Chitika Smowtion 468x60


Tuesday, February 21, 2012

රුපියල අව ප්‍රමාණ කිරීමෙන් අපට වගතුවක් තිබේද?

පසුගිය නොවැම්බර් මාසයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2012 අයවැයෙන් රුපියල 3% කින් අවප්‍රමාණය කිරීමට තීන්දු කිරීමත් සමඟ 110.38 ට තිබූ ඇමරිකානු ඩොලරය රුපියල් 113.80ක් දක්වා ඉහළ නැගුණි.

එමඟින් රජය බලාපොරොත්තු වූයේ දේශීය භාණ්ඩ අපනයනය කිරීමෙන් වැඩි ලාභයක් උපයාගැනීමයි.

ඉන්පසු පසුගිය මාස කීපයක් ඇමරිකානු ඩොලරය රු. 113ක් වූ ස්ථාවර ම අගයක පැවතුන අතර රුපියලේ අගය දිගින් දිගටම පිරිහීම ආරම්භ වුයේ පෙබර්වාරි 02 වෙනිදා සිටයි. පෙබරවාරි 03 වැනිදා ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල රු. 114.88 දක්වා ඉහල ගියේය.

පෙබරවාරි 06 වනදා වනවිට ඩොලරයක අගය රු.114.30ක් විය. ඒ අනුව ඩොලරයක ගැණුම් මිල රු. 113.31ක් වූ අතර විකුණුම් මිල දැක්වුණේ රු. 115.18ක් ලෙසයි.



පසුගිය වසර පුරාවට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ආරක්ෂා කර ගැනීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් වෙළඳපොලේ ඩොලර් විකුණන ලදි. එබැවින් පසුගිය වසරේ ජූලි මාසයේදි ඩොලර් බිලියන 8.1ක් වූ ලංකාව සතු විදේශ සංචිත ප්‍රමාණය දෙසැම්බර් අවසන් වනවිට ඩොලර් බිලියන 5.8 දක්වා පහළ ගියේය. එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිගින් දිගටම අවධාරණය කළේ විනිමය අනුපාත නිදහසේ තීරණය වීම සදහා ඉඩ දිය යුතු බවයි.

මේ අතර පෙබරවාරි 03 වනදා සිට මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 50කින් වැඩි කිරිමට තීරණය කිරිමත් සමග අද අන්තර් බැංකු මුදල් වෙළඳපොලේ පොලී අනුපාතය ඉහළ ගියේය. ඒ අනුව එක්දින ණය සදහා වන පොලිය 9.56 සිට 9.66 දක්වා ඉහළ ගියේය. මේ අතර බැඳුම්කර වෙළදපොලේ පොලී අනුපාතය ද ඉහළයාමක් දක්නට ලැබුණි.

ඉන්පසු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉකුත් පෙබරවාරි 08 දින සිට වෙළෙඳපොළ බලවේග අනුව රුපියලේ අගය තීරණය වන්නට ඉඩ හරින ලද අතර මේ වනවිට මහ බැංකුව තවදුරටත් ඩොලර් සපයන්නේ තෙල් බිල් ගෙවීමට පමණක්‌ බව ද දැන ගන්නට ඇත. ඉන්පසු මේ දක්‌වා ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය දිගින් දිගටම පිරිහෙන්නට පටන්ගෙන තිබේ.

පසුගිය 08 වනදා ඇමෙරිකානු ඩොලරයක අගය රු.115.22 ක්‌ වූ අතර 13 වනදා එය රු. 116.58 ක්‌ විය. 14 වැනිදා වන විට රුපියල් 119.40 ක් දක්වා ඉහල නැඟි ඇමෙරිකානු ඩොලරය 15 වනදා රුපියල් 122 ද ඉක්‌මවා යමින් ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස පිරිහීමට ලක්‌විය. මේ අනුව ඇමෙරිකානු ඩොලරයකට විකුණුම් අගය රු.122.35 දක්‌වා ඉහළ ගියේය

ඩොලරයේ අගය වැඩි වන්නේ ඇයි?
බොහෝ විට යම් දෙයක මිල ඉහල යනුයේ එයට ඉල්ලූම වැඩි අවස්ථාවන් වලදීය. මෙයටද සිදුවූයේ එයයි. රටේ ප්‍රශ්ණ ඇති වන විට, පාලනය පිළිබඳ ගැටළු වැනි බොහෝමයක් හේතූන් මත ආයෝජකයන් තමාගේ මුදල් ඩොලර් ලෙස පරිවර්ථනය කොට තබා ගනී. එවිට ඩොලරයේ ඉල්ලූම වැඩිවී මිල ඉහල යයි. ඩොලර් වියදම්වල අගය ඉහළ යැමෙන් ඇමෙරිකානු ඩොලරයට ඇති ඉල්ලුම ඉහළ යැම නිසා අපේ විදේශ විනිමය වෙළෙඳපොළ තුළ විනිමය හිඟයක්‌ ඇති වේ.

එලෙස වෙළෙඳපොළ බලවේගවලට ඉඩ දුන් විට සිදුවන්නේ ඩොලරය ශක්‌තිමත් වී රුපියලේ අගය පිරිහීමයි. එනම් රුපියල බාල්දු (අව ප්‍රමාණය) වීමයි. එහෙත් මෙවැනි තත්ත්වයක්‌ අපේ විදේශ විනිමය වෙළෙඳපොළ තුළ, පසුගිය වසරේ අය වැය ලේඛනය ඉදිරිපත් වීමට පෙර සිටම තිබුණත් ඩොලරයට සාපේක්‍ෂව අපේ රුපියල පිරිහීමට ලක්‌ නොවූයේ ඉහත සඳහන් කළ පරිදි මහ බැංකුව මැදිහත් වී වෙළෙඳ පොළට අවශ්‍ය විනිමය සපයන ලද බැවිනි. එනම් ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් වෙළඳපොලේ ඩොලර් විකුණන ලදි. ඒ අවස්‌ථාවේ දී අපට ශක්‌තිමත් විදේශ සංචිත තත්ත්වයක්‌ ද තිබුණු නිසා එය මහ බැංකුවට පහසුවෙන් කළ හැකි කාර්යයක්‌ ද විය.

මෙය ශ්‍රීලංකාවේ ආර්ථීකයට බලපානුයේ කෙසේද?
ඩොලරයේ මිල ඉහල යාමේ වාසි මෙන්ම අවාසිද තිබේ. ඔබේ කවුරුන්හෝ විදේශ රැකියා කොට මුදල් එවන්නේ නම්, ඩොලර් වලින් ගෙවීම් කරනු ලබන ව්‍යාපාරයක් ඔබ කරන්නේ නම්, සංචාරක ව්‍යාපාරයක් කරන්නේ නම් හෝ අපනයනය සම්බන්ධ ව්‍යාපාර වැනි අවස්ථාවන්ට මෙයින් වාසි අත්වේ. එනමුදු ශ්‍රී ලංකාව වැඩි වශයෙන් ආනයනයෙන් යැපෙන රටක් නිසා මෙම රුපියල බාල්දු කිරීමෙන් ලංකාවට ලැබෙන වගතුවක් නැත.

දිගින් දිගටම අප විසින් පිටරටින් ගෙන්වන දේ වර්ධනය වෙමින් තිබෙන අතර, ඊට සාපේක්‍ෂව අපනයනවල වර්ධනය පවතින්නේ ඉතා අඩු මට්‌ටමකය. ඒ නිසා වෙළෙඳ හිඟයට (ආනයන සහ අපනයන අතර පරතරය) අඛණ්‌ඩව වර්ධනය වෙමින් තිබේ.

පසුගිය කාලයේදී අපනයන වර්ධනයක්‌ තිබුණත්, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස දිගටම අපගේ අපනයන ප්‍රමාණය පහත වැටී තිබේ. රජය විසින් අපනයන වර්ධනය ගැන ප්‍රමාණවත් අවධානයක්‌ යොමු කර ඇති බවක්‌ පෙනෙන්නට ද නැත. "අපි වවමු රට නගමු" වැඩසටහන පටන්ගත්තේ 2005 වර්ෂයේ සිටය. 2007 වර්ෂයේ පිටරටවලින් මෙරටට බීජ වර්ග ආනයනය කළ ප්‍රමාණය පහත දැක්‌වේ.
බී ලූණු 39,500 Kg, මිරිස්-1,065 Kg, කරවිල-1,450 Kg, වැටකොලු-1,900 Kg, බණ්‌ඩක්‌කා-1,280 Kg, වට්‌ටක්‌කා-4900 Kg, බෝංචි දිග-1440 Kg, තක්‌කාලි-730 Kg, පිපිඤ්ඤා- 1,950 Kg, බටු-260 Kg, බඩඉරිඟු-415,000 Kg, කොමඩු-4,490 Kg, පතෝල-50 Kg, බෝංචි-64,800 Kg, මාළු මිරිස්-3,500Kg, කන්කුන්-50 Kg

මේ සියල්ල මේ රටේ හොඳින් වැවෙන බීජ නිපදවිය හැකි එළවළු වර්ගයන්ය. නමුත් ඉහත සියලු බීජ ප්‍රමාණයන් පවා ගෙන්වා ඇත්තේ පිටරට වලිනි. දේශීය ගොවිතැනේ තරම මෙයින් සිතාගත හැකිය.

මීට අමතරව 2011 වසරේ නොවැම්බර් මාසයේදී පමණක් මිදි මෙටි‍්‍රක් ටොන් 478,177 ක් ද, ඇපල් මෙටි‍්‍රක් ටොන් 2,144,067 ක්ද දොඩම් මෙටි‍්‍රක් ටොන් 4,938,285 ක්ද ගෙන්වා තිබේ.

2011 වසරේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස අපගේ අපනයන ප්‍රමාණය 17.7% කි. ගිය වසරේ (2011) පළමු මාස 11 දී අපගේ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 18.4 ක්‌ දක්‌වා සැලකිය යුතු ලෙස 50% කින් පමණ ඉහළ යන විට අපගේ අපනයන ආදායම වර්ධනය වී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 9.6 ක්‌ දක්‌වා 22.2% කින් පමණකි.

2011 වසරේදී මෝටර් වාහන, මෝටර් සයිකල් සහ වෙනත් ඉලෙක්‌ට්‍රොඅනික උපකරණ යනාදිය ගෙන්වීමේ වියදම් 77% කින් වර්ධනය වී තිබේ. රත්තරන් ආනයනය 632% කින් වර්ධනය වූ අතර ආහාර හා පාන වර්ග ආනයන වියදම 28% කින් ද, වෙනත් පාරිභෝගික ද්‍රව්‍ය ආනයන වියදම 65% කින් ද වර්ධනය වී තිබේ. අපනයනයට වඩා ආනයනය වැඩි බැවින් රුපියල අව ප්‍රමාණ වී ඩොලරයේ මිල ඉහල යෑමෙන් ලංකාවට වන සුගතියක් නැත.

ඩොලරයකට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය වැඩි වීම නිසා විදේශ ණය බර ඉහළ යයි. පසුගිය 02 වෙනිදා 113 ට තිබූ ඩොලරය 122 දක්වා 8%කින් වැඩිවූ අගයේම පැවතියේ නම් අප විසින් ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණයද 8%කින් වැඩිවේ.

අපට ඩොලර් එකක් මිලදී ගැනීමට රුපියල් 113 ගෙවීමට සිදූවූ කාලයේ තෙල් බැරල් එකක මිල ඩොලර් 100 නම් අපට ගෙවීමට ඇත්තේ රුපියල් 113,00කි. නමුත් දැන් ඩොලර් එකක මිල රුපියල් 120 වන අවස්ථාවේ තෙල් බැරල් එකක් වෙනුවෙන් අපට රුපියල් 120,00 ගෙවීමට සිදුවේ. මෙය අපට අවාසියකි.

ඛනිජ තෙල් ආනයන වියදම් ඇතුළු සියලු ආනයන භාණ්‌ඩවල මිල ගණන් ඉහළ යැම වැනි අහිතකර තත්ත්වයන්ට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුව තිබෙන්නේ මේ නිසාය. 






Source: http://www.gossip9.com/2012/02/blog-post_3583.html#ixzz1n1SdRrVT

Share this article with your friends