Chitika Smowtion 468x60


Thursday, May 17, 2012

2013 අග මහ මැතිවරණයකට ජනපති සැරසේ


පළාත් සභා මැතිවරණ කිහිපයක් මෙම වසරේදී පවත්වා, ලබන වසර (2013) මැදදී හදිසි මහ මැතිවරණයක් පැවැත් වීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු අප වෙත පැවසීය.
ආර්ථීක අර්බුදයන් හා ජාත්‍යන්තර බලපෑම් තව තවත් උත්සන්න වීමට පෙර මහ මැතිවරණයක් පවත්වා තමාගේ බලය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රදර්ශනය කිරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තුව සිටී.
ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ සමුළුවට පෙර මෙම මහ මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා අදහස් කර සිටී. එම රාජ්‍ය නායක සමුළුවට සහභාගී නොවන බව කැනඩාව ඇතුලූ රටවල් කිහිපයක්ම දැනටමත් අනතුරු අඟවා තිබේ. එවැනි තත්ත්වයක් මතු වුවහොත් එය තමන්ගේ ගෞරවයට මෙන්ම ආණ්ඩුවේ පැවැත්මටද බරපතල පහරක් වන හෙයින් ඊට පෙර මහ මැතිවරණයක් පවත්වා තම ශක්තිය ජාත්‍යන්තරයට ප්‍රදර්ශනය කළ යුතු බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇත.
පසුගිය සතියේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරනු ලැබුවේ එම මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින්ය. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුලූ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට නියෝජ්‍ය අමාත්‍ය ධූර ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේද මහ මැතිවරණය ඉලක්ක කර ගනිමිනි.
එසේම, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නිල් බලකාය සෑම ආසනයක් තුළම ශක්තිමත් කරමින්, ඉදිරි මහ මැතිවරණය සඳහා නිල් බලකායේ සාමාජිකයෝ අවම වශයෙන් දෙදෙනකු ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන අතරම එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය පක්ෂ තුළ පවතින අභ්‍යන්තර ගැටුම් වර්ධනය කිරීමටත්, ඔහුට හිතවත් විපක්ෂ පෙරමුණක් ගොඩ නැගීමටත් ජනාධිපතිවරයා අදහස් කර සිටින බව මෙම තොරතුරු අප වෙත ලබා දුන් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

Source - lankanewsweb.com

Share this article with your friends