Chitika Smowtion 468x60


Saturday, December 24, 2011

ජනාධිපති සමඟ එකඟතාවයකට එන්න බලනවා - ටිරාන්


ජනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා සමඟ කිසියම් එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා තමා ඔහු සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ප්‍රකාශ කරයි.
ජනරල් සරත් ෆොන්සේකා මහතාට සමාව ලබාදීම සඳහා ඔවුගේ පවුලේ උදවිය තමාගේ ඉල්ලීමක් කළ යුතු බවට, දෙසැම්බර් 20වනදා පැවති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව 'රාවය' පුවත්පත කළ විමසීමේදී ටිරාන් අලස් මහතා ඒ බව සඳහන් කර තිබේ.


එහි දී ටිරාන් අලස් මහතා ප්‍රකාශ කොට ඇත්තේ ජනරල් ෆොන්සේකා නිදහස් කරගැනීමේ සාකච්ඡාවල ප්‍රතිඵල හොඳ මට්ටමක තිඛෙන බවය.
''මේක ලොකු ප්‍රශ්නයක්. අපි කිසියම් එකඟතාවයකට එන්න ඕනෙ. ජනාධිපති කියනවා ෆොන්සේකා පවුලේ අයට ඇවිත් කතා කරන්න කියලා. ෆොන්සේකා පවුලේ අය කියනවා ඒ අය සමාව ගන්නේ නැහැ කියලා. මොකද සමාව ගන්න වරදක් කරලා නෑ කියලා. එතකොට අපි උත්සාහ කරන්නේ මේ දෙක මැද විසඳුමකට එන්නයි.'' යැයි ටිරාන් අලස් මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.
එසේම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ උපසභාපති ලෙස හඳුන්වමින් මහේෂ් අතපත්තු නැමැති අයකු පසුගියදා නිකුත් කර ඇති නිවේදනය අමූලික බොරුවක් බවත්, එවැනි පුද්ගලයකු තම පක්ෂයේ නොමැති බවත්, එය ෆොන්සේකා මහතාව හිරේම තැබීමට කරන කුමන්ත්‍රණයක් බවත්, පක්ෂයක් ලෙස ඔවුන් ඉන්නේ අනෝමා ෆොන්සේකා මහත්මියගේ ස්ථාවරයේ බවත් ටිරාන් අලස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ උපසභාපති ලෙස මහේෂ් අතපත්තු මහතා පසුගිය දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමට නම් ෆොන්සේකා මහත්මිය කළ යුතු හොඳම දේ වන්නේ ජනාධිපතිවරයා හමුවී සමාව ඉල්ලා සිටීම බවය.
කෙසේ වුවද, තමා හෝ තම පවුලේ කිසිවෙකු ජනරල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් ජනාධිපතිගෙන් සමාව ඉල්ලීමට සූදානම් නොමැති බව අනෝමා ෆොන්සේකා මහත්මිය 'රාවය' පුවත්පතට අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කොට ඇත.


Source : lankanewsweb.com

Share this article with your friends