Chitika Smowtion 468x60


Wednesday, May 30, 2012

ලසිත් මාලිංග කතා කරයි !


ඉදිරි වසර සඳහා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අත්සන් කිරීම සුපිරි වේග පන්දු යවන ලසිත් මාලිංග මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මීට හේතු වී ඇත්තේ ඔහුට ලැඛෙන ප්‍රතිශතය ගැන ඔහු සෑහීමකට පත්ව නැති නිසා ය. මේ නිසා ලබන වසරේ ශ්‍රී ලංකාව බිහිකළ මේ සුපිරි වේග පන්දු යවන්නාගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අහිමි වීමේ අවදානමක් තිබේ.

මේ සම්බන්ධයෙන් ලසිත් මාලිංග මහතා පෞද්ගලික ගුවන් විදුලි සේවාවක් සමග මෙසේ පවසයි.

"මම ක්‍රිකට් ආයතනය ගෙනා කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළා. ක්‍රිකට් ආයතනය කීවා ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේදී හෝ කොන්ත්‍රාත්තු ගත කිරීමේදී ඔවුන්ගේ පර්ෆෝමන්ස් අනුව එය සිදුකරන බව. කණ්ඩායම රට ජයග්‍රහණය වෙනුවෙන් කරන පර්ෆෝමන්ස් අනුව මෙය සිදුකරන බව. මට හිතෙනවා මම වන් ඩේ සහ ටී-20 තරඟ ජයග්‍රහණය වෙනුවෙන් දක්වපු දක්ෂතා අගැයීමට ලක් කර නෑ කියලා. මට දෙන්න යන්නෙ සියයට 40 ක ප්‍රමාණයක්. මම සියයට සියයක ප්‍රතිශතයක් ඉල්ලලත් නෑ ඉල්ලන්නෙත් නෑ. නමුත් මම දක්වපු දක්ෂතා නිවැරදිව තක්සේරු කර නැති බව මගේ හැඟීමයි. එය නිවැරදි තැනකට එනවා නම් මම සලකා බලනවා. මේ ගොල්ලො තීරණය කර තියෙන්නෙ බාහිර පෙනුමෙන්. ලසිත් මාලිංග කීවම අර කොන්ඩෙ පාට කරල කරාබු දාන ඉන්න කෙනානෙ කියන තක්සේරුව තමයි තියෙන්නෙ."

"ඔබට ඔබගේ තක්සේරුවක් තිඛෙනවාද?"

"නෑ මගේ තක්සේරුවක් නෑ. නමුත් මං දන්නව සියයට 40 ප්‍රමාණයේ මුදල මට මදි. ශ්‍රී ලංකාවේ ජනතාව තීරණය කරාවි මම පෙන්වා තිඛෙන දක්ෂතා අනුව මට ගෙවන ගාන සාධාරණද කියල."

තමා අයිපීඑල් ක්‍රිකට් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සන්සන්දනය කොකරන බව කී ලසිත් මාලිංග අයිපීඑල් ක්‍රිකට් යනු කානිවල් එකක් බවද පැවසීය. නමුත් තමා කොතන ක්‍රීඩා කළත් තම උපරිම දක්ෂතාවයෙන් ක්‍රීඩා කරන බව ද ඔහු පැවසීය. තමා ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කළද ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බැඳී සිටින බවද ලසිත් මාලිංග මහතා පැවසීය.

Share this article with your friends