Chitika Smowtion 468x60


Monday, November 12, 2012

දුවේ නුඹ කවදාක එගොඩ යයිද මේ ගඟේ !


කැරකෙන අවන්හල්, පාවෙන අවන්හල්, ආසියාවේ උසම නෙළුම් කුලුන ගැන කතාකරන රටක, ජිවිත පරදුවට තබා ගුරු ගෙදරට යන පාසැල් සිසුන්.



"මිරිවැඩි සඟළක්‌ ඉල්ලා හැඬුවෙමි
පායුග නැති ඔබ දකින තුරා
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
නෙත් යුග නැති ඔබ දකින තුරා"

හදිසියේම වාගේ නන්දා මාලනියගේ සුගායනීය වූත් හෘදයාංගමය වූත් මධුර ස්‌වරයකින් ලියුම්කරුගේ හදවත කම්පනය වූයේ පසුගිය රාත්‍රියේ දුටු සිහිනයකින් නම් නොවේය. ඒ පසුගිය 01 වැනිදා "දිවයින" පුවත්පතේ මුල්පිටුව මගින් ජනතාව හමුවේ තැබූ ජනතාවාදී රූප ප්‍රවෘත්තියකින් කියෑවුන කඳුළු කතාවක්‌ නිසාය. එම පුවතම පසුගිය දින එක්‌තරා රූපවාහිනී නාලිකාවකද දර්ශන සහිතව විකාශය විය. ඒ හද රිදවන පුවත මේසය.

වැල්ලවාය පතානයාය ගම්මානයේ ජීවත් වන පවුල් එකසියපනහකට අධික පිරිසකට ගම්මානය හරහා ගලා බසින කිරිදිඔය දායාදයකි. එහෙත් එම ගඟෙන් එගොඩ මෙගොඩ වීමට ඔවුන්ට පාළමක්‌ නැත. අවුරුදු හතළිහක්‌ පමණ තිස්‌සේ ඔවුන් ගඟෙන් එගොඩ මෙගොඩ වන්නේ හුළං පිර වූ ටියුබ්වලිනි. මේ දිනවල ඇදහැලෙන ධාරානිපතා වර්ෂාවෙන් කිරිදිඔය දෙගොඩ තලා යන්නේය. එහෙයින් පතානයාය ගම්වැසියන්ට ඔයෙන් මෙගොඩඩ ඒමට නොහැකිව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිති. එහෙත් ඒ ගම්මානයේ දරුවෝ ජිවිත පරදුවට තබා ගුරු ගෙදරට යන්නෝය.

 
කාල වර්ණ රුවක්‌ ඇති, කොන්ඩය කරල් දෙකකට ගොතා පොත් මිටිය ළැමට තුරුළු කොටගෙන පාසල් නිල ඇඳුමින් සැරසී හිමිදිරි උදැසනක පාසල් යන මේ දැරිය ඒ සුන්දර චමත්කාර ජනක පාසල් ගමන යන්නේ, සිය මිතුරු මිතුරියන් හා කෙලිකවට සිනහවෙන් හෝ ඔමරි කතාවෙන් යුතුව නම් නොවේ. ඉහළට ගත් හුස්‌ම පොද පහළට දැමීමට පවා බියෙන් බිහිසුණු දිය දහරා මැදින් හුළං පිරවූ ටියුබයකට මැදිවී මරබියේ ගැහෙමින් වයස අවුරුදු දොළහක්‌ පමණ වූ මේ දැරිවියගේ දැසින් රූරා ගලන්නේ අපේ රටට දැන් ඇති එකම ප්‍රශ්නය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් 13 ඉවත්කිරීම පමණකැයි කෑ මොරදෙන දේශපාලන ගෙම්බන්ගේ දැස නොදකින කඳුළුය. දැසට නොපෙනෙන කඳුළුය. මේ අවිහිංසක දියණිය හැඬුවේ ඇයට දින ගණනාවකින් කුසට අහරක්‌ නොවැටුනේ කියා හෝ, පාසල් යැමට අවැසි ඇඳුම් පැළඳුම් පොත පත නොලැබුනේය කියා හෝ, එසේත් නැතිනම් පොඩ්ඩන්ට පුළුවං කියා පෙන්නූ වැඩ කිඩ වලින් තරුවක්‌ වීමට අවශ්‍ය SMS නොලැබීම නිසා හෝ නොවේ. තමන් ජීවත්වන මුළු ගමේම මිනිසුන්ට මේ ප්‍රචණ්‌ඩ ජල ධාරාවෙන් එගොඩ මෙගොඩ වීමට අඩුතරමේ වැල් පාලමක්‌ හෝ ලබා දෙන්නැයි රට කරවන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමිනි. ගමේ අහිංසක මිනිසුන් වෙනුවෙන් ඉකිබිඳ හඬා වැටුන මේ දියණියගේ කඳුළු අපව රාත්‍රියේදී ලැඡ්ජාවට පත් කළේය. කම්පාවට පත් කළේය.

නාගරික හා අර්ධ නාගරික පාසල්වල අකුරු කරනා අපේ දූ දරුවෝ බොහොමයක්‌ එදින රාත්‍රි ප්‍රවෘත්ති විකාශය දුටුවේ නම් (බොහෝ පාසල් දරුවෝ ප්‍රවෘත්ති බලන්නේ නැත.) ඔවුන් විශ්මයෙන් ගල් ගැසීයනු ඇත. මන්ද එක්‌කෝ ගේ දොරකඩටම එන පාසල් වෑන් රථයෙන් හෝ පාසල් බසයෙන් හෝ කිසිම අපහසුවක්‌ නැතිව පාසලේ ප්‍රධාන ගේට්‌ටුව අසලට යැමේ වාසනාව ඇති මේ දරුවෝ කිසිදාක මේ දුක දන්නේ නැත. ඒ දුක දන්නවා නම් සිය ගණනින් ගොස්‌ අල්ලපු වැටේ පාසලේ සිටින තම සගයන්ට ගල්මුල් වලින් පහර දෙන්නේ නැත. විදුහලට අලුතින් පත්ව ආ විදුහල්පතිවරයාගේ මෝටර් රථය පොඩිකර විදුහල්පතිවරයාටද පහර දී මැරයින් සේ හැසිරෙන්නේද නැත.

රටේ අග නගරයට යන අපි 'කොලොම්පුරේ ශ්‍රියාවෙන්" මන් මත්වී මහා සම්භාෂණ මන්දිරයක්‌ අසලින් දිවෙන අලංකාර ඇවිදීමේ, ශරීර සුවතා මංතීරු ඔස්‌සේ ඇවිද යන කල රෙදි ගැළවෙන තරම් ලඡ්ජාවක්‌ දැනුනානම් ඒ දැනුනේ සැබැවින්ම රත්තරං දුවේ, ඒ නුඹ එදා හෙලූ ඒ කඳුළු නිසාය. නොකඩවා නුඹේ දැසින් ගැලූ කඳුළු වැල් නිසාය.

හුළං පිරවූ වාහන ටියුබයකට ගොඩවී නුඹට ඔරවමින් ගොරවමින් වේගයෙන් ගලා බසිනා දිය දහරාවට බියේ පණ ගැහි ගැහී සුදු ඇඳුම තෙමාගෙන, නුඹ ගිය ඒ පාසල් ගමන මුළු රටේම හිස්‌බව අපට ප්‍රත්‍යක්‍ෂ කළේය. පැයට කිලෝමීටර් සියයක වේගයෙන් ඉගිල යාහැකි සුපිරි මාවත් අපට තිබේ. දින 65 න් ඉදිකළ ගුවන් පාලම්ද අපට තියේ. එහෙත් දුවේ නුඹ හඬන්නේ ගමට වැල් පාලමක්‌වත් දෙන්න කියාය.

අනාගත ආසියාවේ ආශ්චර්යය වීමට සිහින මවන රටක, වාර්ෂිකව රුපියල් බිලියන සිය ගණනක මහජන මුදලින් නඩත්තු වන දැවැන්ත ඇමැති මණ්‌ඩලයක්‌ සිටින රටක නුඹ හෙලූ ඒ කඳුළ, බොල් කඳුළක්‌ වන්නේ කෙසේද?

කැරකෙන අවන්හල්, පාවෙන අවන්හල්, ආසියාවේ උසම නෙළුම් කුලුන ගැන කතාකරන අපි, ළඟදීම ඒක පුද්ගල ආදායම ඇ.ඩො. හාරදහස ඉක්‌මවන මිනිසුන් සිටින රටක පුරවැසියන් වෙන සැටි සිහිනයෙන් දකිනා කල, රත්තරං දුවේ ඊයේ රාත්‍රියේදී මා දැස දුටු නුඹේ ඒ කඳුළු බිඳු මහ මෙරක්‌ සේම බර කළේ කිමද? මා දුබල හදවත.

නුඹ හැඬුවේ, නුඹ වෙනුවෙන්ම නොවේය. නුඹ වැනිම නංගිලා මල්ලිලා සේම අක්‌කලා සහ අයියලා ද වෙනුවෙනි. ඡන්ද කාලයට ගඟ හරහා පිහිනාගෙන සරම තෙමාගෙන, නුඹලාගේ අම්මාවරුන්, අප්පාවරුන් වෙතට පැමිණ උන්ගේ දුප්පත් ඡන්දය කොල්ලකාගෙන පලාගිය දේශපාලන ගෙම්බන්ගේ කෙලෙහි ගුණ නොදත්කම වෙනුවෙන් නුඹ හෙලූ කඳුළුය ඒ.

නුඹේ වෙව්ලන කටහඬ තවමත් මා දෙසවන දොaංකාර දේ. නුඹේ කාලවර්ණ කොපුල්තල දිගේ පහළට රූරා ගලා බසින රිදීවන් කඳුළු කැට මගේ ආත්මයට දියකර හරින්නා සේ මට දැනේ. ලෝකයම නොපෙනෙන්නට මම දැස වසාගත්තෙමි. ඈතින් ඇසෙන්නේ නන්දා මාලනියගේ මධුර ස්‌වරයයි. සමාජ හෘද සාක්‍ෂියේ ෙදනීය දොaංකාරයයි. මම ඇයට සවන් දෙමි.
"මිරිවැඩි සඟලක්‌ ඉල්ලා හැඬුවෙමි

පායුග නැති ඔබ දකින තුරා

කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි

නෙත් යුග නැති ඔබ දකින තුරා..."





ජයන්ත විඡේසිංහ දිවයින පුවත් පතට ලිවූ ලිපියක් ඇසුරෙන්



Source - http://kannangaradaruwo.blogspot.nl/2012/11/blog-post_12.html

Share this article with your friends