Chitika Smowtion 468x60


Wednesday, August 29, 2012

ශ්‍රී ලාංකිකයන්ගේ හිසට ඉහළින් මාරයා

asbestosමා පදිංචිව සිටින සිඞ්නි නගරයේ ඔස්ටේ‍්‍රලියානු ඩොලර් බිලියන 6 (6,000,000,000) ක වියදමෙන් කරගෙන යන්නා වූ බෙලන්ගලෝ නමැති සංවර්ධන ව්‍යාපෘතියක් තිබේ. ඊයේ (23)රාත‍්‍රී රූපවාහිනියෙන් මේ සංවර්ධන භූමියේ තිබී හමුවූ වර්ග අඩියකටත් වඩා කුඩා ඇස්බැස්ටස් කැබැල්ලක් නිසා ඇති වූ මහා කලබලය මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම නවත්වන තත්ත්වයකට පත් කොට තිබුණි. භූමියේ තිබෙන ඇස්බැස්ටොස් ඉවත් කරන තුරු දස දහස් ගණනක සේවකයන් ඒ පැත්ත පළාතේ යාම සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කර තිබීම මෙයට හේතුවයි.
ඕනෑම දෙයකට නිර්භීතව මුහුණ දෙන බැන්නත් හිනාවෙවී අහගෙන ඉන්න ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෝ ඇස්බැස්ටස් යන වචනය ඇහුණු ගමන් නවතින්නේ හැතැප්ම ගාණක් දිවීමෙන් පසුවයි. ඒ ඇහැට පේන්නේ නැති තරමේ ඇස්බැස්ටොස් කෙන්දක් හුළෙඟ් පාවී ඇවිත් හුස්ම ගත්තොත් එයින් පෙනහළු පිළිකාවක් හැදෙන බව දන්නා නිසායි.
මා කල්පනා කලේ ලංකාවේ ගෙවල් ගොඩනැගිලි කීයක වහළට ඇස්බැස්ටොස් දමා තිබේද යන්නයි.
පසුගියදා ශ්‍රී ලංකාවට ගිය විටෙක මා මිතුරෙකුගේ නිවසේ සිවිලිමට ඇස්බැස්ටොස් ගසනු දුටුවෙමි. බාස් උන්නැහේලා සිවිලිම මත තබාගෙන ඇස්බැස්ටොස් තහඩු කියතකින් නිසි ප‍්‍රමාණයට කපමින් සිටිනු මා දුටුවෙමි. ඇස්බැස්ටොස් කුඩු වහළයේ සිට බිමට වැටුණු අතර නිවසේ කුඩා ළමයි ගේ ඇතුළේ දුවමින් හොරා පොලිස් සෙල්ලම් කරනු ද මා දුටුවෙමි.

දැන් දන්නා තොරතුරු අනුව මෙම හොරා පොලිස් සෙල්ලම මරුවා සමග කරන සෙල්ලමකි.
asbestos2දියුණු රටවල් 50 ක් දැන් ඇස්බැස්ටොස් නිෂ්පාදනය, ගොඩනැගිලිවලට භාවිතා කිරීම, වාහනවල බ්‍රේක් ලයින්වලට දැමීම, ගෑස්කට් වලට භාවිතා කිරීම හෝ වෙනයම් කිසිම දෙයකට භාවිතා කිරීම සම්පූර්ණයෙන් ම තහනම් කර තිබේ. ඔස්ටේ‍්‍රලියාව මෙම රටවල් 50 න් එකකි.
ඇස්බැස්ටොස් නිසා පෙනහළුවල පිළිකා හටගන්නා බව දැන ගත්තේ මීට අවුරුදු සියයකටත් කලිනි. සිගරැට්වලින් මනුෂ්‍ය ශරීරයට අගුණයක් නැතැයි සෑහෙන කාලයක් සිගරැට් සමාගම් විශාල බොරු ප‍්‍රචාරයක් කරගෙන ගියාක් මෙන් ඇස්බැස්ටොස් පොළවෙන් හාරා ඒවා පිටරට පටවා විශාල ධනස්කන්ධයක් උපයන රටවල් සහ සමාගම් මෙයට විරුද්ධව දැවැන්ත බොරු ප‍්‍රචාරයක් ගෙන යති. සිගරැට් සහ පිළිකා අතර සම්බන්ධය ගැන දැන් කිසිම වාදයක් නැතුවාක් මෙන් ම ඇස්බැස්ටොස් සහ පෙනහළු පිළිකා අතර සම්බන්ධය ගැන ද දැන් වාදයක් නැත. මෙය විනයානුකූලව සහතික වශයෙන් ඔප්පු කර ඇති බැවිනි. ඇස්බැස්ටොස් පිටරට යවා අධික වශයෙන් මුදල් උපයන්නේ දියුණු රටවල්ය. මේ අතර මුල් තැන ගන්නේ කැනඩාවයි. කැනඩාව තම රට තුළ ඇස්බැස්ටොස් භාවිතා කර කිසිම භාණ්ඩයක් තැනීම සම්පූර්ණයෙන් ම තහනම් කොට තිබේ. ඇස්බැස්ටොස් වහළයකට දමනවා තබා ගොඩනැගිල්ලක් පැත්ත පළාතේ ගෙන ඒම කැනඩාවේ සම්පූර්ණයෙන් ම තහනම් ය. නමුත් කැනඩාව ඇස්බැස්ටොස් අපනයනය කරන ප‍්‍රධානතම රටයි. මේවා යවන්නේ ලෝකයේ තිබෙන දුප්පත් රටවලටයි. ඇස්බැස්ටොස් පිටරටින් ගෙන්වන රටවල්වලින් ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, බුරුමය වැනි ආසියාවේ රටවල් මුල්තැනක් ගනී. ශ්‍රී ලංකාව ද මේ අතර ඉතා ඉදිරියෙන් සිටින බව කිව යුතුයි.
ශ්‍රී ලංකාවට ඇස්බැස්ටොස් ගෙන්වන සමාගම් ගැන ගූගල් සෙවීමක් කළ මට ගූගල් විසින් පෙන්වූ ඉතා දිග සමාගම් ලැයිස්තු දැක පුදුමයට පත්වීමි. ”හැම ඇස්බැස්ටොස් එකක් ම අගුණ නෑ. නිල් ඇස්බැස්ටොස් තමයි හොඳ නැත්තේ. ලංකාවේ තියෙන සුදු ඇස්බැස්ටොස් හොඳයි.”
    මෙවැනි බහුබූත කතා කියන අයට ඇස්බැස්ටොස් සමාගම් ගාණක් දෙනවාදැයි සැක සිතෙයි.
    කැනඩාවෙන් පිටරට යවන සියළුම ඇස්බැස්ටොස් වහාම නවත්වා දමන ලෙස කැනේඩියානු රජයට බල කරන ප‍්‍රධානතම ආයතනය වන්නේ කැනේඩියානු පිළිකා සංගමයයි.
    ”ඇස්බැස්ටොස් සෞඛ්‍යයට හානි නොවන ලෙස පාවිච්චි කිරීමට කිසිම විදියක් නොමැති නිසා ඒවා පිටරට යැවීම නවත්වන්න.” කැනේඩියානු පිළිකා සංගමය කැනේඩියානු රජයට පවසා තිබේ.
    ශ්‍රී ලංකාවටත් ඇස්බැස්ටොස් ගැන විශේෂයෙන් සැලකිලිමත්වීමට කාලය උදා වී තිබේ. ඇස්බැස්ටොස් හොඳද නරකද කියා වාද පැවැත්වීමෙන් දැන් පලක් නොවේ. අහවල් ඇස්බැස්ටොස් වර්ගය හොඳයි අහවල් වර්ගය නරකයි කියා කාලය නාස්ති කිරීමට තව දුරටත් නොහැකියි.
    ඇස්බැස්ටොස් ශරීරගත වී අවුරුදු විස්සක් ගතවූවාට පසුවයි බොහෝ විට එහි අයහපත් ප‍්‍රතිඵල එළියට පැමිණෙන්නේ.
    ශ්‍රී ලංකාවේ මෑතක සිට අසන්නට ලැබෙන පිළිකා රෝග සංඛ්‍යාව වැඩි වීමත් ඇස්බැස්ටොස් අතරත් සම්බන්ධයක් තිබීමට බොහෝ දුරට ඉඩ තිබේ. මේ ගැන පර්යේෂණ පවත්වා තව දුරටත් කරුණු සෙවිය යුතුය.
    ඇස්බැස්ටොස් දැන් භාවිතා කරන දියුණුවන රටවල් මෙවැනි අවදානම් ගැන අඩු අවධානයක් දක්වන රටවල් වීම ද සැලකිය යුතු කරුණකි.

සිසිල් ෆොන්සේකා (සිඩ්නි නුවර සිට)


Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=1527:2012-08-24-05-55-54&catid=48:2012-04-02-08-50-52&Itemid=75

Share this article with your friends