Chitika Smowtion 468x60


Monday, February 6, 2012

නිදහස ගැන අදහසක් - රංචාගොඩ ළමයාගේ යාලු ළමයෙක්


ශ්‍රී ලංකාව ජාතික වශයෙන් වැදගත්කමක් දී සමරනු ලබන දිනය වන්නේ පෙබරවාරි 4 වැනිදා ය. (මේ හැර මද්දුම බණ්ඩාර හිස ගසා දැමූ දිනය 'වීර දිනය' ලෙසත්, 72 ව්‍යවස්ථාවෙන් ස්වෛරීත්වය ලද දිනය 'ජනරජ දිනය' ලෙසත්, සුනාමි දිනය 'ආපදා දිනය' ලෙසත්, ප්‍රභාකරන් මරා දැමූ දිනය 'විරු සමරු දිනය' ලෙසත් සමරනු ලැබේ.)
පෙබරවාරි 4 වැනිදාව මෙතරම් සුවිශේෂයෙන් සමරන්නේ 1948 දී එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව ති‍බූ ශ්‍රී ලංකාව, ජාතික ව්‍යාපාරයේ කේවල් කිරීම් සහ බ්‍රිතාත්‍ය සිය යටත් විජිත ප්‍රතිපත්ති ලිහිල් කිරීම් හමුවේ 'ස්වයං පාලන' අයිතිය ලබාගත් දිනය වන බැවිනි. කෙසේ වෙතත් මෙම දිනය 'නිදහස් දිනය' ලෙසය කැලැන්ඩර ගත වී ඇත්තේ.


අද ලංකාවේ ජීවත් වන 'පුරවැසියෙකුට' (ඔය කියන නිදහස ලැබී හැට හතර අවුරුද්දක් ගතවූ පසුව) එදා බ්‍රිතාන්‍ය 'යටත්වැසියෙකුට' තිබූ 'නිදහස' තිබෙනවාද කියා මේ පෙබරවාරි 4 වැනිදාවේත් 'කොඩි දමන' කිසිවෙකුත් නිකමටවත්
සිතා නොබලත්වා!
සම්ප්‍රදාය කඩ නොකරමින් ජනාධිපතිවරයා ද 'කොඩිය උස්සන' විට කන්‍යවන් මංගල ගායනා කරද්දී නිවාඩු ලැබුණු පලියට ටී.වී. එක වෙත කට අයා සිටින 'පුරවැසියන්' ට මා කියන මේ කිසිවක් නොඇසේවා!
මම රංචාගොඩ ළමයාගේ යාලු ළමයෙක්....... 48 ට කලින් මෙහෙ හිටපු 'යටත් වැසියෙක්'........
ඒ කාලෙ අපිට හොදට කන්න තිබුණා. අද උඹලගෙ ජනගහනයෙන් නාගරිකව 65% කටත්, ග්‍රාමීයව 49.2% කටත් වතුකරයේ 49.2% කටත් දෛනික කිලෝ කැලරි අවශ්‍යතාවය වන 2030 ලැබෙන්නෙ නෑ. (2006-2007
ජන සංගනනය) හැම කාන්තාවන් 5 දෙනෙකුගෙන්ම ‍එක් අයෙකුට නීරක්තිය. (2010 ලෝක ආහාර
වැඩසටහන+ සෞඛ්‍ය අමාත්‍යංශ සමීක්ෂණය) වැඩි දෙනෙකුට මන්ද පෝෂණය.
අපිට ඉන්න හිටින්න පැලක්වත් තිබුණා. උඹලගෙ ජනගහනයෙන් විශාල ප්‍රමාණයකට තමුන්ගෙම කියල පැලක් වත් නැහැ. වර්ග අඩි 250 ට අඩු නිවාස වල ප්‍රතිශතය සමස්ත නිවාස ප්‍රමාණයෙන් 17.4% ක් (ගෘහ සහ ආදායම් වියදම් සමීක්ෂණය-2007). මේවා බොහොමයක් 'අනවසර නිවාස' වශයෙනුයි සැලකෙන්නෙ. ඒ කියන්නෙ ඒ මිනිස්සු ඕනෑම මොහොතක දොට්ට දාන්න බලය ආණ්ඩුවට තියනවා. ආණ්ඩුව ඒක කරනවා. කොම්පඤ්ඥවීදියෙ සිද්ධිය මතකනෙ? (1950 ගණන් වල සිට පදිංචිකරුවන්ව ඒ මිනිස්සුන්ගෙ ගඩොලින් තැනු ස්ථිර නිවාස දැනුම් දී දින 4 ක් ඇතුලත ඩෝසර් කර දැමුණා. පුවත් වාර්තා අනුව දැනගන්න ලැබුණෙ අත්‍යවශ්‍ය බඩු ගන්න ඔවුන්ට ලැබුණෙ විනාඩි තිහක් බවයි)
අපිට ඉඩම් තිබුණා. හැම පවුලකටම අදේටවත් ඉඩම් බුක්තිය තිබුණා. අද උඹලගෙ ඉඩම් කොම්පැණි වලට විකුණලා. නැත්නම් අනු නව අවුරුද්දට බදු දීලා. උතුරු නැගෙනහිර නම් හමුදාව බලහත්කාරයෙන් උඹලගෙ ඉඩම් අත්පත් කරගෙන. උතුරු නැගෙනහිර- බටහිර දකුණ වෙනසක් නෑ....... සෙවණගල මිනිස්සුත්, කොළඹ නාගරික වතු වල මිනිස්සුත්, යාපනේ කිලිනොච්චි මිනිස්සුත්, තිරිකුණාමලේ සාම්පූර් අධි ආරක්ෂක කලාපෙ මිනිස්සුත් අද 'අභ්‍යන්තර අවතැන් වූවන්'.
අපි කව්රුකව්රුත් තම තමුන්ගෙ තරමට මොනව හරි රස්සාවක් කළා. ගතමනාව හෙව්වා. හේනක් කුඹුරක් කළා. අද විරැකිය‍ාව දැවෙන ප්‍රශ්නයක් වෙලා. උපාධිධාරීන්ට රැකියා නැහැ. රැකියා තියන උන්ට වැටුප්- අතිකාල නෑ. විශ්‍රාමිකයින්ට විශ්‍රාම වැටුප් ගෙවන්න ආණ්ඩුවට සල්ලි නෑලු. ඊ.ටී.එෆ්. එක ආණ්ඩුව කොල්ලකාලා. කලාප වල සහ කර්මාන්ත
වලට අනුයුක්තව සේවය කරන කම්කරුවන්ගේ රැකියා අනතුරේ.
උඹලගෙ ආහාර, නිවාස, ඉඩම් සහ රැකියා පිළිබද තත්වය ඔන්න ඔහොමයි.
නිදහසින් පස්සෙ ලැබුණා යැයි කියන වැදගත්ම දේ 'නිදහස් අධ්‍යාපනය' ලු. දෙවැන්න 'සෞඛ්‍ය පහසුකම්' සහ තුන්වැන්න 'ජොදු ප්‍රවාහනය' ලු. මේ දවස්වල හිටු කියල ඉස්කොල වහන බවත්, උපාධිය මුදලට දෙන්න යන බවත් ආරංචියි. ළමයි ලියන උත්තරපත්තර වල ලකුණුටි ක හරියට දාලත් නැතිලු. එහෙව් අධ්‍යාපනයක් තිබිලත් මොකටද? බෙහෙත් නැති නිසා ලෙඩ්ඩු ගෙවන තැන් වලින් නෙ බේත් ගන්නෙත්. ප්‍රවාහනය ගැන නම් ඉතින් කියලම වැඩක් නෑනෙ. අපේ බක්කි කරත්ත ප්‍රවාහනේ
දාහෙන් සම්පතයි.
කියන්නත් ලැජ්ජයි 'අහවල් කාරියට' තියන නිදහසේ තරම. උන් කියන්නෙ එක්කො උඹල සියලු ආශාවන් ප්‍රහීන කළ 'රහත් ජාතියක්' විය යුතුයි කියල. නැත්නම් 'නපුංසක ජාතියක්' විය යුතුයි කියල. ඒකනෙ සල්ලි ගෙවල ගන්න හෝටල් කාමර වලටත් පොලිසිය පන්නන්නෙ. සමලිංගිකයො මහා අපරාධකරයො විදියට සලකන්නෙ. ඒකාලේ අපි නමි හේන් පැල් වල, පදුරු අස්සෙ, බඩවැටි වල පවා හොදට එන්ජෝයි කළා.
අනේ අම්මප ඒ තියා 'සුරුට්ටුවක් උරන නිදහස' කොයින්ද උඹලට? මේ ළගදි ඒකත් තහනම් කළා නොවැ.
තව එකක් කියන්නම්.................
ඕන්න ඒකාලෙ අපි මහ රැජිණිටත් 'පර සුද්දි' කිව්වා. අද ඉන්න උතුමාණන්ට තියා උන්නැහෙගෙ 'මල්ලි'ගෙ මයිලක්වත් විවේචනය කරන එක පත්තරකාරයෙක්වත් අද ඉතුරු කරනවද? කෙලින්ම 'අ.තුරුදහන්' උද්ඝෝෂණ පෙළපාලි කට්ටියටත් 'සොරි' ලු නේද?
කමක් නෑ........... මේ පාරත් 'නිදහස' සමරපල්ලකො.
හැබැයි අපට නොතිබුණු 'මහා වරප්‍රසාදයක්' නං උඹලට තියනවා. අර 'කතිර බලේ....' උඹල කතිර ගහල පබා ල, මුතුහෙට්ටි ල, දුමින්දල එහෙම පාර්ලිමේන්තු යැව්වෙ අගේට. 'හරියට පාවිච්චි කරන්න නොදන්න' ඔන්න ඔය 'කති‍ෙර' තමා උඹලගෙ 'මහ විනේ'.
නොකිව්වයි කියන්න එපා. කිව්වට අමනාප වෙන්නත් එපා. හැබැයි ඉතිං මට නං හිනා.



- yukthiya.com

Share this article with your friends