Chitika Smowtion 468x60


Friday, February 3, 2012

අතුරුදහන් වූවන් ස්මරණය සඳහා ඉදිකල අහිංසකයින්ගේ ආරාමය කඩා ඉවත් කිරීම පිලිබඳ බලවත් විරෝධය පළ කිරීම


පසු ගිය භීෂණ සමයේ (88-89) බලහත්කාරයෙන් රැගෙන ගොස් අතුරුදහන් කරන ලද අහිංසකයින් සැමරීම සඳහා 1999 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනයගේ දායකත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයට ආසන්නව නාලන්ද එල්ලාවල වටරවුම අසල ඉදිකළ අහිංසකයින්ගේ ආරාමය අද තිබූ ස්ථානයක් වත් හඳුනාගත නොහැකි ලෙස කඩා දමා පොළොවට සමතලා කර ඇති බව දැකීමෙන් අප බලවත් කම්පාවට පත් වී ඇත.
වත්මන් රජයේ ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය දරන අවධියේ ඔහුගේ ද ආශිර්වාදය ඇතිව සුදු නෙ`ඵම් ව්‍යාපාරයේ සිටි මංගල සමරවීර මහතාගේ අධීක‍ෂණයෙන් ඉදි කළ මෙම ස්මාරකය හුදෙක් ඇඹිලිපිටිය අතුරුදහන් කරන ලද සිසුන්ගේ දෙමව්පියන් විසින් සිදුකළ ඉල්ලීමක ප්‍රතිඵලයකි.

ආරක‍ෂක අමාත්‍යාංශයේ බලය අයුතු ලෙස යොදා ගනිමින් නාගරික අලංකාරය කිරීමේ මුවාවෙන් ජනවාරි 24 හෝ 25 යන ආසන්න දිනයකදී සිදු කරන ලද මෙම අත්තනෝමතික, අමානුශික ක්‍රියාව පිළිකුලෙන් යුතුව අපි හෙලා දකිමු.
මෙම ස්මාරකය අප රටේ භීෂණයට, රාජ්‍ය ත්‍රස්තවාදයට ගොදුරු වූ අහිංසකයින් ස්මරණය කිරීම උදෙසාම ඉදි කළ ස්මාරකයක් හෙයින් මෙය කඩා බිඳ දැමීම මගින් එම තීන්දු ගන්නා ලද බලධරයින්ගේ අශීලාචාරකම ප්‍රදර්ශනය කර ඇති බව අපගේ වැටහීමයි. මෙම ස්මාරකය හුදෙක් ඉදිකිරිමක් පමණක් නොව ගෞරවනීය මරණය අහිමි වූ, සොහොනක් නැති අහිංසක අතුරුදන් වූවන්ගේ ගෞරවය උදෙසා ඉදි වූවකි. මේ නිසා මෙම ස්මාරකය විනාශ කිරීම ඔවුන්ගේ ආත්මයට කළ අවමානයකි. එම පවුල් වල සාමාජිකයින්ට ද සිදු කල බරපතල නිගාවකි. ඒ අනුව මොනම ආකාරයක හේතුවක් මත වුවත් මෙම ස්මාරකය කඩා බිඳ දැමීම සාධාරණීකරණය කළ නොහැක්කකි.
වත්මන් ජනාධිපති වරයාගේ ජයග්‍රහණය වෙනුවෙන්, බලය තහවුරු කිරීම වෙනුවෙන් සෑම මැතිවරණයකදීම ඇප කැප වෙමින් කටයුතු කළ, බැලමෙහෙවර කළ බහුතරයක් මෙම පවුල් වල සාමාජිකයින් වෙනුවෙන් යුතුකම් ඉටු කිරිම වෙනුවට මෙසේ කෙනහිළිකම් කිරීම ඉවසා දරා ගැනීම ඉතා අපහසුය.
ඉතා සෝචනීය ලෙස ජීවිත ගෙවන මෙම පවුල් වල සාමාජිකයින්ගේ සුභසාධනය සඳහා අප සිදු කළ ඉල්ලීම් වෙනුවෙන් කිසිදු තැකීමක් මෙතෙක් සිදු කර නැත. කිසිදු සහනයක් ආධාරයක් මෙම පවුල් වලට මෙම රජයෙන් ලබා දී නොමැත. අවසානයේ අතුරුදහන් වූවන් ස්මරණය සඳහා වූ අපේ මූලික අයිතියද අපට අහිමි කළ මෙම රජය විසින් අප පවුල් වල සාමාජිකයින් ට බරපතල වෙනස් කොට සැළකිල්ලකට ලක්කර ඇත. මියගිය වුන් වෙනුවෙන් තැනූ සොහොනක් වැනි වූ මෙම ස්මාරකය කඩා බිඳ දැමීමට තරම් සදාචාර විරෝධී වී ඇති මෙම රජය මගින් අපගේ යුක්තිය සාධාරණය බලාපොරොත්තු තැබීම ඉතා අවිනිශ්චිතය.
භීෂණ සමයේ මෙම අහිංසකයින් ඝාතනය කිරීමට අතුරුදන් කිරීමට අනුබල දුන් චූදිතයින් කීපදෙනෙකු වත්මන් රජයේ ප්‍රබල පාර්ශව කරුවන් වී ඇත. ඔවුනට ඉතා ඉහළ වරප්‍රසාද ලබා දෙමින් අතිගෞරවනීය ජීවිත ගත කිරීමට සැළැස්වීමෙන් අතුරුදන් වූවන්ගේ යුක්තිය පසඳලීම බරපතල හෑල්ලූවට ලක්වී ඇත. මේ අනුව අපට හැ`ගී යන්නේ අතුරුදන් වූවන්ගේ මතකය සදහටම මකා දැමිමට යම් මිලිටරි හස්තයක් මෙම රජය තුළ ක්‍රියාත්මක වන බවය.
එම භීෂණ අවධියේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක‍ෂ මැතිතුමාත් වාසුදේව නානායක්කාර සහෝදරයාත් ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ගොස් එම භීෂණයට, රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව සිදු කළ කිසිදු කැපවීමකට දැන් වටිනාකමක් දීමට නොහැකිය. එදා කොළඹ සිට කතරගම දක්වා ගිය පාද යාත්‍රාව වැනි ක්‍රියාවන් සිහිපත් කිරීම පවා හෑල්ලූවට ලක්වන කරුණකි. අපගේ යුක්තිය සාධාරණය වෙනුවෙන් කිසිදු තැකීමක් නොකොට මෙම අහිංසකයින්ගේ ආරාමය කඩා දැමීම දක්වා සිදු වූ සියලූ කෙනෙහිලිකම් අනුව අප පවුල් වල සාමාජිකයින් මෙම රජය පිළිබඳ බලවත් කළකිරීමෙන් පසුවන බව දැනුම් දෙන්නේ ඉතාමත් වේදනාවෙනි. මෙම අහිංසකයින්ගේ ආරාමය ප්‍රතිසංස්කරණය කර බාධාවකින් තොර සැමරුම් කටයුතු වල නිරත වීමට අවශ්‍ය කටයුතු සළසා දෙන මෙන් නිරන්තරයෙන් කර ඉල්ලීම් වලින් ද ඵලක් වූයේ නැත. ඊට අදාලව හුවමාරු කරගත් ලිපි වල පිටපත් ද මේ සමග අමුණා ඇත.
ආචාර්ය ජගත් වීරසිංහ නම් කලාකරුවාගේ ඉතා විශිෂ්ට කලා කෘතියක් වූ මෙය ආරාමයක් ලෙසද නම් කර තිබුණේ හුදෙක් ස්මාරකයකට එහා ගිය මානසික අස්වැසිල්ලක් මෙම පරිශ්‍රය තුළ එම ඥාතීන්ට ලබා ගත හැකි පරිදි කලාත්මක ලෙස මෙය නිර්මාණය කර තිබූ හෙයිනි. එනිසා මෙම ස්මාරකය පිළිබඳ තීරණ ගැනීමට රජයේ ඕනෑ කෙනෙකුට යම් බලයක් තිබුණත් අප පවුල් වල සාමාජිකයින්ගේ විමසන්නේ නැතුව තීරණ ගැනීමට කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නැත. මෙම සිදු වීම හුදෙක් වත්මන් රජය අප සියලූ පවුල් වල සාමාජිකයින්ගෙන් සමාව අයැද සිටිය යුතු කරුණක් ලෙස සැළකීම වරදක් නැත. වත්මන් ජනාධිපති තුමාද මෙම ස්මාරකය තුළ අප සංවිධානය විසින් පැවැත්වූ සැමරුම් සඳහා සහභාගී වී පුෂ්පෝපහාර දක්වා ස්මරණ කටයුතු වල යෙදුණ අයෙකි. මෙම සිදුකළ අවමානය යම් තරමකට හෝ අවම කර ගැනීමට නම් මෙම ස්මාරකය එම තිබූ ස්ථානයේම ඉදිකර එම පවුල් වලට තම ආදරණීයයන් ස්මරණය කිරීමේ අයිතිය තහවුරු කර දිය යුතු වන්නේය.
එහෙයින් අප ඉල්ලා සිටින්නේ මෙම ස්මාරකය මෙම ස්ථානයේම නැවත ඉදිකර සැමරුම් කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සළසා දෙන මෙන්ය. ඉන් හැර කිසිදු විකල්ප යෝජනා වලට අපගේ එක`ගතාවයක් නැත.
ශාන්ත ඩී පතිරණ
ප්‍රධාන ලේකම්

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends