ක්‍රියා කරනු ලබයි.

2011 වර්ෂය තුල ළමා හා කාන්තා කාර්යාංශ සහ පොලිස් ස්ථාන මගින් මෙවැනි වැරදි සිදු කිරීම වැලැක්වීමට දැනුවත් කිරීමේ දේශන 14311 පවත්වා ඇති අතර, 2012 වර්ෂයේ මුල් කාර්තුව සඳහා එවැනි දේශන 5280 ක් සිදු කර ඇත.

ළමයින්ට සහ කාන්තාවන්ට එරෙහිව සිදුවන වැරදි සම්බන්ධව ඒ ඒ පොලිස් ස්ථාන වෙත ක්ෂනිකව දැනුම්දීය හැකි අතර, ඊට අමතරව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 දරණ දුරකථන අංකයට ද, ළමා හා කන්තා කාර්යාංශයේ 0112826444 අංකයට ද එම තොරතුරු ලබා දිය හැකිය

Share this article with your friends