Chitika Smowtion 468x60


Wednesday, May 23, 2012

යුද්දය නිමා කළ රට, හොරුන් අතලොස්සක් අතට ගිය කතාවේ දෙවන කොටස


සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් අයථා අන්දමින් කොළඹ කොටස් වෙළෙඳ පොලේ යොදවා ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා නගන චෝදනා පදනම් විරහිත බවට ඊයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කල ප්‍රවෘත්ති නිවේදනය හුදෙක්ම ඒක පාර්ශ්වික හා රටේ ජනතාව නොමග යවන සුළු අසත්‍ය නිවේදනයකැයි 'ලංකා ඊ නිව්ස්' තරයේ සඳහන් කරමු.

හැකිනම්, පසුගිය වසරේ ඔක්තෝම්බර් 10 වැනිදා සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් රුපියල් මිලියන 1584 ක් යොදවා ලාෆ් ගෑස් සමාගමේ මුළු කොටස් අයිතියෙන් සියයට 10 කට සමාන කොටස් මිලියන 33 ක් කොටසක් රුපියල් 48 ක් වැනි ඉහළ මිලකට මිලදී ගැනීමේ ආයෝජන සිද්ධාන්තය කුමක් දැයි පිලිගත හැකි හේතු සාධක සහිතව ඔප්පු කර පෙන්වන ලෙස අප වත්මන් මහ බැංකු අධිපති, හිටපු එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී අජිත් නිවාඩ් ලෙස්ලි කබ්රාල්ට මෙසේ අභියෝග කරමු.

මෙම ගණුදෙනුව සිදු වූ වකවානුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක දෙපාර්තමේන්තුවේ අධිකාරිව සිටි රෑපා ධීරසිංහ මහත්මිය පවසන්නේ එය මහ බැංකුවේ සුදුසුකම් ලද අරමුදල් කළමණාකරුවන්ගේ නිර්දේශය මත කොටස් වෙළඳ පොළ මුලධර්මානුකුලව දිගු කාලීනව වාසි පදනමින් මහ බැංකු ආයෝජන කමිටුව විසින් සිදු කරන්නට යෙදුනු මිලදී ගැනීමක් බවයි.

නමුත් අප වෙත වාර්තා වන ආකාරයට මෙය මහ බැංකු අධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම මත පුද්ගලික හිතවත්කම් මත මේ සාපරාධී ගණුදෙනුව සිදුව ඇත.

මෙය ජාවාරම්කාර ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ වහසි බස් වලින් රැවැටී අමාරුවේ වැටී සිටි ලාෆ් සභාපති ඩබ්ලිඩ්.කේ.එච්. වෑගපිටිය ට අවශ්‍ය මුල්‍ය ශක්තිය නැවත ලබා දීම සඳහා මහ බැංකු අධිපති කබ්රාල්ගේ හිත මිත්‍ර කූට ව්‍යාපාරික අනුර ප්‍රනාන්දු මැදිහත් වීමෙන් සිදු කළ ගනු-දෙනුවකි.

මෙම ගණුදෙනුවට සංතෝෂම් වශයෙන් ලාෆ් සභාපතිවරයා අනුර ප්‍රනාන්දුට රුපියල් මිලියන 20 ක් දුන් බවත් තවත් කුට්ටියක් අනුර ප්‍රනාන්දු ඩැහැ ගත් බවත් සඳහන්ය.

මෙම ගණුදෙනුව සිදු වී පැය 48 ක් ගත වීමටත් මත්තෙන් එහි කොටසක මිල රුපියල් 40-42 මට්ටමකට වැටෙන අතර එහිදී යළි ක්‍රියාත්මක වන ලාෆ් බලධාරීන් මෙම අඩු මිල ගණන් යටතේ නැවත තමන් අත් හැරි තම සමාගමේම කොටස් යළි මිලදී ගැනීමට ක්‍රියා කරන්නේ මහ බැංකුවේ සේවක අර්ථසාධක දෙපාර්තමේන්තුවේ අධිකාරිව සිටි රූපා ධීරසිංහ කියන අයුරින්, මහ බැංකුවේ අරමුදල් කළමණාකරුවන්ගේ හා මහ බැංකු ආයෝජන කමිටුවේ දැනුම සමච්චලයට ලක් කරමිනි. (මෙම අරමුදල් කළමණාකරුවන් කබ්රාල් තුට්ටුවකටවත් මායිමි නොකරන බවද සැබෑය.)

අද වන විට ලාෆ් ගෑස් සමාගමේ සියයට 17 ක මුළු කොටස් අයිතියට සමාන මිලියන 58 ක කොටස් සේවක අර්ථසාධක අරමුදල සතු වන අතර ඉහළ සුදුසුකම් ලද මහ බැංකුවේ අරමුදල් කළමණාකරුවන්ගේ හා මහ බැංකු ආයෝජන කමිටුවේ දැනුමට පිං සිදු වන්නට ජාතියේ අවසනාවකට එදා රුපියල් 48 ට ගත් ලාෆ් කොටසක මිල අද රුපියල් 21 කි. ජාතික ඉතිරිකිරිමේ බැංකු - ද ෆිනෑන්ස් ගණුදෙනුවටත් වඩා මෙය තවත් බරපතල මහ දවල් මංකොල්ලයක් වන්නේ මේ නිසාය.

වාණිජ බැංකුවල අතිශය රහසිගත දෑ පිළිබඳ තොරතුරු මහ බැංකුව සතුව තිබියදී කිසිදු සදාචාර බැඳීමකින් තොරව සේවක අර්ථසාධක අරමුදලේ මුදල් යොදවා හැටන් නැෂනල් බැංකු, කොමාර්ෂල් බැංකු හා සෙලාන් බැංකුවේ පාලන බලය රජය සතු කර දීමට මෙම මහ බැංකු අධිපති කබ්රාල් ක්‍රියා කරයි. එසේ නොනවතින මේ කබ්රාල් හැටන් නැෂනල් බැංකුවේ සභාපති ලෙස මහ බැංකු හිටපු අධිපතිනි රාණි ජයමහද, කොමාර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සභාපති ලෙස තවත් හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන (ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක දෙපාර්තමේන්තුවේ අධිකාරිව සිටි රෑපා ධීරසිංහගේ සැමියා ) ධර්ම ධීරසිංහද, (මොහු සභාපති කිරිමට ගත් උත්සාහය බැංකු මහ සභා රැස්වීමේදී නිෂ්ප්‍රභා වේ) පත් කරන අතරේ වත්මනෙහි සෙලාන් බැංකු සභාපති ලෙස හිටපු නීතිපති මොහාන් පීරිස්ද ගෙන එන්නේ මුළු මහත් වාණිජ බැංකු පද්ධතියම රාජපක්ෂ කරණය කරමින් රිසි සේ තම මුල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීමටය.

විවිධ වංචා චෝදනා එල්ල වී ඇති පසුබිමක කිසිදු සුදුසුකමක් නැති ලක්ෂ්මන් හුළුගල්ල වැනි විකාර කාරයෙක් කොමාර්ෂල් බැංකු අධ්‍යක්ෂක මණ්ඩලයට ගෙන ඒමට මේ කබ්රාල් කටයුතු කරන්නේ අතිශය නින්දිත අයුරින් ක්‍රියා කරමිනි.

බ්‍රවුන්ස් සමාගම් සමූහයට හිතවත්ව සේවක අර්ථසාධක අරමුදලේ මුදල් යෙදවීමද මහ බැංකු අධිපතිවරයා පසුගිය කාල වකවානුව පුරාම සිදු කරන ලද්දක් වන අතර ඒ සඳහා ඔහු හා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් අජිත් දේවසුරේන්ද්‍ර සමග ඇති දැඩි හිතවත් කම් හේතු වන බවද මහ බැංකුවේම පිරිස පෙන්වා දෙති.

කිසිදු ආයෝජන සිද්ධාන්තයක් පදනම් නොකර සේවක අර්ථසාධක අරමුදල මගින් පසුගිය වසරේ අජිත් දේවසුරේන්ද්‍ර සතුව තිබු ආර්පිකෝ සමාගමේ කොටස් ලක්ෂ 05 ක් මිලදී ගැනීම ,සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමේ හා ග්‍රේන් එලිවේටර්ස් සමාගමේ කොටස් මිලදී ගැනීමේ ගනුදෙනු ද මෙයට උදාහරණ වශයෙන් පෙන්වා දිය හැක.

මේ සැම ගණුදෙනුවක් පිටු පිටුපසම ජාතික ඉතිරිකිරිමේ බැංකු - ද ෆීනෑන්ස් ගණුදෙනුවේ නිර්මාපකයා වන අජිත් දේවසුරේන්ද්‍ර හා ඔහුට හිතවත් zපර්පෙචුවල් කැපිටල්Z සමාගමේ ප්‍රධානි කූට ව්‍යාපාරික අර්ජුන් ඇලොසියස් ද සිටි බව ප්‍රකට කරුණකි.

ආන්තික ණය උගුලක ට හසු කර ප්‍රකට ව්‍යාපාරික සාලිය පෙරේරාගේ අශෝක් ලේලන්ඩ් කොටස් අඩු මිලට ඩැහැ ගැනීම පිටුපස සිටින අදෘෂ්‍යමාන හස්තය වන්නේද මෙම පිරිසය. සාලිය පෙරේරා මේ පිළිබඳ සිත්තැවුලෙන් හෘදයාබාධයක් වැලඳී මිට මාස කිහිපයකට පෙර මිය ගිය බව අප පෙර ලිපියේදී සඳහන් කෙළේය.

මෙයට වසර 02 කට පෙර කබ්රාල්ගේ අඩු ආර්ථීක දැනුමට පිං සිදු වන්නට රටේ විදේශ සංචිත දිය කර හැරීම නිසා ඇති වූ තත්ත්වය මත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ඉල්ලූම් කිරීමට මහ බැංකුවට සිදු වූ කළ මේ මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය රැවැටූයේ ඒ මුදල් ඉල්ලන්නේ උතුරු-නැගෙනහිර පුනරුත්ථාපන කටයුතු වලට කියාය.

මේ දිනවල ඩොලරය රුපියල් 130 ට නැග රට නැවතත් විදේශ විනිමය අර්බුදයකට ලක්ව ඇත්තේද දේශපාලන හිතවත්කම් මැද මහ බංකු අධිපති පත් වීම ලද කබ්රාල් නමැති මුග්ධ තකතීරුවාගේ හිතුවක්කාර ආර්ථීක ප්‍රතිපත්ති නිසා බව ආර්ථීක විශාරදයෝ පවසති. කබ්රාල්ගේ මෙම අඩු ආර්ථීක දැනුම මුදල් අමාත්‍යාංශ ලේකම් ජයසුන්දර මුදියන්සේලාගේ පුංචි බණ්ඩා හෙවත් ආචාර්ය පී.බී ජයසුන්දර සමග නිරන්තරයෙන් ගැටුනේය. මේනිසා ලෝක ඉතිහාසයේ පළමු වරට ජාතික අයවැයකින් දේශීය මුදලේ අගය අව ප්‍රමාණය කරමින් රුපියලේ අගය සියයට 03 කින් අවප්‍රමානය කිරීමට මහ බැංකු අධිපතිටත් නොදන්වා ආචාර්ය ජයසුන්දර පසුගිය අයවැයෙන් මුදල් ඇමති ජනපති මහින්ද රාජපක්ෂ හරහා පියවර ගත්තේ වෙන කිසිදු පියවරක් ගැනීමට නොහැකි නිසාය.

ලොව වෙනත් රටවල මුදල් මණ්ඩල හා එහි උපදේශක මණ්ඩල සාමාජිකයින් ලෙස සුදුසුකම් ලත් ආර්ථීක විද්වතුන්ගෙන් පමණක් සමන්විත වන කලෙක කබ්රාල්ගේ සාමාජිකයින් වන්නේ රටේ මුදල් ප්‍රතිපත්තිය තීරණය කිරීම ගැන මෙලෝ හසරක් නොදන්නා ආණ්ඩුවට කඩේ යන ජාවාරම්කාර ව්‍යාපාරිකයින් හා වෙනත් ක්ෂේත්‍රවල තෝරා ගත් හෙංචයියන් පිරිසක් පමණි. තමන්ගේ මතයට එරෙහි වන පුද්ගලයින් මෙම මුදල් මණ්ඩල උපදේශක කටයුතු වලින් බැහැර කිරීම කබ්රාල්ගේ සාමාන්‍ය ප්‍රතිපත්තිය වන අතර මේ නිසා රටේ විද්වතුන්ගේ දැනුම නිසි පරිදි නෙලැබීමෙන් රටට වන ආර්ථීක හානිය අති මහත් බවද සඳහන් කල යුතුමය.

අජිත් නිවාඩ් ලෙස්ලි කබ්රාල් පාලන සමයේ තරම් විවිධ ව්‍යාපාරික ජාවාරම් කරුවන් හමුවේ මහ බැංකු අධිපති ධුරය නම් ඒ ප්‍රතාපවත් ධූරය හැල්ලූවට ලක් වූ කාලයක් මුළු මහා බැංකු ඉතිහාසයේම නැතැයි මහා බැංකුවේ විද්වත්හු පවසති. තමාගේ අයථා ක්‍රියා, පාලනයේ ගොන් කම් හා ආර්ථීක දැනුමේ හිස් බව වසා ගැනීම සඳහා පෙර නොවූ විරු තරම් උසස්වීම්, වරදාන හා වරප්‍රසාද මහ බැංකු සේවකයින්ට දීමට කබ්රාල් කිසිදු පැකිලීමක් නොදක්වන බව එහි මධ්‍යස්ථ මතධාරීහු පවසති.

ෂෙයාර් මාර්කට් චක්‍රවර්තී - ජනක ආටිගල විසිනි

Share this article with your friends