Chitika Smowtion 468x60


Friday, October 5, 2012

ලොවම කළඹවන “ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්”





අරාබි වසන්තයෙන් උණුසුම් වී තිබූ ලෝකය දැන් තවත් එවන් වූ උද්ඝෝෂණ රැල්ලකට මැදිව සිටියි. මේ උද්ඝෝෂණවල විශේෂත්වය වන්නේ එකම රටකට එරෙහිව ලොව නන් දෙසින් විරෝධතා මතුව ඒමයි. ලාංකේය අපිද එහි කොටස්කරුවෝ වෙමු. මෙසේ ලොව පුරා උද්ඝෝෂණ රැල්ලක් මතුව ඇත්තේ අන් රටකට නොව ලෝක බලවතා වූ ඇමෙරිකාවට එරෙහිවයි. ඇමෙරිකාවට විරෝධය පළ කරමින් මෙසේ විරෝධතාවල නිරත වන්නේ ලොව පුරා විසිරී සිටින මුස්ලිම් ප්‍රජාවයි. ඇමෙරිකාව කෙරෙහි මුස්ලිම් ප්‍රජාවගේ මේ විරසකයට හේතුව ඉස්ලාම් දහමට නිගරු කෙරෙන චිත්‍රපටයක් ඇමෙරිකානුවෙකු විසින් නිපදවා තිබිමයි. “ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්” මෙසේ ලොව කැළඹ වූ චිත්‍රපටයයි.




හොලිවුඩයේ කෝඩුකාරයෙකු විසින් නිපද වූ මේ චිත්‍රපටයේ ඇතැම් දර්ශන අන්තර්ජාලයේ යූටියුබ් හරහා ප්‍රචාරය වීම මුස්ලිම් ප්‍රජාවගේ කෝපය අවුස්සන්නක් විය. විනාඩි දහ තුනක් වැනි කෙටි කාලයක් පුරා දිවෙන එම දර්ශන නිසා මේ වෙද්දී ලොවක් කැළඹී සිටී. චිත්‍රපටය තුළින් නබි නායකතුමන්ට නිගරු කර ඇති බව ඉස්ලාම් බැතිමතුන්ගේ අදහසයි. ඒ නිසා මේ චිත්‍රපටය ප්‍රචාරය වීමට එරෙහිව ඔවුහු පෙළ ගැසී සිටිති. ඒ පෙළ ගැසීම් මේ වෙද්දී දැඩි ප්‍රචණ්ඩකාරී ස්වරූපයක වේ. ඇමෙරිකානු ධජ හා ඔබාමාගේ රුවට අනුව සැකසූ පඹයින් ගිනි බත් කිරීම තුළින් ඇමෙරිකාවට එරෙහිව මුස්ලිම් ප්‍රජාවගේ කෝපයේ තරම කියා පායි. ඉංග්‍රීසි බසින් නිර්මාණය වූ “ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්” චිත්‍රපටයේ කොටස් අරාබි භාෂාවෙන් යූටිබ් හරහා ප්‍රචාරය වීමත් සමග ඉස්ලාම් ආගමිකයන්ට දැනුණු රිදුම පිට වූයේ ඇමෙරිකාවට එරෙහිව වීථි බැසීමෙනි. මේ විරෝධතා රැල්‍ලේ ඉදිරි පෙළින් සිටින්නේ පාකිස්තානයයි. 

ඉස්ලාමාබාද් අගනුවර තුළ මෙන්ම කරච්චි, පේෂාවර් ආදී නගර තුළද ඇමෙරිකානු විරෝධී උද්ඝෝෂණ සිදු වුණේ ‍පොලිස් නිලධාරීන් සමගද ගැටුම් ඇති කර ගනිමිනි. සාමකාමී ලෙස උද්ඝෝෂණ සිදු කිරීමට පාකිස්තාන රජයෙන් ඉඩ ලබාදී තිබුණද ඒ උද්ඝෝෂණවල සාමකාමී බවක් නම් දක්නට නොවීය. පාකිස්තාන රජයේ වගකිව යුතු නියෝජිතයෙක් කියා සිටියේ මේ චිත්‍රපටය නිපදවූ තැනැත්තා ඝාතනය කළ යුතු බවයි. ඔහු එහි වගකීම ඉඟි කර තිබුණේ අල් ඛයිඩා හා තාලිබාන් සටන්කාමීන් වෙතයි. මෙය ඔහු විසින් පෞද්ගලිකව කළ ප්‍රකාශයක් වුවද එය බොහෝ දෙනාගේ අප්‍රසාදයට හේතුවක් විය. ඇමෙරිකානු විරෝධී රැල්‍ලේ පෙරමුණේම පාකිස්තානය සිටියද මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකාවට එරෙහිව මුලින්ම පන්දම අතට ගත්තේ ඊජිප්තුවයි. හොස්නි මුබාරක්ගේ පාලනය යටතේ වසර ගණනාවක්ම ඇමෙරිකාවට එහෙයි කියාගෙන සිටි ඊජිප්තුව පළමු වතාවට ඔවුන්ට විරුද්ධව ඇත. 

 ඊජිප්තුවෙන් ලිබියාවට ගිය ඒ විරෝධතා කෙළවර වුණේ ලිබියාවේ සිටි ඇමෙරිකානු තානාපතිවරයාවද බිල්ලට ගනිමිනි. පසුව මුස්ලිම් ජනතාව වෙසෙන රටවල් බොහොමයකින්ම මේ උද්ඝෝෂණ මතු විණි. මෙහි ඇති තවත් විශේෂ-ත්වයක් වන්නේ ඇමෙරිකාවට අමතක නොවන දිනකදී ඇමෙරිකානු විරෝධී උද්ඝෝෂණවල මූලාරම්භය සනිටුහන් වීමයි. ඇමෙරිකාවේ හදවතට එල්ල කළ ප්‍රහාරයක් බඳු වූ නිව්යෝර්ක් ප්‍රහාරයේ එකොළොස්වන සැමරුම යෙදී තිබූ සැප්තැම්බර් එකොළොස් වෙනිදා මේ උද්ඝෝෂණ රැල්‍ලේ ආරම්භය සිදු වූ දිනයයි. එදා එනම් 2001 සැප්තැම්බර් 11 වනදා පුපුරා ගියේ ඇමෙරිකානුවන් වෙත වූ අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම්වල කෝපයයි. ඉන් හරියටම වසර එකොළහකට පසුව දෙදරා ගියේද ඇමෙරිකාවත් ඉස්ලාමීය ලෝකයත් සමග වූ විරසකයයි.
ඒ විරසකයේ තරම කිවහොත් චිත්‍රපටය නිපද වූ තැනැත්තා පමණක් නොව සමස්ත ඇමෙරිකානුවන්ම දැන් මුස්ලිම් ප්‍රජාවට පෙනෙන්නේ නයාට අඳු කොළ මෙනි. මුලදී ‍පොලීසියේ ප්‍රශ්න කිරීමට ලක්ව පසුව මුදා හරිනු ලැබූ චිත්‍රපටයේ අධ්‍යක්ෂ නකුලා බැසිල් නකුලා උන් හිටි තැන් හැර දමා කාටත් හොර රහසේම පලා ගොස් සිටියි. දැන් ඔහුගේ හිසට ඩොලර් ලක්ෂ ගණනක වටිනාකමක්ද හිමිව තිබේ. ඔහු නිපදවූ චිත්‍රපටය නිසා උද්ඝෝෂණවලට මැදිව මිය ගිය පිරිසක්ද වේ. එසේම විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
ලොව ඕනෑම අයෙකුට ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය වේ. එබැවින් ඕනෑම ආගමකට ගරු කිරීමට අපි බැඳී සිටින්නෙමු. ලෝක බලවතා වූ ඇමෙරිකාවටද ඒ නීතියේ වෙනසක් නොවේ. ඔවුන් එය කඩ කරන්නේ නම් ඊට දඬුවම් ලැබිය යුතුය. එහෙත් ගැටලුව වන්නේ චිත්‍රපටයක් නිසා අහිංසක මිනිසුන් බොහොමයකට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීමයි. දැඩි මතධාරී ඉස්ලාමීය ප්‍රජාව කවදත් ඇමෙරිකාවට එරෙහිව පන්දම අතට ගත්තෝ වෙති. ඒ නිසා මෙවරද ඔවුන් ඇමෙරිකාවට එරෙහිව යකා නටයි. මින් ඇමෙරිකාවේ කල්කිරියාව බන්දනය කිරීමට ඔවුන්ට හැකිවේද? කෙසේ වුවද ඇමෙරිකාවත් ඉස්ලාමීය ප්‍රජාවත් අතර පවතින කෝන්තරය අළු යට සැඟවුණු ගිනි පුපුරක් සේ වරින් වර ඉස්මතු වේ. මෙවරද සිදුව ඇත්තේ ඒ නෝක්කාඩුවේ ගිනි පුපුර දැල්වීමකි. එය කවදා නිවේදෝයි කීමට අප දන්නේ නැත. එහෙත් මේ විරසකය සන්සිඳුවාලීමට වගකිව යුත්තෝ ක්‍රියා කළ යුතුව ඇති බව නම් කිව යුතු වේ.


Share this article with your friends