Chitika Smowtion 468x60


Thursday, June 28, 2012

පාර්ලිමේන්තුවට ආචාර ධර්ම අවශ්‍යයි - අමාත්‍ය මර්වින්


පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ආයතනයකට ආචාර ධර්ම තිබීම යෝග්‍ය යයි තමා විශ්වාස කරන බව කැබිනට් අමාත්‍ය මර්වින් සිල්වා ප්‍රකාශ කරයි.
කෙසේ වුවත් පාර්ලිමේන්තුවේදී නොමනා අන්දමින් හැසිරෙන, අසභ්‍ය වචන භාවිතා කරන මන්ත්‍රීවරුන්ට දිය යුත්තේ කවර ආකාරයේ දඬුවම් දැයි තීරණය කිරීම නඩුකාරවරුන්ගේ හෝ පාර්ලිමේන්තුවට ආචාර ධර්ම පද්ධතියක් සම්පාදනය කිරීම සඳහා පත්කොට තිබෙන කමිටුවට අයත් කාර්යයක් බවද ඇමතිවරයා කියා සිටියේය.
අමාත්‍ය මර්වින් සිල්වා බීබීසී සංදේශයටඒ බව පැවසුවේ අදාළ කමිටුව පත්කිරීම පිළිබඳව බීබීසී සංදේශය ඔහුගේ අදහස් විමසූ අවස්ථාවේදී.
"ඕන කෙනෙක් චෝදනාවක් එල්ලකරන්න. බුදු හාමුදුරුවන්ටත් චෝදනා තිබුනා, හිනාවුනාම ඒ චෝදනා ඉවත් වුනා," බව අමාත්‍ය සිල්වා පැවසුවේ පාර්ලිමේන්තුවේදී නොමනා අන්දමින් හැසිරෙන සහ අසභ්‍ය වචන භාවිතා කරන බවට ඔහුට එරෙහිව එල්ලවී තිබෙන චෝදනා පිළිබඳව විමසූ අවස්ථාවේදී.
එහෙත් කමිටුවේ සාමාජිකයෙකු වන විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේ පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම බිඳ වැටීම පිළිබඳව මහා ජනතාවගේ බරපතල අප්‍රසාදය පලවී තිබෙන බවයි.
කමිටුව පත් කිරීමේ අරමුණ පාර්ලිමේන්තුව කෙරෙහි නැවතත් ජනතා විශ්වාසය ගොඩ නැංවීම බවයි, ඔහු පවසන්නේ.
බොහෝ චෝදනා එල්ලවී තිබෙන මර්වින් සිල්වා වැනි අමාත්‍යවරුන්ගෙනුත් කරුණු විමසීමට බලාපොරොත්තු වන්නේ දැයි විමසූ විට විජේදාස රාජපක්ෂ ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ "පාර්ලිමේන්තුවේ ගෞරවය රැකෙන්නෙ නැති වෙන විදියට දැනටමත් හැසිරෙන, පහත් පැවැත්මක් ඇති අසභ්‍ය වචන පාවිච්චි කරන, අනෙකුත් උදවියට අපහාස උපහාස කරන එවැනි උදවියගෙන් මම හිතන්නේ අපිට ගන්න උපදේශයක් නැති," බවයි.
- BBC Sandeshaya

Share this article with your friends