Chitika Smowtion 468x60


Monday, April 2, 2012

ධනපති ප්‍රජාතන්ත්‍රවාදී කයිය - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව නිසා සිදුවූ ප්‍රධානම දෙය ලංකාවට ලැජ්ජා කිරීමයි. සමරසිංහ ඇමතිතුමා දිගින් දිගටම කිව්වේ තම පාලනය උගත් පාඩම් හා සංහිදියා කමිටු නිර්දේශ ක්‍රියාත්මක කරන බවයි. එය ආරම්භ කර ඇති බවටත් ඔහු පුන පුනා කිව්ව. ඒත් එය පිළිගන්නට ආණ්ඩුවේ ගජ මිතුරා වූ ඉංදීය පාලකයින්ටවත් හැකි වුනේ නෑ.
ඒ නිසා ඔවුන් ද එයට එකඟවී යෝජනාවට සංශෝධනයක් මතු කරමින් එයට හවුල් වුනා. අල්ලපු රටත්, දිගටම මහින්ද සමඟ සිටි සගයාත්, නායකයාත් මේ විදියට මහින්දට විරුද්ධවීම තුලින් ලොකු ලැජ්ජාවක් රජයට ඇති කලා.
ඇත්තටම ඇමරිකාවත්, ඉංදියාවත්, ඊශ්‍රායලයත් මේ රජයට ලොකුවටම යුද්ධයට උදව් උපකාර කල රටවල්. මේ යුද්දයේදී ලංකාව වැරදි කලා නම්, අපරාධ කලා නම් ඒ රටවල් වුනත් එයට අනියම් ලෙස පැටලෙනවා. ඔවුන්ට ඒකෙන් බේරෙන්න බෑ.
එහෙම වුනත් මේ රටවල් ආණ්ඩුවට විරුද්ධ වුනා. ඒකෙන් පේනව ආණ්ඩුව ඉතාම අවශ්‍ය වශයෙන් කල යුතු ප්‍රජාතන්ත්‍රවාදී වැඩ කොටසක් කලේ නෑ කියන කථාව ඔවුන්ටත් ඒත්තු ගන්න සිද්ධවෙලාය කියන එක.
යුද්ධයේදී සිදුවූ වැරදි වලට වගකිවයුතු ලොක්කොම මහින්දට පොළු පහරක් එල්ල කිරීමෙන් යම් අළුත් දෙයක් දකින්නටම වෙනව. මේ රටවල් හැම විටම කියන්නේ තමන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බවයි. මෙය ධනපති සූරාකෑමේ වෙළඳ පොල පවත්වාගෙන යෑමට අවශ්‍ය කොන්දේසි ඉටු කිරිමක්.
වෙළඳ ආර්ථීකයට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් පෙනුමට හරි තියෙන්න ඕන. එහෙම නැත්නම් ධනවාදයත් නැතිවෙලා යනව. මේ උඩ තමා ඔවුන් ''ත්‍රස්තවාදය විනාශ කිරීමේ වැඩ පිළිවෙලට'' එකඟ වුනේ. ''ත්‍රස්තවාදය අවසන් කරල දෙමල ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් ලබා දෙනව.'' යන්න තමා ඔවුන් එකඟ වුන සටන් පාඨය.
මේක කියන්න ලේසියි. එය කරන්න අමාරුයි. මොකද? දෙමල සටන්කරුවා දෙමල සමාජයෙන් වෙන් කරල ගන්න බෑ. ගරිල්ලා සටන තුල මෙය විශේෂයෙන් අමාරු රාජකාරියක්. අනෙක් අතට සිංහල හමුදාව මේකට යවන්නේ ජාතිවාදී මෝහනයෙන්. ''මේ සිංහල අපගෙ රටයි'' කියන මථය උඩ. ඉංදියානු පාලකයෝ හිතා මතාම ජාතිවාදීන්ට අත හිත දුන්නේ ඔවුන්ට උවමනා ගමන යන්න. දෙමල ජාතික පිබිදීමකට ඉඩ දෙන්න ඔවුන් ලෑස්ති නෑ. ඒක ඉංදියාවේ දැනට තිඛෙන ඒකීය රාජ්‍ය රැක ගැන්මටත් උවමනා දෙයක්.
විශාල ප්‍රයත්නයක්, වියදමක් දරල සිංහල ජාතිවාදය අවුස්සලා මේ රට තුල දෙමල අනන්‍යතාවයක් නැහැ කියන උදවිය ඉස්සරහට ගෙනත් එවැනි රාජ්‍ය බලයක් ගොඩ නගල දරුණු මර්ධනයකින් විශාල යටපත් කිරීමක් කරල ඊලඟට ආපහු ප්‍රාන්ත බලතල දෙන්න කථා කරන එක ලේසි දෙයක් නොමෙයි. ඇත්තටම මහින්ද ඇතුළු පාලනයේ ඉහල ඉන්න බලධරයින් ඉන්නේ දැඩි ජාතිවාදී මථයක. ඔවුන්ගේ ගුරුවරු නලීන්, ගුණදාස වගේ අය. එතකොට රට පුරා දැඩි ජාතිවාදී මථයක් එලල දැන් එය ආපසු රෝල් කරන්න මේ පාලකයින්ට ලේසි නෑ. මොකද? ඔවුන් රජවෙලා ඉන්නේ ජාතිවාදී පෙල ගැස්ම උඩම නිසා. ඒ පදනම බිඳගෙන ඔවුන්ට ආපහු හැරෙන්න බෑ.
එලෙසට හැරුනොත් රජය අස්ථාවර වෙනව. හමුදා කුමන්ත්‍රණයක් වුනත් ඇති වෙන්න පුළුවන්. දැන් රට තුල ආර්ථීක අහේනිය ඇති කරල තියෙන්නේ. මේ අතර රජයේ ඉහල තැන්වල හොරකම, ගසා කෑම රජවෙලා. දූෂිත උදවියට විරුද්ධව හැම තැනම ගැටුම් ඇතිවෙන තත්ත්වයක් උදා වෙලා.
ඒ අතර උතුරේ ඉඩම් හා ඛනිජ සම්පත්, මුහුදු සම්පත් අල්ලා ගැනීමටත් ක්‍රියා කරගෙන යනව. මේ විදියට ඇතිවෙන උදුරාගැන්මේ වැඩ පිළිවෙල සමග පදනම් වෙලයි රජය ක්‍රියාකරන්නේ. මේ වැනි පදනමක් උඩ ඉඳගෙන මහින්දට තියා සක්කරයටවත් දෙමල ස්වපාලනයක් දෙන්න පුළුවන් කමක් නෑ. ඉංදියානු පාලකයෝ දේශපාලකයින් ඉහලින් ඒ මේ අතට කරකවන්න පුළුවන් කියලයි හිතන්නේ. ඉංදීය ජාතිකවාදය උඩ ඇති ධනපති බලය සමඟ ඒ අයට පිනුන් ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ ඉංදියානු වම පාලනය අතට ගන්න බලාගෙන ක්‍රියා නොකරන නිසා. ඊනියා දේශිය ධනපති පාලනයට මුක්කු ගැසීම ඔවුන්ගේ ඉරණම වෙලා තියෙනව. ඒ උඩ සෝනියා ඉංදීය රජය ශක්තිමත් කිරිම තම අත යටට අරගෙන ඉන්නේ.
විරුද්ධ පක්ෂය වන භාරත ජනතා පක්ෂය ඊටත් වඩා ජාතිවාදී නිසා ජනතාවට විකල්පයක් නෑ. ඒ නිසා මොන වෙට්ටුව දැම්මත් පාලනය එක තැනම තියාගන්න ඔවුන්ට හැකි වෙලා තියෙනව. මේ බලය උඩ ලංකාවත් ඒ මේ අතට ඕනා ඕනා වෙලාවට කරකවන්න පුළුවන් කියලයි සෝනියා හා මන් මෝහන් සින් හිතන්නේ. මහින්දට යුද්ධ කරන්න කිව්ව විදියටම බලය ඛෙදන්නත් දැන් ඒ අය කියනව. ඒත් මහින්දට උවමනා උනත් මේ පදනම උඩ ඒක කරන්න බෑ.
දැනටමත් ජාතිවාදී කොටස් අළුත් ගමනක් ගැන කල්පනා කරනව කියල පෙනෙනව. ඛඛඍක‍ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විරුද්ධ මථවාදය තදින් ක්‍රියාත්මක වෙමින් යන්නේ. ඉංදියාව ඇතුළු ගෝලීය බලවතුන් දැන් මහින්දට කරන බලපෑම තුලින් රට සිවිල් යුද්ධ තත්ත්වයක් කරා තල්ලූවෙන්න පුළුවන්. එයට මුහුණ දෙන්න වමට සූදානම් වෙන්න වෙනව.
එදා ෙජ්.ආර්. ගේ ඉංදු ලංකා ගිවිසුමට වඩා දෙයක් දැන් දියත් කරන්න ඉංදියාව අනෙකුත් රටවල්වල සහයෝගයෙන් උත්සාහ කරනව. සමහර විට එයට මහින්ද වෙනුවට වෙන කෙනෙක් ඇතුලෙන්ම ගොඩ නගා ගන්නට ඔවුන් උත්සාහ කරනව වෙන්න පුළුවන්.
දැනටමත් බැසිල් රාජපක්ෂ ගැන කථා බහ ඇති කරල තිඛෙනව. බැසිල් ඛඛඍක‍ ක්‍රියාත්මක කිරිම වෙනුවෙන් තදින් බැඳිල ඉන්නව කියන මථය ගොඩ නගන්නට ඉංදියානු ඒජන්තයන් ක්‍රියාකරගෙන යනව කියල සමහරු කියනව. ඒත් තවම ඒ වගේ වෙනම උද්ඝෝෂණයක් බැසිල් දියත් කරල නෑ. මහින්දගේ අනුමැතියකින් තොරව එවැනි දෙයක් කරන්නට බැසිල් යයි කියල හිතන්න අමාරුයි.
ඉංදීය බලවතුන් මෙන්ම බටහිර බලවතුන්ට දැන් මේ රට තුල දෙමල ධනපති නායකයින්ට ඉඩක් ලබා දීම අවශ්‍යයි. මොකද? ලොව පුරා මේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදී ධනපති සමාජය තුල ප්‍රශ්නයක් වී ඇති නිසා. ඇරත් මේ රට තුල ධනපති සංවර්ධනයකට දෙමල ධනපතියනුත් පාලනයට හවුල් කර ගත යුතුයි. මේ උඩ ඔවුන් දැන් ප්‍රබල වැඩ පිළිවෙලකට බහින්න ලැස්ති වෙනව කියල හිතන්න පුළුවන්.
මේ විදියට ධනපති රාමුව මේ ප්‍රශ්නය තුල ගිනි අරන්. ඒක ගැන අපට කම්පා වෙන්න දෙයක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස සඳහා සටන වමේ සටනක් හැටියට ඉතුරු වෙන එක ඉතාම පැහැදිලි සත්‍යයක්. ඒ ධනපතියන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඇත්තටම පෙනී සිටින්නේ නැති නිසා. ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය නිකම්ම කයියක් විතරයි.

Source - lankanewsweb.com

Share this article with your friends