Chitika Smowtion 468x60


Friday, November 9, 2012

වැලිකඩ හිරගෙදර වහලේ උඩ සිටින සිරකරුවන් ටී.56න් වෙඩි තබති




වැලිකඩ බන්ධනාගාරයේ වහල උඩට නැගගත් රැඳවියන් තමන් අත තිබෙන ටී.56 ගිනි අවිවලින් හතර අතට වෙඩි තබන්නට පටන් ගැනීමත් සමග බන්ධනාගාරය තුළ සහ ඒ අවට එකම යුද පිටියක වෙස් ගෙන ඇතැයි වාර්ථා වේ. මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටි සිරකරුවන් 350ට වැඩි පිරිසක් ඔවුන් රඳවා සිටි කාමරවල යකඩ දොරවල් කඩා ගෙන බන්ධනාගාරයේ ඇතුළත පිහිටි මිදුලට පැන ඇතැයිද කියති. මෙම කණ්ඩායම වැලිකඩ සිර ගෙදර ආයුධ ගබඩාව කඩා ඒවායේ තිබූ ටී.56 ගිනි අවි පැහැර ගෙන ඇත. අද පෙරවරුවේ බන්ධනාගාරය හදිසිය වැටලූ විශේෂ කාර්‍ය බලකායට අයත් සෙබලුන් සහ පොලිස් සුනඛයින් සිර ගෙදර අස්සක් මුල්ලක් නෑර සෝදිසි කරන්නට පටන් ගත්තේය.
ඒ මෙම සිරකරුවන් නීතිවිරෝධි භාණ්ඩ පරිහරණය කරන බවට තොරතුරු දිගින් දිගටම ලැබීමත් සමගය. මෙම හදිසි වැටලීමේදී රැඳවියන් සඟවා ගෙන සිටි ජංගම දුරකතන සියයකට වැඩි සංඛ්‍යාවක් සහ මත් ද්‍රව්‍ය ප්‍රමාණයක්ද සොයා ගෙන ඇත. මෙහෙයුම අවසන් වී විශේෂ කාර්‍ය බලකා නිලධාරින් බන්ධනාගාරයෙන් පිටතට එද්දී රැඳවියන් ඔවුන්ට හූ කියමින් ගල් ගසන්නට පටන් ගත් බව පැවසේ. මෙම අවස්ථාවේ දී විශේෂ කාර්‍ය බලකා සෙබලුන් තමන්ට පහර දෙන රැඳවියන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන්නට පටන් ගෙන තිබේ. 

මෙම තත්ත්වය මොහොතකින් උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර රැඳවියන් සිය ගණන් බන්ධනාගාරයේ වාට්ටුවල දොරවල් කඩා ගෙන පිටතට පැමිණ ආයුධ ගබඩාව කඩා ගිනි අවි පැහැර ගෙන ප්‍රතිප්‍රහාර දෙන්නට පටන් ගෙන තිබේ. මේ වනවිට විශේෂ කාර්‍ය බලකායේ සෙබලුන් දෙදෙනෙක් , බන්ධනාගාර ජේලර්වරයෙක් ඇතුළු දහතුන් දෙනෙක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇත. ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතල නැතැයි හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂක ප්‍රසාද් ආරියවංශ මහතා පවසයි. ගිලන් රථ කිහිපයක් හා වතුර බවුසර් හදිසි අවස්ථාවක් උදා වුවහොත් ප්‍රයෝජනය ගැනීම සඳහා ගෙන්වා තිබේ. 

බන්ධනාගාරයේ වහල උඩ සිටින රැඳවියන් ටී.56 ගිනිඅවිවලින් වෙඩි තැබීම නිසා බන්ධනාගාරය අවට සිටින සිවිල් ජනතාව හා රථ වාහන වහාම එම ස්ථානයෙන් ඉවත් කර ඇත. අතිරේක යුද හමුදා සෙබලුන් විශාල පිරිසක් තත්ත්වය මැඬ පැවැත්වීම සඳහා යොදවා තිබේ. සිරකරුවන්ට බන්ධනාගාරය කඩා ගෙන මාර්ගයට පැමිණෙන්නට බැරි ආකාරයට ආරක්ෂක විධිවිධාන තරකර තිබෙන අතර බන්ධනාගාරයේ වහල උඩ රැඳී සිටින සිරකරුවන් තිදෙනෙක් අත ටී.56 ගිනි අවි තිබෙන බවක් පෙනේ.

- ගයාන් කුමාර වීරසිංහ



Share this article with your friends