Chitika Smowtion 468x60


Wednesday, April 4, 2012

මරාගේ ගෝලයෝ අභයගිරියෙනුත් ගසා කාලා


ජනාධිපතිවරයා විසින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජනරාල් ලෙස පත්කරනු ලැබූ නිමල් සිල්වා මහතාද මහාපරිමාන දූෂිතයකු බවත් ඔහු අභයගිරිය ස්ථූපය සංරක්ෂණය කිරීමේ කටයුතු වලින්ද ලක්ෂ ගණනින් ගසා කා ඇති බවත් එහි අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
එම ආරංචිමාර්ගවලට අනුව, අභයගිරිය ස්ථූප සංරක්ෂණය සඳහා අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය කරනු ලැබ ඇත්තේ මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් ගල්කඩවල පිහිටි ගඩොල් පෝරණුවකය. මෙම පෝරණුව මනා කළමණාකාරිත්වයෙන් යුතුව ඇතැම් වර්ෂවල ලක්ෂ අටකට අධික ගඩොල් නිෂ්පාදන කර තිබේ. එහෙත් නිමල් සිල්වා මහතා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජනරාල් ලෙස පත්වීමෙන් පසුව එම ගඩොල් පෝරණුවේ කටයුතු අක‍්‍රීය වීමට ඉඩ හැර තිබේ. අනතුරුව ගඩොල් නිෂ්පාදනය පෞද්ගලික අංශයට ලබාදීමට ටෙන්ඩර් කැදවා ඇත. ඒ අනුව ඔහුට හිතවත් ටෙන්ඩර් කරුවෙකු වන රාජා සමරවික‍්‍රම නැමැති අයකුගෙන් එක ගඩොලක් රුපියල් 44 බැගින් ලබා ගැනීමට මොහු කටයුතු කර තිබේ. මෙම රාජා සමරවික‍්‍රමගේ ගඩොල් නිෂ්පාදන කටයුතු සිදුවන්නේ වෙන්නප්පුව ප‍්‍රදේශයේය. එහෙයින් සංරක්ෂණයට සුදුසු ගඩොල් නිෂ්පාදනයට ඔහුට අමුද්‍රව්‍ය තිබී නැත. එහෙත් මෙම අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ හිතුවක්කාරී තීරණය මත රාජාසමරනායකගෙන්ම ගඩොල් නිෂ්පාදනය කර ලබා ගැනීමට මොහු කටයුතු කර ඇත.
එහෙත් මෙම පුද්ගලයාට වසරකට අධික කාලයක් තිස්සේ සැපයීමට හැකි වී ඇත්තේ ගඩොල් 4000 වැනි ප‍්‍රමාණයකි. එයද ප‍්‍රමිතියෙන් බාල ගඩොල් වේ. මොහු සැපයූ ගඩොල් ප‍්‍රමාණය අභයගිරි ස්ථූප සංරක්ෂණයට අවශ්‍ය ගඩොල් ප‍්‍රමාණයෙන් 2%කටත් අඩු ප‍්‍රමාණයකි. මේ හේතුවෙන් අභයගිරිය ස්ථූප සංරක්ෂණ කටයුතු අඩපන වී ඇති අතර මාසිකව මෙහි වැඩකර සේවකයින් 500කට පමණ ගෙවන රුපියල් ලක්ෂ 130ක් පමණ වන මුදල ජාතික අපරාධයක් වී ඇත.
එලෙසම අභයගිරිය ස්ථූප සංරක්ෂණය සඳහා වසර 15ක පමණ කාලයක සිට යොදා ගනු ලැබූ මිශ‍්‍රන වූයේ හුණු, හුඹස් මැටි, දහයියා කුඩු හා උළු කුඩු සහිත විද්‍යාත්මක සොයාගනු ලැබූ ශක්තිමත් මිශ‍්‍රනයකි. එහෙත් මෙම පුද්ගලයා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජනරාල් ලෙස පත්වීමෙන් පසු හුඹස් මැටි වෙනුවට වැලි යොදා ගැනීමට කටයුතු කිරීමෙන් සංරක්ෂණයට යොදා ගන්නා මිශ‍්‍රණයේ ශක්තිය බාල වූ අතර වැලි මිලදී ගැනීමට ගෙවන විශාල මුදල හේතුවෙන් ආයතනයට විශාල පාඩුවක් ද සිදු වී ඇත.
තවද නිමල් සිල්වා මහතා ඔහුට හිතවත් සමාගම් මගින් හා ඔහුගේ අයිතිය ඇති උපදේශක සමාගම් යොදවාගෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ කොන්ත‍්‍රාත් වැඩ සූක්ෂම ලෙස ලබා ගැනීමට කටයුතු කර තිබේ. රම්බා විහාර ව්‍යාපෘතියේ සංඝාවාසයක් ඉදිකිරීම සඳහා ඔහුගේ ගෝලයකුවන වාස්තු විද්‍යාඥ සරත් කුලතුංග මහතා විසින් තාක්ෂණික ඇගයීම් නිර්දේශ ලබාගෙන රුපියල් ලක්ෂ 130කට මෙම සංඝාවාසය ඉදිකිරීමේ කොන්ත‍්‍රාත්තුව ඔහුට හිතවත් සමාගමකට ලබා දීමට ටෙන්ඩර් පත‍්‍රිකා අත්සන් කර තිබිය දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ (මුදල්) එය ප‍්‍රතික්ෂේප කර තිබේ. ඒ හේතුවෙන් මෙම අධ්‍යක්ෂක ජනරාල්වරයා, ආයතනයේ අධ්‍යක්ෂක (මුදල්) එම තනතුරෙන් ඉවත් කිරීමට ඔහුගේ ඥාතියෙකුවන අධ්‍යක්ෂක (පාලන) සමග එකතුවී මේ දිනවල කුමන්ත‍්‍රණයක යෙදීසිටින බව එහි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
පොලොන්නරුව පුරා විද්‍යා සංචිතයේ ඇති බස්ධාවනය වන මාර්ගය, සිමෙන්ති ගල් අතුරා සැකසිය යුතු බව පොලොන්නරුව ප‍්‍රදේශයේ බුද්ධිමතුන් ගල්විහාර පුදබිමේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු පිරිස් උපදේ දී තිබුණද මෙම අධ්‍යක්ෂක ජනරාල්වරයා ඔහුගේ තනි අභිමතය මත රුපියල් ලක්ෂ 30 මුදලක් යොදවා කිලෝ මීටර්ය ප‍්‍රමාණයක ගඩොල් ඇතිරීමට කටයුතු කර ඇත. දැනට මෙම කාර්යය අසාර්ථ වී තිබේ. මෙම පුරා විද්‍යා සංචිතයේ ඇති කිලෝ මීටර් පහම ගඩොල් අතුරා සැකසීමට මොහු උපදෙස් දී තිබුණද අනෙකුත් නිලධාරීන්ගේ මැදිහත්වීමේ එය කිලෝ මීටරයක් පමණක් සිදුකර අතරමග අතහැර දමා තිබේ.
මොහුගේ මෙම හිතුවක්කාරී හා අත්තනෝමතික ක‍්‍රියා පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරයා සහ අමාත්‍යවරයා දැන සිටියද මෙම නිලධාරියාට ජනාධිපතිවරයා සමඟ ඇති හිතවත්කම මත ඔහුන් දෙදෙනා කරබාගෙන සිටින බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.

Source - lankanewsweb.com

Share this article with your friends