Chitika Smowtion 468x60


Thursday, November 8, 2012

ආයේ අලුත් ගුවන්විදුලි නාළිකාවලට දෙන්න තරංග නැහැ.

පසුගියදා ගුවන් විදුලි නාළිකා සඳහා නව තරංග සංඛ්‍යාතයන් හඳුන්වා දීමෙන් පසු නැවත අලුතින් ගුවන් විදුලි නාලිකා ආරම්භ කළ නොහැකි බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා.

මේ අනුව අලුත් රේඩියෝ නාලිකාවක් සඳහා ඉඩක් ලැබෙන්නේ තිබෙන නාළිකාවක් අවලංගු වුවහොත් පමණි.

කෙසේ වුවද දේශලන සබඳතා සහිත මාධ්‍ය ජාලයයකට ඔවුන්ගේ දිගු කලක් වසා දමා තිබූ නාලිකාවක් සඳහා මෙම ක්‍රමය ඇතිවීමට පෙර හදිසියේ ඉඩ ලබාගැනීමට හැකි වුණා.

මේ පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසන්නේ මෙවැන්නක්

මේ නව සංඛ්‍යාත ලබාදීමේ දී සාධාරණ ලෙස එම කටයුත්ත සිදු කිරීමට හැකි වුණාද?
ඔව්. ඉතාම පැහැදිලිවම විනිවිදභාවයකින් යුතුවයි අප මෙය කළේ. විශේෂයෙන්ම නාළිකා හිමියන් සමඟ එකඟත්වයට පැමිණ මෙරට ප්‍රථම ගුවන්විදුලි සේවාව වූ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට මුල් ස්ථානයත් ඉන්පසු ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් බලපත්‍ර ලබාගත් අනුපිළිවෙළ අනුව ඒ ඒ නාළිකාවලටත් සංඛ්‍යාත බෙදා දුන්නා.

රටටම ඇසෙන ලෙස සේවා සපයන්න ඔවුන්ට විකාශන පහසුකම් සැපයෙන්නේ කෙසේද?
ශ්‍රී ලංකාව පුරා කුලුනු 6000ක් පිහිටුවා තිබෙනවා. ඕනෑම නාළිකාවකට තමන්ට අවශ්‍ය අයුරින් ඒ කුලුනුවලට තම සම්ප්‍රේෂණ යන්ත්‍ර සවිකරන්න අවස්ථාව තිබෙනවා.

මේ සංඛ්‍යාත ලබා දුන් පසු ඒවායේ පූර්ණ හිමිකම නාළිකාවලට ලැබෙනවාද?
මේ සංඛ්‍යාත මේ රටේ ජනතාවට අයිති දේවල්. ඒවා නිකුත් කරන්නේ වාර්ෂික පදනමක් මත කිසිම නාළිකාවකට අයිතියක් නෑ ඒවා වැරැදි ලෙස භාවිත කරන්න. ඒ වගේම ඒ සංඛ්‍යාත පරිපාලනය කිරීමේ බලතල විදුලි සංදේශ නියාමන කොමිසමට තිබෙනවා.

ඒ නිසා නාළිකා මඟින් සංඛ්‍යාත නිසි ලෙස යොදාගෙන භාවිතා නොකළොත් ඒවා ආපසු ගන්න අපට පුළුවන්. අනවසර විකිණීම් ආදියට සම්බන්ධව සංඛ්‍යාත ආපසු ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරනවා. ඒ වගේම නීති විරෝධී කටයුතු කරන නාළිකාවල සංඛ්‍යාත ආපසු ලබා ගැනීමට අප කිසිසේත් පසුබට වන්නේ නැහැ.

රූපවාහිනී නාළිකාවලටත් මේ වැනි නව ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවාද?
රූපවාහිනී නාළිකාවලට මෙය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික ගැටලු රැසක් මතුවෙනවා. නමුත් රජය ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තිබෙනවා රටම ඩිජිටල් තාක්ෂණයට යොමු කරන්න. ඒ අනුව DVBT 2 තාක්ෂණයට යා යුතුයි කියන අරමුණ පෙරදැරිව ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය මඟින් ඒ පිළිබඳ අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා.

මේ තාක්ෂණයට මාරුවීමෙන් ඇතිවන වාසි මොනවාද?
සාමාන්‍යයෙන් දැනට රූපවාහිනී සඳහා භාවිත වන සංඛ්‍යාතය වන්නේ මෙගා හර්ට්ස් 700 පරාසය. දැනට නාළිකා 22 සිට 58 පමණ දක්වා ප්‍රමාණයක් එයින් විකාශය කෙරෙනවා. DVBT 2 ක්‍රමයේ දී එක සංඛ්‍යාතයකින් නාළිකා 12-15ක් පමණ නැරඹීමට අවස්ථාව ලැබෙනවා.

එවිට අනෙක් සංඛ්‍යාත ඉතිරි කරගෙන 4G තාක්ෂණය සඳහා ජනතාවට අඩු මුදලට පුළුල් පරාස (Broad Band) LTE  ක්‍රමය යටතේ ලබා දෙන්න පුළුවන් වනවා. මහජනතාවට අඩු මිලට බ්‍රෝඩ්බෑන්ඩ් ලබාදීම වගේම මේ සංඛ්‍යාත විකිණීමෙන් රජයට විශාල ආදායමක් ලබාගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මේ සංඛ්‍යාත වෙන්දේසි කිරීමේදී මුලිකව බිලියන 6ක් 8ක් අතර ඉන්පසු වරකට බිලියන තුන පමණ බැගින් වසරක් පාසා ආදායම් ලබාගන්න පුළුවන්.

මේ වන විට 4G තාක්ෂණය ආරම්භ කර තිබෙනවා නේද?
අප දැනට 4G තාක්ෂණය ආරම්භ කර තිබෙනවා. නමුත් ඒ සඳහා මෙගා හර්ට්ස් 2300 හා 1800 පමණයි භාවිත වන්නේ.

මේ වන විට රටේ සමස්ත රූපවාහිනී හා ගුවන්විදුලි නාළිකා ගණන කීයද?
රූපවාහිනී නාළිකා 23යි. ගුවන්විදුලි නාළිකා 45යි.

අලුත් ක්‍රමය යටතේ නව ගුවන්විදුලි නාළිකා ආරම්භ කරන්නට පුළුවන්ද?
කිසිසේත්ම බැහැ. මේ ක්‍රමය යටතේ ආයේ අලුත් නාළිකාවලට දෙන්න තරංග නැහැ. යම් විදිහකින් අලුත් නාළිකාවක් ආරම්භ කළ හැකි වන්නේ තිබෙන නාළිකාවක් අවලංගු වීමේදී පමණයි.






Source: http://www.gossip9.com/2012/11/blog-post_3535.html#ixzz2BZjy5qhl

Share this article with your friends