Chitika Smowtion 468x60


Friday, May 25, 2012

එන්එස්බී මහා වංචාවේ මොළකරු කව්දැයි පී.බී.ට දුන් රහස්‍ය වාර්තාවකින් හෙළිවේ


ආන්දෝලාත්මක ජාතික ඉතිරිකිරිමේ බැංකු-ද ෆීනෑන්ස් ගණුදෙනුවේ මහ මොළකාර වංචාකරුවා වෙන කිසිවෙකුවත් නොව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් ලෙස්ලි කබ්රාල් බව මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් ජාතික ඉතිරිකිරිමේ බැංකු අධ්‍යක්ෂක මණ්ඩලය නියෝජනය කල භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් පී.ඒ අබේසේකර මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර වෙත ලබා දී ඇති රහස්‍ය වාර්තාවක සදහන් කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු 
අප වෙබ් අඩවිය වෙත අණාවරණය කළේය.

ආචාර්ය පී.බී ජයසුන්දර මෙම ගණුදෙනුව අවලංගු කරන ලද්දේ පී.ඒ අබේසේකර මහතා ඔහු වෙත ලබා දුන් මෙම රහස්‍ය වාර්තාව පදනම් කරගෙන බවද ඉහත කී ජ්‍යෙෂ්ඨ නිලධරයා හෙළි කෙළේය.

මෙම ඉතිරිකිරිමේ බැංකු අධ්‍යක්ෂක මණ්ඩලය සම්පූර්ණයෙන් නියෝජනය කර ඇත්තේ මහ බැංකු අධිපති කබ්රාල් ගේ හෙංචයියෝ වෙති. මොවුන් පසුගිය වසර දෙක තුලම බැංකුව තුල ක්‍රියා කර ඇත්තේ ද ජාතික ඉතිරිකිරිමේ බැංකුව තමන්ගේ පුද්ගලික බූදලයක් ලෙස සලකාය.

රහස්‍ය වාර්තාවේ කරුණු කරුණු අප වෙත හෙලි කළ ජ්‍යෙෂ්ඨ නිළධාරියා මෙසේ කීය.

"මේ හැමෝම කබ්රාල්ගේ පදයට බැංකුවේ අධිපත්‍ය තමන් සතු කර නටා තිඛෙනවා. මෙම වංචා සහගත ගනුදෙනුවට බැංකු අධ්‍යක්ෂක මණ්ඩලය තුල එරෙහි වී ඇත්තේ මේ භාණ්ඩාගාර නියෝජිතයාත් බැංකු සාමාන්‍යාධිකාරි වරලත් ගණකාධිකාරි හෙන්නායක බණ්ඩාරත් පමනයි. සභාපති අගවිනිසුරු ස්වාම්පුරුෂයා ප්‍රදිප් කාරියවසම් හා සාමාන්‍යාධිකාරි වරලත් ගණකාධිකාරි හෙන්නනායක බණ්ඩාර පසුගිය කාලය පුරා නිරන්තරයෙන් බැංකු අභ්‍යන්තරයේ ගැටුම් ඇති වී තිඛෙනවා. මේ නිසා පසුගිය මාස දෙක තුනක කාලයක ඉදලා සාමාන්‍යාධිකාරිවරයාගේ බලතල ලබා දී තිබුනේ අතිරේක සාමාන්‍යාධිකාරි පී.එම් කේ බණ්ඩාරටයි."

මේ අතරේ ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් මුදල් ලේකම් ආචාර්ය ජයසුන්දර සඳහන් කෙළේ ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ වැඩ බලන සභාපති ලෙස එහි අධ්‍යක්ෂක මණ්ඩලයට නිල බලයෙන් පත් වෙන තැපැල්පතිවරයා පත් කර ඇති බවයි. පවතින තත්ත්වය අනුව ඉදිරියේ පුරප්පාඩු වන්නේ තැපැල්පති ධුරයද නැතිනම් ජාතික ඉතිරිකිරිමේ බැංකු සභාපති ධුරයද යන්න ගැන තමා විමසිල්ලෙන් පසු වන බව ඔහු සිනා මුසුව පැවසීය.

අප පෙර ලිපියකින් සඳහන් කර සිටි ආකාරයට මහ බැංකු අධිපතිවරයා හා බ්‍රවුන්ස් සමාගම් සමුහයේ අජිත් දේවසුරේන්ද්‍ර හා අනුර ප්‍රනාන්දු අතර සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනයේ කිරීමේ සිට විවිධ කූට ව්‍යාපාරික ගනුදෙනු සඳහා අනොන්‍ය වශයෙන් දැඩි සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර එයින් මෙම පිරිස් හා ආණ්ඩුවේ බලවන්තයන් විශාල කොමිස් කූට්ටි ඩැහැ ගත් බව වාර්තා වේ.

ද ෆිනෑන්ස් සමාගම තම බිඳ වැටෙන කිර්තිනාමය රැක ගැනීම සඳහා මේ අතරේ ඊයේ සවස මාධ්‍ය හමුවක් කැඳවා තිබු අතර මේ සඳහා එහි අධ්‍යක්ෂක මණ්ඩලය නියෝජනය කරන ඉහත කී කූට ව්‍යාපාරිකයින් දෙදෙනා වන අජිත් දේවසුරේන්ද්‍ර හා අනුර ප්‍රනාන්දු සහභාගි නොවීම කැපී පෙනෙන්නකි.

මුදල් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ගණකාධිකාරි නිවාඩ් කබ්රාල් හා මුදල් ලේකම් වරයා අතර පසුගිය කාලයේ ආර්ථීක කළමණාකරණ සිද්ධාන්ත මුළික කර ද්වන්ද යුද්ධයක් පැවති අතර ඒ යුද්ධයේ උච්චතම අවස්ථාව මෙම ඉතිරිකිරීම් බැංකු ගනුදෙනුව බවද මේ අතරේ රජයේ ආරංචි මාර්ග කියයි.

Share this article with your friends