Chitika Smowtion 468x60


Wednesday, April 4, 2012

ලංකා බැංකු සභාපතිට ඉවත් වන්නැයි ෆැක්ස් නියෝගයක්


ලංකා බැංකු සභාපති ගාමිණි වික‍්‍රමසිංහ මහතාට වහාම එම තනතුරින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පෙරේදා දහවල් ෆැක්ස් පණිවිඩයක් ලැබී තිබේ. වාර්තාවන අන්දමට සභාපතිවරයා, දිගින් දිගටම ජනාධිපතිවරයා මඟහැර සිටීම නිසා කෝපයට පත් ජනාධිපතිවරයාගේ නියමය මත මෙම ෆැක්ස් නියෝගය නිකුත් කර තිබේ.


ජනාධිපතිවරයා ලංකා බැංකු සභාපතිවරයාට දුරකතන ඇමතුමක් ලබා දුන් අවස්ථාවේදී, සභාපතිවරයා නිල කාමරයේ සිට ඇතත් ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය පවසා ඇත්තේ සභාපතිවරයා කාර්යාලයේ නොමැති බවයි. ඇය එසේ පවසා ඇත්තේ සභාපතිවරයාගේ ඉල්ලීම මතය. එහෙත් ජනාධිපතිවරයා වෙනත් මාර්ගයකින් සොයා බැලීමේදී සභාපතිවරයා කාර්යාලයේ සිටින බව තහවුරු කරගෙන තිබේ. සභාපතිවරයාට වහාම ඉල්ලා අස්වෙන ලෙස නියෝගය ලැබී ඇත්තේ ඉන් අනතුරුවය.
ජනාධිපතිවරයා විසින් පවරන ලද නියෝග කිහිපයක් ලංකා බැංකු සභාපතිවරයා විසින් නොසලකා හැර තිබීමත් ඒ සම්බන්ධයෙන් විමසන අවස්ථාවලදී මගහැර සිටීමත් නිසා ජනාධිපතිවරයා ඔහු සමඟ පසුගිය දින කිහිපයෙහි අමනාපයෙන් සිටි බවද වාර්තාවේ. ලංකා බැංකු ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, ජනාධිපතිවරයා විසින් ලංකා බැංකු සභාපතිවරයා වෙත පවරා ඇති රාජකාරි කිහිපයක් නීත්‍යානුකූල නොවන බව එහි උපදේශකයින් විසින් සභාපතිවරයාට දැනුම් දීමෙන් පසු ඔහු ජනාධිපතිවරයාගේ නියෝග කි‍්‍රයාත්මක කිරීම මගහැර සිට ඇත.
ලංකා බැංකු සභාපති ගාමිණි වික‍්‍රමසිංහ මහතා මෙම තනතුරට පත් කිරීම සඳහා නිර්දේශ කොට ඇත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය. ගාමිණි වික‍්‍රමසිංහ මහතා ලංකාවේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන අතර ‘ඉන්ෆෝමැටික්’ සමාගමේ සභාපතිවරයා වන්නේද ඔහුය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, ගජබා රෙජිමේන්තුවේ එවකට ලූතිනන් කර්නල්වරයකුව සිට විශ‍්‍රාම ගැනීමෙන් අනතුරුව රැකියාවක් නොමැතිව සිටියදී ඔහුට ‘ඉන්ෆෝමැටික්’ ආයතනයේ රැකියාවක් ලබාදී ඇත්තේ ගාමිණි වික‍්‍රමසිංහ මහතාය.
එයට ප‍්‍රතිඋපකාරයක් ලෙස රාජපක්ෂවරුන් බලයට පත් වූ වහාම ගාමිණි වික‍්‍රමසිංහ මහතාව විනියම සුරකුම්පත් කොමිසමේ සභාපතිලෙස පත්කරනු ලැබීය. ලංකා බැංකුවේ සභාපති ලෙස ඔහු පත්කරනු ලැබුවේ ඉන් අනතුරුවය.
ගාමිණි වික‍්‍රමසිංහ මහතා කොතරම් දක්ෂ ව්‍යාපාරිකයකු වුවද ඔහු යටතේ ලංකා බැංකුව කඩාවැටී ඇති බවත් බැංකු කටයුතු පිළිබඳ කිසිවක් නොදන්නා තම මිත‍්‍ර කරුණාජීව මහතා මහජන බැංකුව කෙටි කලක් තුළ ඉහළට ගෙනා ආ බවත් ජනාධිපතිවරයා පසුගිය දා ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් සමඟද පවසා තිබේ. කෙසේ වුවද ජනාධිපතිවරයා හා ගාමිණි වික‍්‍රමසිංහ මහතා අතර ගැටුම සමතයකට පත් කොට වික‍්‍රමසිංහ මහතාව ලංකා බැංකු සභාපති ධුරයේ තවදුරටත් රදවා ගැනීමට ආරක්ෂක ලේකම්වරයා මේවනවිටත් බලවත් උත්සාහයක් දරමින් සිටී.

Source - lankanewsweb.com

Share this article with your friends