Chitika Smowtion 468x60


Thursday, May 17, 2012

අද සිදුවන ගුරු මාරුව


  • ලෝක විනාශය සීනිබෝල කතාවක්
  • ලොව පුරා බිහිසුණු හදිසි අනතුරු
  • තෙල් සම්පත ස්ථිරවම ලැබේ
  • ජනපතිට යෝධ ශක්තියක් ලැබේ
  • ධන කුවේරයන් තමන් වඩාත්ම පි‍්‍රය කරන තැනක් බවටත් ශ්‍රී ලංකාව පත්වේ
  • රටේ ජනතාවගේ බඩගින්න නිවිලා ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනට අති විශාල රුකුලක්
"ගුරු මාරුව" යනු ජගත් චන්ද්‍රසිරිගේ වේදිකා නාට්‍යයකි. යම් යම් දේශපාලන පලිගැනීම් නිසාද "ගුරු මාරු" සිදුවේ.

නමුත් අද උදේ 9.35ට සිදුවන්නේ එවන් ගුරු මාරුවක් නොවේ. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා වෘෂභ රාශියට පිවිසීම නිසා සිදුවන ගුරු මාරුවයි.

මෙය රටට සහ ජනතාවට බලපාන්නේ කෙසේද යන්න ගැන ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී මංජුල පීරිස් මහතා සිළුමිණ පුවත්පත සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකි මේ.

ග්‍රහලොව මහ බලවතා සුර ගුරු හෙවත් බ්‍රහස්පති මේ මැයි මාසයේදී අලුත් වෙනසකට මුල පුරන බවට අනාවැකි පළ වෙනවා. මැයි 17 දා මොකක්ද වෙන්න යන්නේ?

2012 මැයි 17 දා බ්‍රහස්පතින්දා පෙරවරු 9.35 ට බ්‍රහස්පති ග්‍රහයා වෘෂභ රාශියට පිවිසෙනවා. ඒ මොහොතේ ගුරු රේවතී නැකතේ පිහිටනවා. නැකත තමා ග්‍රහයකුගේ ආත්මය ලෙස සලකන්නේ. සෞරග්‍රහ මණ්ඩලයේ උත්තරීතර ග්‍රහයා වන්නේත් බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයායි. මේ ගුරු කොතරම් බලවත් ද කියතොත්, යම් රාශියක හෝ යම් ග්‍රහයෙක් ගුරුගේ දෘෂ්ටියට ලක් වුණොත් ඒ පමණින් දෝෂ භංග වී ජන්මියා බලවත් පුද්ගලයකු බවට පත් කරවනවා.

ගුරු බලවත් වූ විට ඒ ජන්මියා උගතෙක් බවට පත් වෙනවා. නීතියට ගරු කරන, පොතපත ඇසුරු කරන, ගෞරව බුහුමාන ලබන උසස් පුද්ගලයකු බවටත් පත් කෙරෙනවා. සංසාරයේ දිගු කාලයක් පිනට නැඹුරුව ජීවත්වූ අයගේ ජන්ම පත්‍රයේ ගුරු බලවත්ව පිහිටන බවත් සඳහන් කරන්න කැමැතියි.

යම් පුද්ගලයකු උපදින මොහොතේ ගුරු 1 - 4 - 7 - 10 කියන කේන්ද්‍රස්ථානයක පිහිටන අතරේ ලග්නය මීන හෝ ධනු වුණොත් ඒ පුද්ගලයාට ගුරු හංස යෝගය උදා වෙනවා. ජන්ම සමයේ ගුරු සමඟ සඳු පිහිටියොත් මහ බලගතු ගජකේෂරී යෝගය උදා වෙනවා. මේක මුදුන් මල්කඩක් බඳු රාජයෝගයක්. මේ යෝගයෙන් උපන් ශ්‍රේෂ්ඨ රාජ්‍ය නායකයෝ ලෝකයේ ඉන්නවා. මනුස්සයාට අත දිග හැර සුබපල දෙන ග්‍රහයෙක් හැටියටත් ගුරු හඳුන්වන්න පුළුවන්.

ඒ වගේ ම මිනිසාගේ බාහිර හා ආධ්‍යාත්මික ගුණය ඇති කරවන්නේත් මේ ගුරු ග්‍රහයායි. ගුරු පුත්‍රකාරකයි. මේ වගේ ම ගුරු නීච වුණොත් මිනිසාගේ ගුණ ධර්ම පිරිහෙන තැනට කටයුතු යෙදෙනවා. ඒ විතරක් නෙවෙයි ජන්ම පත්‍රයේ ගුරු බලවත් ව පිහිටියොත් ඒ පුද්ගලයා ඉතාම කුඩා තැනක සිට උසස් තත්ත්වයකට පත් වෙනවා. ගුරු ගෝචර ගමනේදී සුබ රාශියකට පිවිසුණොත් නිලතල, නම්බුනාම, ධනය, කීර්තිය ආදී සියලු යස - ඉසුරු ලබා දෙන බවත් ඇත්ත. මෙන්න මේ ගුරු ග්‍රහයා තමා මැයි 17 දා වෘෂභ රාශිගත වෙන්නේ.

ගුරු ග්‍රහයා වෘෂභ රාශියට පිවිසීම නිසා මනුෂ්‍යයාට, රටට, ලෝකයට, මොන වගේ විපාක ද අත් විඳින්න සිදු වන්නේ?

විශ්ව කේන්දරයේ දෙවැන්නටයි ගුරු පිවිසෙන්නේ. මෙය ශ්‍රී ලංකාවට ඉතාමත්ම හොඳ කාලයක් බව කිව යුතුයි. ලංකා කේන්ද්‍රය කුම්භ. ඒ අනුව ගුරු පිවිසෙන්නේ පළමු වැනි කේන්ද්‍රස්ථානයටයි. එය විශේෂයෙන් ම ශ්‍රී ලංකාවට සුබදායක ග්‍රහ යෙදුමක්. වෘෂභ රාශිගත වන ගුරු එහි සිට පස්වැන්නට ත්‍රිකෝණාකාර දෘෂ්ටියක් හෙළනවා. මේ සෙනසුරුගෙන් එල්ල වෙන අනිටු දෝෂ තිබුණා නම් ඒ සියල්ලම භංග කරනවා. සමස්තයක් හැටියට ගත්තොත් ශ්‍රී ලංකාවාසීන්ට හා රටට, ඉතා වාසනාවන්ත ග්‍රහ මාරුවක් හැටියට මෙය හඳුන්වන්න පුළුවනි.

සම්ප්‍රදායක ඡ්‍යොතිෂයේදී ගුරු හා සිකුරු පරම හතුරෝ හැටියටයි හඳුන්වන්නේ. දැන් ගුරු යන්නේ සිකුරු අධිපති වෘෂභ රාශියටයි. එහෙම නම් සතුරා ගේ ගෙදරදී වාසනාව පෑදෙන්නේ කොහොමද?

ඇත්ත. “ගුරු ශුක්‍ර සදා වෛරඞ” කියලා තමයි කියන්නේ. නමුත් ඒ වෛරය ගණන් ගත යුතු නෑ. පන්සල් දෙකක හෝ නිකාය දෙකක හෝ නායක ස්වාමීන් වහන්සේ දෙනමක් අතර මත ගැටුමක් පවතිනවාය කියා හිතන්න. උසස් දැනුම, ගුණ ධර්මවලින් යුතු නිසා ඒ මත ගැටුම දුර දිග යන්නේ නෑ. ගුරු - සිකුරු සතුරුකමත් අන්න ඒ වගෙයි.

මම මේකට තව උදාහරණයක් දෙන්නම්. රාම - රාවණ යුද සමයේදී රාමා - සීතා යම් අරමුණකට වනයට යනවා. කාලය ගතවෙද්දී සීතා දේවියගේ ලග්නයට ගුරු පිවිසෙනවා. ගුරු ලග්නයට ආවොත් බව භෝග සම්පත් ඇතිව රාජ භවනක ජීවිතය ගෙවන්න පින පෑදෙනවා. එදා රාවණා රජ්ජුරුවෝ සීතා පැහැර ගෙන එන්නේ රාජ භවනකටයි. මොන තරම් දුෂ්කර අවස්ථාවක වුණත් ගුරු සුබ රාශියකට පිවිසුණොත් සුබ විපාක දෙන බවට කිසිම සැකයක් නෑ.

2011 නොවැම්බර් මාසයේදී ශනි තුලාවට පිවිසුණා. ඒ ග්‍රහ මාරුවත් සමඟ මේ ගුරු මාරුව සම්බන්ධ වන්නේ මොන ආකාරයට ද?

එදා සෙනසුරු තුලාවට ගියේ තාවකාලික ගමනක් හැටියටයි. මැයි 16 දා ශනි නැවත කන්‍යා රාශියට පිවිසෙනවා. රාශියේ අග්ගිස්සටයි ශනි එන්නේ. මෙන්න මේ වෙලාවේ ඒරාෂ්ඨකයක් උදා කරනවාය කියලා ඡ්‍යොතිෂයේ සඳහන් වුණත් මම කලින් පෙන්වා දුන් ආකාරයට ගුරු ග්‍රහයාගේ දෘෂ්ටිය වැටීම නිසා අර දෝෂ සියල්ල භංග වෙනවා.

රටේ නායකයන්ගේත්, ජනතාවගේත් මහත් පිනකටයි මැයි 17 දා ගුරු වෘෂභයට යන්නේ. වෘෂභයේ සිට පස් වැනි කේන්ද්‍රස්ථානය දකිනවා. ගුරු ශනි දැකීම නිසා සෙනසුරුගේ වක්‍ර ගමන නිසා හට ගන්නා දෝෂ සියල්ලම නිශේධනීය කරනවා. මේක වෙස් වලාගත් ආශිර්වාදයක්. නමුත් දේශපාලන කේන්ද්‍රයේ කුමන්ත්‍රණ හට ගැනීමට යම් ඉඩක් ඇති බවත් ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීමට නායකකාරකාදීන් වග බලා ගත යුතු බවත් සිහි තබා ගැනීම මැනවි.

2011 නොවැමිබරයේදී සෙනසුරු තුලාවට ගියේ තාවකාලිකවයි කියා ඔබ කීවා. එහෙනම් ශනි නියමාකාරයෙන් තුලාවට යන්නේ කවදාද?

2012 අගෝස්තු 04 දා පෙරවරු 8.44 ට ශනි ග්‍රහයා තුලා රාශියට පිවිසෙනවා. සෙනසුරුගේ රාජ භවන, උච්ඡභවන වන්නේත් තුලා රාශියයි. මෙයින් පසුව රටේ වැඩ කරන ජනතාවට සහනදායක කාල පරිච්ඡේදයක් උදා වෙනවා. ගුරු විශ්ව කේන්දරයේ දෙවැන්නටත්, ලංකා කේන්ද්‍රයේ පළමුවැන්නට පැමිණීමත් නිසා මෙතෙක් පැවතුණු මහජන කැලඹීම්, නොසන්සුන්තාවත් සමනය වෙනවා විතරක් නෙවෙයි මහජනතාව අතර ධාර්මික සිතුවිලි පැතිර යන්න ගන්නවා. ජනතාව සහ ආගමික ස්ථාන අතර සමීප සබඳතා ඇති වෙනවා. ආගමික ප්‍රබෝධයක් දකින්න ලැබෙයි. රාජ්‍ය නායකයා ඇතුළු රට වැසියන්ට දෙවියන්ගේ ආශිර්වාදයත් නො අඩුව ලැබෙනවා.

මෙවර අලුත් අවුරුදු නැකැත් යෙදුණේ අවරටයි. ඒ අනුව අවුරුද්දම අවරට යයි කියලා සමහර ඡ්‍යොතිෂවේදියොත් කිව්වා. මොකක්ද ඔබේ මතය?

ඡ්‍යොතිෂයේදී නැකත ඉතා ප්‍රබලයි. නැකත කියන්නේ පංචාංගයකි. දිනය, නැකත, තිථිය, යෝග යනාදිය එක්වීමෙන් නැකත සෑදෙනවා. දිනයෙන් අරුත් වන්නේ ආයුෂ. අවුරුදු නැකත සෙනසුරාදාට යෙදුණා නම් ආයුෂ ගැන කතා කරන්න දෙයක් නෑ. යෝගයෙන් නිරෝගී බව ඇතිවෙනවා. කර්මයෙන් කාර්ය සිද්ධ වෙනවා.

ඔන්න ඔය විදිහට යෙදෙන නැකතෙන් මිනිසාගේ පව් දුරු කිරීමයි අදහස් කරන්නේ. අලුත් අවුරුදු උදාවට අරගෙන තිබුණෙත් ඒ වගේ සියුම්ව ගත් නැකත් බවයි මගේ මතය, ඔයිට වඩා හොඳ නැකත් ගන්නත් කිසිම ඡ්‍යොතිෂ සිද්ධාන්තයක් නෑ. අවුරුදු නැකත්වල කිසිම දෝෂයක් නෑ. අවුරුදු නැකත් අසුබයි කියා එක් කෙනෙක් දෙන්නෙක් කීවාට ඒක පුහු මතයක්. අලුත් අවුරුදු උදාවෙන් පසුව කිසියම් සංහිඳියාවක් දකින්න ලැබෙනවා.

මේ කාලයේදී රාහු සහ කේතු ගෙන් රටට සහ ජනතාවට එල්ල වන්නේ එතරම් හොඳ කල දසාවක් නොවන බවටත් මතයක් තියෙනවා?

රාහු - කේතු දෙදෙනාම ආපස්සට ගමන් කරන ග්‍රහයන්. දෙසැම්බර් 23 දා පස්වරු 5.27 ට තුලා රාශිගත වෙනවා. රාහු නීචයෙන් භංගවෙලා යන ගමන නිසා. රටටත් ජනතාවටත් කිසිම අසුබ විපාකයක් ගෙන දෙන්නේ නෑ. ග්‍රහයෙක් රාශියෙන් රාශියට යම් යම් කැලඹීම් හට ගන්නවා. නමුත් ඒවා බරපතළව ඉස්මතු වෙන්නේ නෑ.

ඔබ කලින් කීවා ගුරු වෘෂභයට යෑම වෙස්වළා ගත් ආශිර්වාදයක් කියලා. මේක සාමාන්‍ය ජනතාවගේ හිතට සහ ඇඟට දැනෙන්නේ කොහොමද?

ඡ්‍යොතිෂ කේන්ද්‍රයේ මට අවුරුදු විසි ගණනක අත්දැකීම් තියෙනවා. පොතපත වගේ ම මගේ අත්දැකීම් සහ පර්යේෂණවලින් ලබාගත් දැනුමත් මෙහිදී වැදගත් වෙනවා. මම බය නැතිව අනාවැකි කියන්නෙත් ඒ නිසයි. මේ රටේ මා තරම් අනාවැකි කී ඡ්‍යොතිෂවේදියෙක් නැති බවත් මට අවිවාදයෙන් කියන්න පුළුවන්. මා දුටු දෙයක් තබා යම් පුද්ගලයකුගේ කේන්ද්‍රයේ ගුරු සහ ශනි එකට පිහිටනවා නම් කවදාවත් ඒ පුද්ගලයාගේ අත මිට හිඟ වෙන්නෙ නෑ. හැම විටම ඔහු සතුව ධනයක් පවතිනවා.

ගුරුට හා ශනිට එකට ඉන්න අමාරු වුණත් ඒ ග්‍රහයන් දෙදෙනා සප්තම දෘෂ්ටියකට එළඹීම නිසා මේ කාලයේදී රටේ ජනතාවගේ අත මිට සරුවෙන, ධනය ගැවසෙන වාසනාවන්ත ලැබීම් පෙන්වනවා. අන්න ඒක ගුරු මාරුවෙන් ඇඟට දැනෙන ප්‍රතිඵලයක් බවට පත් වෙයි. පුද්ගලයන් සහ ව්‍යාපාර, කර්මාන්ත යනාදිය දියුණුවෙන් දියුණුවට පත් වෙනවා. හැබැයි මොන ග්‍රහයා මොන රාශියට මාරු වුණත්, ග්‍රහ මණ්ඩලයේ නව ග්‍රහයෝම උච්ච වුණත්, කම්මැලි මිනිස්සුන්ට නම් ඒ වාසනාව උදා වෙන්නෙ නෑ.

අවකල් ක්‍රියා කරන අයටත් පින පල දෙන්නෙ නෑ. උත්සාහවන්ත අයට, තමන්ගේ ඉලක්කයට යන්න වෙර දරන අයට නම් මේ මැයි 17 න් පසුව හොඳම හොඳම කාලයක් උදා වෙනවා. විශේෂයෙන් ම කියන්න ඕනෙ ධාර්මිකව ජීවිතය ගෙවන අතරේ රටට දැයට සේවයක් කරන්න ඕනෑ ය කියා වෙහෙසෙන හැම දෙනාටම මේ උදාවෙන්නේ අතිශයින්ම වාසනාවන්ත කාලයක්.

2012 වසර පිළිබඳව සමහර අනාවැකි පළ වුණා. ලෝක විනාශයක් ගැනත් කියවුණා. මොකක්ද ඔබේ මතය?

ලෝකයේ යම් විනාශකාරී සිදුවීම් හට ගන්න පුළුවන්. ඒත් එය ලෝක විනාශයක් නොවෙයි. මේකට හේතු වෙන්නේ යුරේනස් සහ කුජ කියන ග්‍රහ දෙපළ පොළවට අධිපති බවක් පළ කරනවා. අඟහරු ගෙන් තමා වැඩිම බලපෑම එල්ල වන්නේ. මේ අඟහරු කරන්නේ මොකක්ද? කොහොම ද? කවදා ද? කියන කාරණා හරියට නිශ්චය කරන්න අමාරුයි. මනුෂ්‍යයකු හදිසි අනතුරකට තල්ලු කරලා ලේ සොලවන්න ක්ෂණිකව අඟහරු ක්‍රියාත්මක වෙනවා.

අනිත් පැත්තෙන් ශනි කියන්නේ පාෂාණ සමඟ සම්බන්ධ ග්‍රහයෙක්. මේ කුජ - ශනි සංයෝගය නිසා පුද්ගලයන් ගේ රුධිර පීඩනය පවා ඉහළ නංවනවා. මේ අතරට යුරේනස් ගේ බලපෑම එල්ල වුණහම භූ චලන, වැනි ස්වාභාවික විපත් ඇති වීම ඉහළ යනවා. මේ තමා සොබාදහමේ හැටි. නමුත් ඒ සංසිද්ධියට මේ ගුරු මාරුවේ සෘජු සම්බන්ධයක් නෑ. නමුත් යම් විපතක් හට ගන්න තියෙනවා නම් ගුරු මාරුව නිසා හානිය සැලකිය යුතු මට්ටමකින් පහළ යෑම නම් ඇත්ත.

නමුත් මේ කාලයේදී දේශීයව හා විදේශීයව බරපතළ හදිසි අනතුරු හට ගන්න තියෙන ඉඩ වැඩියි. අධිවේගී මාර්ගවල වුණත් ඉතා පරෙස්සමෙන් මෝටර් රථ ධාවනය කිරීමට රියදුරන් වග බලා ගැනීම මැනවි.

ලෝක විනාශ කතාව අමතක කරමු. කාලගුණය විපරීතයි. මොකක්ද ඔබ දකින හේතුව?

මේ සිද්ධිය ඡ්‍යොතිෂ ඇසින් දැක්කොත් මෙහෙමයි. ඉදිරියේදී සෙනසුරු සිටින තැනට අඟහරු එනවා. කුජ - ශනි යෝගය යෙදෙනවා. මේ කාලවලදී විශේෂයෙන්ම කාලගුණ විපර්යාස ඇති වෙන්න පුළුවන්. නමුත් ඔය ලෝක විනාශය නම් සීනිබෝල කතාවක්. නමුත් කුජ ශනි යෝග කාලයේදී ධාර්මිකව ජීවත්වීම, නම් ඉතා වැදගත්. නමුත් ලොව පුරා බිහිසුණු හදිසි අනතුරු වාර්තා විය හැකි කාලයක් බව මතක තබා ගැනීම වැදගත්.

ක්ෂණික ලෝක විනාශයක් නෙවෙයි. මේ කෙටි කාලයකදී භූ කම්පන විශාල ගණනක් වාර්තා වුණා. අනතුරු ඉහළ යනවා. කාලගුණ පෙරළි නිසා හට ගන්නා හිම, සුළි සුළං, ගංවතුර වගේ ස්වාභාවික විපත් එන්න එන්නම වැඩියි. මොකක්ද මේ ලෝකයට වෙන්න යන්නේ කියලා අහනවා. ඔය තත්ත්වය තව කොපමණ කාලයක් පවතිනවා ද?

ඔබ පෙන්වා දෙන කරුණු ඇත්ත. මේ විපර්යාස 2012 ට විතරක් සීමා වෙන්නෙත් නෑ. 2014 අගෝස්තු දක්වා ඔය විපර්යාස දිගින් දිගට දකින්න ලැබෙයි. අපි 2012 අවදානම් කියලා කතා කළාට 2014 ඊටත් වඩා අවදානම්. මොකද සෙනසුරු වෘශ්චික රාශියට ගිය විටයි ඒ තත්ත්වය හට ගන්නේ. වෘශ්චික අඟහරුට අයත් රාශියක්. හැබැයි මේ හැම ගැටලුවකටම පුද්ගලයා තුළ ආධ්‍යාත්මික ගුණ වගාව ඇති කරගන්න ඕනේ. ජනතාව පිනට - දහමට නැඹුරු වීමත් වැදගත්. බෝධි පූජා, දේව පූජා ආශිර්වාද පූජා මඟින් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

මේ වසරේදී බුධ ග්‍රහයා ගේ හැසිරීමත් අමුතුයි. මේ නිසා උගතුන්ට - බුද්ධිමතුන්ට අපල කාලයක් කියලා මත පළ වෙලා තිබුණා?

නෑ... ඒක අමූලික බොරුවක්. ග්‍රහ මණ්ඩලයේ පුංචා හැටියට හඳුන්වන බුධ ග්‍රහයා මැයි 05 දා රාත්‍රී 9.06 ට නීචයෙන් මිදෙනවා. අන්න ඒ නිසා උගතුන්ට - බුද්ධිමතුන්ට, ග්‍රන්ථ කර්තෘවරුන්ට ඉතාමත්ම හොඳයි. මතක තබා ගන්න මේක මාධ්‍යවේදින්ටත් හොඳ කාලයක්. තිබුණ අපල පවා දුරු වෙලා යනවා. මෙයින් පසුව ජූනි 05 දා බුධ මිථුන රාශියට ගිහින් භද්‍රා නම් පංච මහා පුරුෂ යෝගය උදා කරවනවා. බුධ මිථුනයේ බලවත් වෙනවා. මෙන්න මේ කාලයේදී මාධ්‍යවේදින් රාජ්‍ය නායකයන්ගේ සම්මානයට පාත්‍ර වෙයි. මේ රටේ සහ ලෝකයේ උසස් පොතපත පළ වෙන්නට ගනියි.

සාහිත්‍ය කලාවේ ප්‍රබෝධයක් ඇතිවන බව ද කියන්නෙ?

ඇත්තෙන්ම ඔව්. මාර්ටින් වික්‍රමසිංහ වැනි සාහිත්‍ය සූරීන් මේ රටින් තවත් බිහි වෙනවාට කිසිම සැකයක් නෑ.

එක්තරා පුවත්පතක පළ කර තිබුණා මැයි 17 ගුරු මාරුව නිසා රාජ්‍ය පාලකයන්ට වැරැදි උපදෙස් ලැබෙන නිසා ආණ්ඩුව පිස්සු කෙළින් තත්ත්වයකට පත් වෙනවා ය කියලා. දේශපාලන පැත්තෙන් ඔබ ගුරු මාරුව දකින්නේ කොහොම ද?

ඔය කතා අහන කොට මට නම් හිනා යනවා. අපි ජනාධිපතිතුමා ගැනම කතා කරමුකෝ. ඒ මේ රටේ වාසනාවට පහළ වුණ පින්බර රාජ්‍ය නායකයා. එතුමා ගුරු මහා දශාව ගෙවමින් සිටිනවා. ලග්නයෙන් 9 වැන්න පෙර පින් ගැන කියවෙන ස්ථානයට මහා දශාධිපතියා පැමිණීම උත්පත්තියෙන් කෝටියක් දෝෂ භංග කරනවා.

එවැනි බලයක් විහිදුවන ගුරු ග්‍රහයා 9 වැන්නට පැමිණීමත් සමඟ ම මීට පෙර දශක තුනක ගිනිදැල් නිවුණා වගේ ම රටේ ජනතාවගේ බඩගින්න නිවිලා ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනට අති විශාල රුකුලක් ලබා දෙනවා. මේ ගුරු මාරුවත් සමඟම රටට සෞභාග්‍ය උදා කරවන්න ජනාධිපතිතුමාට යෝධ ශක්තියක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන සතුරන්ට නපුරු විපාක විඳින්න ලැබෙන හැටිත් දකින්න ලැබෙයි. ශ්‍රී ලංකාවේ බලය පින්බර බව ලෝකයටම පෙනෙන්න ගනීවී.

ඔබ මේ අනාවැකි පළ කරන්නේ කොහොම ද? මොකක්ද ඔබේ ක්‍රමවේදය?

ලෝකායතන ඡ්‍යොතිෂය හා රටේ කේන්දරය පදනම් කර ගන්නවා. ජපානයේ බිහිසුණු සුනාමිය හට ගැනීමට මාස හතකට කලින් මම ඒ බව මෙරට ඉංගී‍්‍රසි පුවත්පතක් මඟින් ජපන් තානාපති කාර්යාලයට දැනුම් දුන්නා. විශ්ව කේන්ද්‍රයේ මේෂ රාශියත් ශ්‍රී ලංකා කේන්ද්‍රයේ කුම්භ ලග්නයත් පදනම් කරගෙන මා ශ්‍රී ලංකාවේ අනාගතය දකිනවා. මේ රටට හතුරුකම් කළ හා නොකළ රාජ්‍ය නායක නායිකාවන් දෙපක්ෂයම අනාගතයේ මෙහි සුහද සංචාරවල යෙදෙනවා.

ලෝකයේ මහා ධන කුවේරයන් තමන් වඩාත්ම පි‍්‍රය කරන තැනක් බවටත් ශ්‍රී ලංකාව පත් වෙනවා. මේවා මා මීට පෙර සඳහන් කළ අනාවැකි. ශ්‍රී ලංකාව ඉදිරියට තව තවත් බැබලෙන්න ගන්නවා. කෘෂිකර්මාන්තය, සංචාරක සහ භූමි සම්පත්වලින් අපේ වාසනා ගුණය තවත් ඉහළ නඟීවී. තෙල් සම්පත ස්ථිර වශයෙන්ම ලැබෙන දෙයක්.

2011 දී ශනි තුලාවට ආවේ වසර 30 කට පසුවයි. ත්‍රස්තවාදී කරදරයත් වසර 30 ක් මේ රටේ පැවතුණා. ඒ දශක තුන සෙනසුරු අපලයට හසුවුණා ද දන්නේ නෑ. නමුත් ඉදිරියට ඔබ දකින්නේ කොහොම ද?

මේ නුදුරු අනාගතයේ නම් එවැනි අවදානමක් පෙන්නුම් කරන්නේ නෑ. හොඳ දේ වපුරලයි තියෙන්නේ. අනාගතයේදී හොඳ අස්වැන්න නෙළා ගන්න ලැබෙයි. අපේ දරුවන්ට දරුවන්ගේ දරුවන්ට ඉතා සුබ අනාගතයක් පැහැදිලිව දකින්න ලැබෙනවා. හැබැයි තව වසර 50 කට පසුව වුණත් අපි ජාතියක් හැටියට මුවෙක් වගේ නිතර සෝදිසියෙන් හැසිරීමයි වඩා වැදගත් වෙන්නෙ. අවධානය සහ ශක්තිය නිරතුරුව පවත්වා ගැනීම හැම අතින් ම හොඳයි.

ප්‍රකට පුද්ගලයින්, සාහිත්‍යධරයින්, දේශපාලනඥයින්, කලාකරුවන් වැනි අයට අපල කාලයක් ගෙවන්න වෙනවා ය කියලා තවමත් ඇතැම් ඡ්‍යොතිෂවේදීන් මත පළ කරනවා.

එහි යම් සත්‍යයක් තිබුණා. නමුත් මේ සාකච්ඡාව පුවත්පතේ පළ වෙත්දී සමහර විට ඒ අපල කාලය හමාර වෙලා තියෙන්නත් පුළුවන්. මොකද 2012 මැයි 05 / 2012 මැයි 16 / 2012 මැයි 17 කියන දවස්වල සිදුවෙන ග්‍රහ මාරු ත්‍රිත්වය සමඟම ඒ අපල කාලය සහමුලින්ම ඉවත් වෙනවා. නැවත කියන්න කැමතියි ඒ සියලු අපල දැන් අවසන්. හැමෝටම සතුටු වෙන්න පුළුවන් කාලයක් උදා වෙනවා.








Source: http://www.gossip9.com/2012/05/blog-post_17.html#ixzz1v8YIWS00

Share this article with your friends