Chitika Smowtion 468x60


Friday, May 25, 2012

ගේම් ගහන්න ගිය එස්බී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිවේ


නව ඉසෙඩ් ස්කෝර් ක්‍රමයක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අවසර දෙන්නැයි, උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායක මහතා මෝසමක් ගොනු කරමින් කළ ඉ
ල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ඊයේ ප්‍රතික්ෂේප කළේය. සරසවි වලට සිසුන් බඳවා ගැනීමට උසස් අධ්‍යාපන ඇමැතිට අයිතියක් නැති බවද ශ්‍රේෂ්ඨාධිකරණය පැවසීය.

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා එම මෝසම ගොනු කර තිබුණේ මඤ්ඤං ප්‍රතිඵල නිකුත් කරමින් 2011 වසරේ පැවැත් වු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල වැරදි බව පවසමින් සහ එම ප්‍රතිඵලය අහෝසි කරන ලෙස ඉල්ලා සිසුන් 16 දෙනෙකු සහ ලංකා ගුරු සංගමය ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාග කර එහි තීන්දුව දීමට දින නියම කර තිබියදීය.

ප්‍රතිඵල වැරදි බවට වූ නඩුව ජනවාරි 23 වැනිදා ගොනු කර මැයි 10 වැනිදා විභාගයට ගෙන ඇති බව පැවසූ අධිකරණය සඳහන් කළේ, කිසියම් අදහසක් ප්‍රකාශ කිරිමට තිබුණේ නම් ඒ අතරතුර කාලයේදී ඊට ඉදිරිපත්වීමට උසස් අධ්‍යාපන ඇමතිවරයාට අවකාශ තිබූ බවයි.

එසේ නොකර නඩුවේ තීන්දුව සඳහා දින නියම කර තිබියදී මෙවැනි මෝසමක් දැමීමට උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට කිසිදු බලයක් නොමැති බව විනිසුරු මඩුල්ල පැවසීය.

විනිසුරු මඩුල්ල වැඩිදුරටත් පෙන්වා දුන්නේ විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමට උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට කිසිදු අයිතියක් නැති බවයි.

එහි අයිතිය ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට බව ද අධිකරණය වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ උත්සාහය වී ඇත්තේ, අධිකරණයට මෙය ඈඳා ගනිමින් ඉසෙඩ් ස්කෝ ක්‍රමයක් සකස් කිරීම සඳහා තමන් කමිටුවක් පත් කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලැබුණු නිසා බව ප්‍රකාශ කිරීමට යැයි ද විනිසුරු මඩුල්ල පවසා තිබේ.

මෙම ඉසෙඩ් ස්කෝර් ක්‍රමය වැරදි සහගත බවට ගොනු කෙරුණු පෙත්සම විභාග කර එහි තීන්දුවදීමට දින නියම කර තිබියදී මෙවැනි මෝසමක් දැමීම නොකළ යුතු බවත් එවැනි මෝසමක් සඳහා අවසරදීමට මෙම අධිකරණය කිසිසේත් සුදානම් නැති බවත් අධිකරණය අද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, නිමල් ගාමිණි අමරතුංග සහ කේ. ශ්‍රිපවන් යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම මෝසම සලකා බැලිණ.

Share this article with your friends