Chitika Smowtion 468x60


Wednesday, August 29, 2012

පාඨකයන්ගෙන් ගැලවීමක් නොලද තැන ෂර්ලොක් හෝම්ස් මරණයෙන් නැගිටුවාලූ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්

E-mail
6-31886 කොනන් ඩොයිල් විසින් දී රචනා කරන ලද ඒ A study in scarlet කතාව ඔහු පුවත්පත් සහ සඟරා විශාල ප්‍රමාණයකට යවා තිබිණි. නමුත් ඒ සෑම ප්‍රකාශන ආයතනයකින්ම ප්‍රතික්ෂේප වූ මෙම කතාව, ‍පොත් රාක්කයේ මුල්ලකට දැමීමට පෙර අවසාන වශයෙන් ‘වෝඩ් ලොක්’ ප්‍රකාශන ආයතනයට යවනු ලැබිය.
සතියක් පමණ ගත වුණු තැන ශ්‍රීමත් ඩොයිල්ට වෝඩ් ලොක් වෙතින් තැපැල් පතක් ලැබි තිබුණි. “ඔබ විසින් එවන ලද A study in scarlet සඳහා මෙවර නත්තල් කලාපයේ ඉඩ වෙන් කළ නොහැකිය. ලබන වසරේ නත්තල් කලාපයේ එය පළ කිරීමට අපි කැමැත්තෙමු. ඒ සඳහා ඔබේ අදහස අපට දන්වන්න” ලෙස එහි සඳහන්ව තිබිණි. එය දුටු ශ්‍රීමත් ඩොයිල්ට මහත් දුකක් දැනිණි.
ඒ තම කතාව පළ වනු දැකීමට තවත් වසරක්ම බලා සිටින්නට සිදුවන නිසාය. පසු දිනම වෝඩ් ලොක් ආයතනයට ගිය ශ්‍රීමත් ඩොයිල් ඔවුන්ගේ අවශ්‍යතාවයට අනුව මෙම රහස් පරීක්ෂක කතාවේ පූර්ණ අයිතියම ඔවුන්ට පවරා දී තිබේ. ඒ සඳහා 1886 වසරේ ඔහු ලද මුදල පවුම් 25කි. නමුත් පසු කාලීනව A study in scarlet නම් රහස් පරීක්ෂක කතාවෙන් වෝඩ්ලොක් ආයතනය ඉපැයූ මුදල ශ්‍රීමත් ඩොයිල්ට ගෙවන ලද මුදල මෙන් දස ගුණයක් පමණ වන්නට ඇති බව ඔහුගේ අදහසයි. 06-1ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් උපත ලැබුවේ 1859 මැයි මස 22 වන දින ස්කොට්ලන්තයේ එඩිංබ්‍රෝ නගරයේය. චිත්‍ර ශිල්පී චාල්ස් ඇල්ටමොන්ට් ඩොයිල් ඔහුගේ පියා වූ අතර මව වූයේ මේරි ෆො‍ලේ ඩොයිල්ය. 1855 වසරේ විවාහ දිවියට එළැඹි ඔවුන්ගේ පළමු දරුවා වූයේ ආතර්ය. පියාගේ අධික බිමත්කම නිසාම ඔහුගේ මව, පියා අතහැර දමා යනවිට ආතර්ගේ වයස අවුරුදු 5 වූවා පමණි.6-5 නමුත් 1867 දී එනම් ආතර්ට වයස අවුරුදු 8 දී විසිරී ගිය පවුල යළි එක්විය. එතැන් පටන් ඔවුන් ජීවත් වූයේ චාල්ස් ඩොයිල් විසින් කුලියට ගන්නා ලද අපිරිසිදු කුඩා නිවාසවලය. කුඩා ආතර් ක්‍රිස්තියානි භක්තිකයකු වූ අතර ඔහු පාසල් අධ්‍යාපනය සඳහා පාසලට ඇතුළත් වීමට පෙර සිය නමට ක්‍රිස්තියානි නමකින් කොටසක්ද එකතු කර ගත්තේය. ඔහු බෞතීස්ම වූයේ “ආතර් ඉග්නේෂස් කොනන්” නමිනි. ඔහුට එම නම ලබා දෙන ලද්දේ මයිකල් කොනන් නම් වූ ඔහුගේ කැපකාර පියා විසිනී. එඩ්න්බර්ග් ශාන්ත මේරි ආසන දෙව්මැදුරේ දීය. අවුරුදු 9 දී රෝමානු කතෝලික සභාවට අයත් පාසලක මූලික අධ්‍යාපනය ලැබූ ඔහු 1870 සිට 1875 දක්වා කාලයේ අධ්‍යාපනය ලැබුවේ ස්ටෝනිහර්ස්ට් පාසලෙනි. 1876 දී ඔස්ට්‍රිියාවේ ස්ටෙලා මැට්යුටිනා ද්විතියික පාසලෙන් අධ්‍යාපනය ලැබ එඩින්බර්ග් විශ්වවිද්‍යාලයට ඇතුළු වූයේය. ඒ වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහාය. 1881 දී වෛද්‍ය උපාධිය ලැබ ඉන් පිටවුණු ආතර් බර්මිංහැම් සහ ශේ‍රාප්ෂයර් ප්‍රාන්තවල පෞද්ගලික බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගියේය.
6-4රෝගීන් රහිත බෙහෙත් ශාලාවේ පාළුව නැතිකර ගැනීම සඳහා ඔහු කෙටි කතා ලිවීමට පටන් ගත්තේය. ඔහු අතින් ලියැවුණු පළමු ප්‍රබන්ධ කතාව “The Haunted Grange Of Goresthope” නම් විය. නමුත් එය සාර්ථක කෙටි කතාවක් වූයේ නැත. පසුව ලියන ලද The Mistery Of Sasassa Valley නම් කෙටි කතාව 1879 සැප්තැම්බර් 6වන දින Chamber’s Edinburgh Journal සඟරාවේ පළ විය. එය රහස් පරීක්ෂක ගණයේ ලා සැලකිය නොහැකි වූ කෙටිකතාවක් බව ආතර් පසු කාලයකදී පවසා තිබේ. වෛද්‍ය වෘත්තියත් ප්‍රබන්ධ කතාවත් සමව කරගෙන ආ ඔහු 1855 දී ආචාර්ය උපාධිය ද ලබා ගත්තේය.
තම දිගුකාලීන රෝගියකුගේ නෑ සබඳකම් මත හඳුනාගත් ලුවිස් හෝකින්ස් සමග ආතර් විවාහ වූයේ 1885දීමය. විවාහයෙන් එකොළොස්වන වසරේදී එනම් 1906 දී ක්ෂය රෝගය වැළඳී ඇය මිය ගියාය. 1897 වසරේ දැන හඳුනාගත් ජීන් එලිසබෙත් ලෙකී නම් කාන්තාව ඔහුගේ බිරිඳ බවට පත් වූයේ 1907 දීය. 1940 දී ඇයද මිය ගියාය. පළමු විවාහයෙන් මේරි සහ කිංග්ස්ලි යන දරුවන්ද දෙවන විවාහයෙන් ඩෙනිස්, ඒඩ්‍රියන් සහ ජීන් යන දරුවන් ලෙස දරුවන් පස් දෙනකුට පියෙකු වූ ආතර් ජනතාව අතර ගෞරවයට පාත්‍ර වූ වෛද්‍යවරයෙකු නොවීය. ලන්ඩනයේ ඩෙවන්ෂයර් පෙදෙසේ අංක 2 නම් වෛද්‍ය ඩොයිල්ගේ බෙහෙත් ශාලාව වැඩිවශයෙන් පාළුවට ගොස් තිබූ ස්ථානයක් විය. ඒ නිසාම ඔහු වැඩි වශයෙන් ප්‍රබන්ධ කතා ලිවීමට පටන් ගත්තේය. ඔහුගේ පෑනින් බිහිවූ අති දැවැන්ත ප්‍රබන්ධ කතා මාලාව වූයේ
ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා පෙළයි. ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ එන ප්‍රධාන චරිතය වූ ෂර්ලොක් හෝම්ස් නම් පෞද්ගලික රහස් පරීක්ෂකයා නිසා ශ්‍රීමත් ආතර් මුළු ලෝකයේම වැසියන්ගේ අවධානයට පාත්‍ර විය. ෂර්ලොක් හෝම්ස් නම් වන චරිතය ගොඩනැගීම සඳහා අඩිතාලම වැටුණේ ශ්‍රීමත් ආතර් එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හදාරන සමයේදී උපකල්පන සහ නිරීක්ෂණ මගින් නිගමනයට එළැඹීමටත් අසාමාන්‍ය ලෙස සැඟව ඇති තොරතුරු අනාවරණය කර ගැනීමටත් මනා නිපුණත්වයක් තිබූ මහාචාර්ය ජෝසප් බෙල්, ආතර්ගේ හිත ඇද බැඳ ගත්තෙකි.6-2 මහාචාර්ය බෙල්ගේ ක්‍රමවේදය අධ්‍යයනය කළ ආතර් මහාචාර්යවරයා දෙස බලා ෂර්ලොක් හෝම්ස් චරිතය ගොඩනැගුවේය. මෙම රහස් පරීක්ෂකයා සඳහා පළමුව ඔහු යෙදූ නාමය වූයේ “ෂෙරිංෆඩ් හෝස්”ය නමුත් එය ජනතාව අතරට නොයනු ඇති බව උපකල්පනය කළ ඔහු එකල ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ “ෂර්ලොක්” ගේ නම මේ සඳහා භාවිත කිරීමට තීරණය කරන ලදී. “හෝම්ස්” යනු අපරාධ පරීක්ෂණ විද්‍යාවේ පුරෝගාමී පුද්ගලයෙකි. මේ දෙදෙනා එක්කොට
“ෂර්ලොක් හෝම්ස්” නමින් මෙම දැවැන්ත චරිතය නම් කරන ලදී. හෝම්ස්ගේ සහායකයා ලෙස මෙම කතා මාලාවේ ප්‍රධානතම කාර්යයක් ඉටු කරන දොස්තර ජේම්ස් වොට්සන් ද මනඃකල්පිතව නිර්මාණය වූවකි. නමුත් විචාරකයන්ගේ අදහස්වලට අනුව දොස්තර ජේම්ස් වොට්සන් යනු දොස්තර ආතර් කොනන් ඩොයිල් මය.
ෂර්ලොක් හෝම්ස් කතා ජනතාව අතර ප්‍රචලිත වීමත් සමග වෛද්‍ය ආතර්ට තම බෙහෙත් ශාලාව කරගෙන යාමට තරම් විවේකයක් ලැබුණේ  නැත. එය සම්පූර්ණයෙන්ම වසා දැමූ ඔහු ෂර්ලොස් හෝම්ස්ගේ අත්අඩංගුවට පත්වෙමින් දිගින් දිගටම ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා ලියන්නට විය. ඒ සඳහා තිබූ පාඨක ඉල්ලුම නිසාම ප්‍රසිද්ධ සඟරා සහ පුවත්පත්වල කතුවරුන් මෙම වෛද්‍ය ‍ලේඛකයා සොයාගෙන පැමිණ ෂර්ලොක් හෝම්ස් කතා වැඩි වැඩියෙන් ඉල්ලා සිටියේය. බේරෙන්නට බැරිම තැනට පත් වූ පසු දිනක් ඔහු සඟරාවක කතුවරයෙකුට මෙසේ කීවේය. “මට පවුම් 1000ක් දෙනවා නම් මම කතා දුසිමක් ලියලා දෙන්නම්.” පවුම් 1000ක් යනු ඇදහිය නොහැකි තරම් මුදලක් වන නිසා එදායින් පසුවවත් පාඩුවේ වැඩක් කරගන්නට හැකි වේ යැයි සිතා වෛද්‍යවරයා සතුටු විය. දින 3ක් ගත වෙන්නටත් පෙර ඔහුට තැපැල් පතක් ලැබිණි. එහි සඳහන් වූ දෙයින් ඩොයිල්ගේ දෑස් නැවතුනේ නළ‍ලේය. “ඔබේ ගනුදෙනුවට අපි කැමැත්තෙමු.
ෂර්ලොක් හෝම්ස් කතා දුසිමක් ලියා රැගෙන පැමිණ ඔබේ මුදල ලබාගන්න.” එදා පටන් ඔහුට දිගින් දිගටම ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා ප්‍රබන්ධ කිරීමට සිදුවිය. මේ ආකාරයට දීර්ඝ ෂර්ලොක් හෝම්ස් කතා 4ක්ද කෙටි ෂර්ලොක් හෝම්ස් කතා 56ක්ද රචනා කළ ඔහු ඉන් ඔබ්බටද විශාල කතා ප්‍රමාණයක් ප්‍රබන්ධ කර තිබිණි. කවි ‍පොත් 2ක්ද කෙටි කතා 12ක් ද ප්‍රබන්ධ 50කට අධික සංඛ්‍යාවක්ද කවි සංකල්ප 70කට අධික සංඛ්‍යාවක් ද ඔහු අතින් බිහි විය.
මේ සෑම කතාවකදීම පාඨකයන්ගේ රසවින්දනය වැඩි වූවා මිස අඩු  වූයේ නැත. යම් යම් අවස්ථාවල ඩොයිල් අතින් සිදුවූ අඩුපාඩුද පාඨකයන්ගේ රසාස්වාදයට හේතු වී තිබිණි. ඔහු දොස්තර වොට්සන් පිළිබඳව හඳුන්වා දුන් එක් අවස්ථාවක ලියා තිබුණේ මයිවාඩ් නගරයේ පැවති යුද්ධයේදී සතුරන්ගේ ජසායිල් පතරොම් තුවක්කුවලින් පිටවුණු වෙඩි උණ්ඩවලින් වොට්සන්ගේ උරහිස දරුණු ලෙස තුවාල වූ බවයි. නමුත් පසුව ලියන ලද ෂර්ලොක් හෝම්ස් කතාවක ඔහු සඳහන් කර තිබුණේ ජසායිල් උණ්ඩය වැදී හානි වුණේ වොට්සන්ගේ දකුණු කකුල බවයි. එමෙන්ම ඔහු විවිධ අවස්ථාවල වොට්සන් හඳුනා නම් කර ඇත්තේ විවිධ නම්වලිනි. ‘ජෝන් වොට්සන්’, ‘ජේම්ස් වොට්සන්’, ‘ජෝන් එෆ්. වොට්සන්’ ආදී ලෙසය. ඔහුගේ නොසැලකිලිමත් බව නිසාද පාඨකයා ලැබුවේ මහත් වින්දනයකි.
බෝයර් යුද්ධයේදී වෛද්‍ය ඩොයිල් වසර කිහිපයක්ම බ්‍රිතාන්‍ය වෙනුවෙන් සේවය කළේය. සේවය අගයනු වස් බ්‍රිතාන්‍ය රජු විසින් පිරිනමන ලද “නයිට්” පදවියක්ද සමග ඔහු “ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්” නම් විය. වෛද්‍යවරයෙකු වුවද “උපකල්පනය මත නිගමනවලට පැමිණීම” නම් වූ ක්‍රමවේදය මත ඔහු මරණ දණ්ඩනය නියම වූ අහිංසකයන් විශාල පිරිසක් ඉන් මුදවා ගත්තේය. ඔහු ඒ සෑම අවස්ථාවකදීම භාවිත කළේ මහාචාර්ය ජෝසප් බෙල් ගේ නැතහොත්
ෂර්ලොක් හෝම්ස්ගේ ක්‍රමවේදයයි. මේ ආකාරයට වසර 40ක් පුරා එනම් 1927 දක්වා ප්‍රබන්ධ මෙන්ම විවිධ කතා රාශියක් ලියූ ඔහු ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා මාලාව අවසන් කර දමනු වස් ෂර්ලොක් හෝම්ස්ව මරා දමන ලදී. ඒ මෝරියාට් නම් මිනීමරුවා අතිනි. ෂර්ලොක් හෝම්ස් මියගිය පුවත ඇසූ පාඨකයෝ ශ්‍රීමත් ආතර්ට බැණ වදිමින් හඬා වැටෙන්නට විය.
ෂර්ලොක් හෝම්ස් මිනීමරුවා ශ්‍රීමත් ආතර් බව පවසමිනි. ඉන් නොනැවතුණු පාඨකයන් ෂර්ලොක් හෝම්ස්ගේ නවාතැන වූ බේකර් වීදියේ අංක 221 බි, යන ස්ථානය සොයා ගියේ හෝම්ස්ගේ නිසල සිරුර දැකබලා ගැනීම  සඳහාය. තවත් පිරිසක් ශ්‍රීමත් ආතර්ගේ නිවස වටලා සිටියේ ෂර්ලොක් හෝම්ස් මැරූ පලිය ගැනීම සඳහා ය. මනඃකල්පිත ෂර්ලොක් හෝම්ස් චරිතය ශ්‍රීමත් ආතර් නිසා ජීවමාන වූයේ ඒ අයුරිනි. කවදාවත්ම මට ෂර්ලොක් හෝම්ස්ගෙන් ගැලවෙන්න ලැබෙන එකක් නෑ. ඒකට නම් මට මැරෙන්නම සිදුවේවි. වරක් ඔහු පුවත්පතකට පවසා තිබුණි. මොරියාටි සමග ‍පොරබැදීම නිසා ෂර්ලොක් හෝම්ස් මියගිය බවට ඔහු ලියූ අවසන් කතාවත් සමග පාඨක  ප්‍රතිචාර දුටු ශ්‍රීමත් ආතර් පාඨකයන් වෙනුවෙන් නැවත වරක්
ෂර්ලොක් හෝම්ස්ගේ ජීවිතය බේරා ගත්තේය. 1927 දී ස්ට්‍රෑන්ඩ් සඟරාවේ පළ වූ ෂර්ලොක් හෝම්ස් කතාවෙන් පසු කිසිම දිනක එහි ෂර්ලොක් හෝම්ස් කතා පළ වූයේ නැත.
දක්ෂ රහස් පරීක්ෂක කතා රචකයෙකුට අමතරව ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද විය. වරක් ප්‍රාන්ත අතර තරගයකද සර් ආතර් විසින් යවන ලද ඕවරයකට පිටපිටම කඩුලු 3ක් දැවී ගියේය. මෙම හැට්‍රික් කඩුලු 3 හේතුවෙන් තරගාවලියේ වීරයාට හිමි ‘Golden Hat’ සම්මානය ද ඔහුට හිමි වූයේය. විවිධ ක්‍ෂේත්‍ර ගණනාවක අති දක්ෂයෙකු වූ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් 20 වන සියවසේ මුල් භාගයේ ලොව ජීවත් වූ ධනවත් ‍ලේඛකයා බවට පත්වී සිටියේය. සෑම විටම තමාගෙන් උදව් අවශ්‍ය වූවන් සඳහා නොමසුරුව මුදල් ආධාර කළ ඔහු සාමාන්‍ය ජනයාගේ දුක හඳුනන්නෙකු ලෙස ප්‍රචලිතව සිටියේය. ‍ලේඛකයෙකු ලෙස තමාට ඇති ප්‍රසිද්ධියට වඩා සාමාන්‍ය ජනයාට උදව් උපකාර කර ලබන තෘප්තිය ඉතා ඉහළින් අගය කරන බව ශ්‍රීමත් ආතර් අවස්ථා කිහිපයකදීම පවසා තිබිණි. වසර 3ක් පමණ නිහඬ ජීවිතයක් ගත කළ මේ මහා පුරුෂයා 1930 ජූලි මස 7 වැනිදා සිය පාඨක ජනතාවට නොකියාම යන්නට ගියේය. ෂර්ලොක් හෝම්ස් මෙන් ඔහු නැවතත් ආවේ නැත. කිසිදාක එන්නේ ද නැත.


දුලංජලී මුතුවාඩිගේ 




Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=1510:2012-08-23-09-26-29&catid=52:samudura&Itemid=76

Share this article with your friends