Chitika Smowtion 468x60


Monday, April 23, 2012

ශ‍්‍රිලනිපය තුළ ගෝඨා විරෝධය උත්සන්න වේ


නාගරික සංවර්ධන හා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර බලවත් විරෝධයක් මතු වී තිබෙන බවත්, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් මේ වන විට ප‍්‍රසිද්ධියේම ඔහුව විවේචනය කරන තත්ත්වයක් මතු වී ඇති බවත් එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය.
ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහි මතවාදයක් ගෙන යෑමට පෙරමුණ ගෙන සිටින්නේ හිටපු අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතාය.
නාගරික සංවර්ධන හා ආරක්‍ෂක ලේකම්වරයා, ආරක්‍ෂක නිලධාරීන් ශ‍්‍රිලනිප ආසන සංවිධායකයින් ලෙස පත් කර පක්‍ෂය ආක‍්‍රමණය කරමින් සිටින බවටත්, ඔහුගේ ක‍්‍රියාකලාපය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රතිපත්තීන්වලට මුළුමනින්ම පටහැනි බවත් ඔහුට එරෙහි මැති ඇමතිවරුන් මේ වන විට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර සිටී. තවද ගෝඨාභය රාජපක්‍ෂ මහතා කිසිදු අමාත්‍යවරයෙකු පවා නොසලකා හරිමින්, සෑම දිස්ත‍්‍රික්කයක් තුළම නාගරික සංවර්ධන අධිකාරියේ හා හමුදා කඳවුරුවල සහය ලබා ගනිමින් ආසන සංවිධායකයින් පවා නොසලකා හරිමින්, ඔහුගේ ප‍්‍රතිරූපය ගොඩනගා ගැනීමේ සංවර්ධන ව්‍යාපෘතීන් සිදු කරන බවත් ශ‍්‍රිලනිප ආසන සංවිධායකියන්ගෙන් පවා චෝදනා එල්ල වි ඇතැයි වාර්තා වේ.
එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට, ඒ පිළිබඳව ගෞරවය හා ප‍්‍රසංසාව නිතැතින් හිමිවිය යුතු වුවද ඔහුට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පාලනය කිරීමට ඉඩ සලසා දීම අතිශයින් භයානක බව ප‍්‍රකාශ කර සිටින මැතිඇමතිවරුන්, ඔහුට දේශපාලන කටයුතු සඳහා ඇගිලි ගැසීමට ඉඩ නොතබන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමටද බලාපොරොත්තුව සිටී. එම ඇමතිවරුන්ගේ අදහස ආණ්ඩුවට හිතවත් ජාතික පුවත්පත් කිහිපයක කතුවරුන් ද එකහෙළා අනුමත කර තිබේ.
ආරක්‍ෂක ලේකම්වරයාගේ අත්තනෝමතික ක‍්‍රියාකලාපයන් ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් හුදකලා වීමටද දැඩි ලෙස බලපෑ බව ආණ්ඩුවට හිතවත් විද්වතුන්ගේ ද අදහස වී ඇතැයි මේ පිළිබඳව අප වෙත තොරතුරු ලබා දුන් ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

Source - lankanewsweb.com

Share this article with your friends