Chitika Smowtion 468x60


Friday, November 2, 2012

දෝෂාභියෝග මෙහෙයුම




අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කෙරෙන දෝෂාභියෝගය පසුගිය සතියේ ආණ්ඩු පක්ෂයේ දේශපාලන කරලියේ ප්‍රධාන මාතෘකාව විය. මේ සඳහා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගත් අතර අවසානයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 117 දෙනෙක් අත්සන් තබා තිබිණ. මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා ජනාධිපති මන්දිරයේදී පැවැත්විණ. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය පිළිබඳ මාතෘකාවට මෙහිදී මූලික අවධානය යොමු විය. එය ඉදිරිපත් කෙරුණු පසු මහාචාර්ය ජී. එල්. පීරිස් ඇමැතිවරයා එහි නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ නායකයන් දැනුවත් කළේය.ඉන් අනතුරුව දෝෂාභියෝගයට පක්ෂව මැති ඇමැතිවරු අදහස් දැක්වීමෙන් අනතුරුව ඇමැති වාසුදේව නානායක්කාර මහතා තමන්ගේ අදහස ඉදිරිපත් කළේය. “මම පිළිගන්නවා එතුමිය ආණ්ඩුව අපහසුතාවයට පත්වන අන්දමට කටයුතු කළා කියන එක. ඇයට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න පෙර මේ තත්ත්වය සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කළ යුතුයි. එහෙම නැති වුණොත් රටට යන්නේ වැරදි පණිවුඩයක්. එවැනි දැනුවත් කිරීමක් හරහා ඇය ඉල්ලා අස්වන තැනට කරුණු ගොනු විය හැකියි. එයිනුත් ඵලක් නොවුනහොත් දෝෂාභියෝගයක් ගෙන ආ හැකියි” වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේය. ඔහුගේ එම අදහස් දැක්වීමට කිසිවකුගේ එකඟත්වයක් ඊට පළ නොවීය. නමුත් කිහිප දෙනෙක් එයට අත්සන් තබා තිබුණේ නැත.
ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ කැඳවීමකට අනුව ශාන්ත බණ්ඩාර, අරුන්දික ප්‍රනාන්දු, ලසන්ත අලගියවන්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේ, පවිත්‍රා වන්නිආරච්චි යන අය පසුගිය බදාදා සවස ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ කාර්යාලයට ගියේය. එහිදී කතා බහ කෙරුණේ කථානායකවරයාට බාරදෙනු ලබන අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙනි.

 එදින කතා කර ගත් පරිදි පසුදින මේ පිරිස කථානායක චමල් රාජපක්ෂ මහතා හමු වී ඔහුට මෙය බාරදීමට තීරණය කෙරිණ. පසුදින එනම් බ්‍රහස්පතින්දා මේ අයට දැනගන්නට ලැබුණේ කථානායකවරයා සිටින්නේ පාර්ලිමේන්තුවේ බවය. ලසන්න අලගියවන්න මහතාගේ රථයට ශාන්ත බණ්ඩාර සහ අරුන්දික ගොඩ වූ අතර පවිත්‍රාගේ වාහනයට සුදර්ශනී ගොඩවිය. ඔවුන් පාර්ලිමේන්තුවට ගියත් කථානායකවරයා එහි නොවීය. එබැවින් ලසන්ත අලගියවන්න ඇමැතිවරයා දුරකථනයෙන් කථානායකවරයාට කතා කළේය. ඒ වන විට ඔහු සිටියේ පාර්ලිමේන්තුව අසල පිහිටි කථානායක නිල නිවසේය. සියලු දෙනා එහි ගොස් කථානායකවරයාට එය බාර දුන් අතර කථානායකවරයා ඊළඟට ගන්නා පියවර ගැන පැමිණි පිරිස දැනුවත් කළේය. එම කාර්යය අවසන් කළ ඔවුන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවට ගොස් දෝෂාභියෝගය ගැන කරුණු සඳහන් කළේය. එය අවසන්ව බැසිල් රාජපක්ෂ මහතා මුණ ගැසුණ ඔවුන් ජනාධිපතිවරයා හමුවට ගොස් කථානායකවරයාට බාර දුන් දෝෂාභියෝගයේ පිටපතක්ද ජනාධිපතිවරයාට බාර දුන්නේය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා එක්සත් ජාතික පක්ෂයේ 54 වැනි සම්මේලනය සම්බන්ධයෙන් සිරිකොතේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වින. සම්මේලනය දිනයේ යම් අයෙක් හෝ කණ්ඩායමක් බාධා කළහොත් ඔවුන්ව එළියට දැමීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා එජාප ප්‍රබලයන් අමතමින් කියා සිටියේය.
මේ අතර පසුගිය සෙනසුරාදා අත්තනගල්ල ආසනයේ එ.ජා.ප. ක්‍රියාකාරීන් නිට්ටඹුව රණතිසරණ හෝටලයේ පැවැති විශේෂ හමුවකට කැඳවා තිබිණ. එය එ.ජා.ප. මහ ‍ලේකම් තිස්ස අත්තනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින. එහි රැස්ව සිටි පිරිස අමතන ලද තිස්ස අත්තනායක මහතා කියා සිටියේ 2012 වසර යනු එජාපයේ සූදානම් වීමේ වර්ෂය බවත් 2013 යනු එජාපය ආණ්ඩුව සමග සටන් කරන වර්ෂය බවත් 2014 බලය ලබාගන්නා වර්ෂය බවත්ය.

කොළඹ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි මහතාගේ දියණියගේ විවාහ මංගල උත්සවය පසුගිය ඉරිදා රාත්‍රියේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණ. මේ සඳහා පක්ෂ විපක්ෂ බේදයකින් තොරව දේශපාලනඥයන් රැසක් සහභාගි වී ඇති අතර මනාලිය ඇමැතූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා කියා සිටියේ බලන් ගියහම මෙතන හැම පාටක්ම තියෙනවානේ මේක රේන්බෝ වෙඩින් එකක් යනුවෙනි.”
එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාතේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් පසුගිය සතියේ සිරිකොතදී පැවැත්වින. ඉදිරියේ පැවැත්වෙන පක්ෂයේ සම්මේලනය සම්බන්ධයෙන් එහිදී පිරිස දැනුවත් කෙරින. ආසනවල බලමණ්ඩල සහ ශාඛා සමිති පිහිටුවා ඇති ආකාරයට අනුව අනුපාත ක්‍රමයට මෙවර පක්ෂ සම්මේලනයට පිරිස ගෙන ඒමේ අවසරය ලැබෙන බවය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට පෙර එජාප උපදේශක කමිටුව පසුගිය අඟහරුවාදා රැස්විය. එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වූ අංජාන් උම්මා මහත්මිය එජාපයට බඳවාගෙන ඇයට ගම්පහ ආසනයේ සංවිධායක ධුරය පිරිනැමීමට තීරණය විය. එමෙන්ම එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංගෙ බණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම, අශෝක අබේසිංහ යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමේ යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අනුමත කිරීමට තීරණය විය. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා රැස් විය. එහිදී නව කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන් ලෙස පත්වූ තුසිතා විජේමාන්න සහ සිඩ්නි ජයරත්න යන මහත්වරුන්ට සෙසු සියලු දෙනාගේ සුබ පැතුම් පිරිනැමින. හයිඩ් පිටියේ පැවැති රැස්වීමට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනාගේ සහ පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමේ යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් විය. එය ඉදිරිපත් වූ අවස්ථාවේ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් දක්වන්නට විය. “ඔවුන් පක්ෂයේ විනය කඩකර තිබෙන බව මම පිළිගන්නවා. ඔවුන් සියලු දෙනා පක්ෂය වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරපු අය. ඒ නිසා මම යෝජනා කරනවා තවදුරටත් මේ අය පක්ෂයේ තියාගනිමු කියලා.” එම යෝජනාවට එරෙහිව අදහස් පළකළ ශ්‍යමල් සෙනරත් මහතා කියා සිටියේ “පක්ෂයේ විනය කඩ කළ අයව එහෙම තියාගන්න බැහැ” යනුවෙනි. ඒ අතර ලයනල් ඉපලවත්ත මහතා කියා සිටියේ මේ පිරිස එජාප නායකත්වය දිගටම විවේචනය කරන අය බැවින් පක්ෂයේ තබා ගැනීම සුදුසු නොවන බවය. “මේ අය වැරැද්දක් කරලා තියනවා. නමුත් මේ ගොල්ල පක්ෂය වෙනුවෙන් වැඩ කළ අය. 

පාලිත පක්ෂය වෙනුවෙන් අවුරුදු දෙකක් හිරේ ගිය කෙනෙක්. රංගෙ බණ්ඩාරට නඩු 20ක් විතර තියෙනවා. මේ අයට පක්ෂය වෙනුවෙන් වැඩ කරලයි මේවා වුණේ. අනිත් එක මේ අය ගියේ ආණ්ඩුවට නොවෙයි. විපක්ෂයේ තවත් වේදිකාවකට. අනිත් එක නහී වේරේණ වේරාණී සම්මන්තීද කුදාචනං කියලා ගාථාවක් තියෙනවා. වෛරයෙන් වෛරය සන්සිඳෙන්නේ නැහැ කියලා” රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා කෘත්‍යාධිකාරී මණ්ඩලය අමතමින් සඳහන් කළේය. ඉන් අනතුරුව මතුවූයේ පක්ෂ සම්මේලනයට නියෝජිතයන් ගෙන ඒමේ ගැටලුවයි.
මෙවර සම්මේලනයේදී පක්ෂයේ එක්සත් සංවිධානයට නියෝජිතයන් ගෙන ඒමේ තේමාව සම්බන්ධයෙන් පක්ෂයේ මහ ‍ලේකම් තිස්ස අත්තනායක මහතා පිරිස දැනුවත් කළේය. එය පැහැදිලි කිරීමෙන් ඵසු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කළේය. “එක එක ඒවාට එහෙම ගණන් නියම කරන්න එපා. හැම සංවිධානයකටම එක ගාණක් ලබා දෙන්න. ඒ වගේම ආසනවලටත් එක ගාණක් දෙන්න හෙතෙම ඉල්ලා සිටියේය. ඊට පිළිතුරු දුන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාය. “අපි සොයා බැලීමක් කළා පක්ෂයේ ශාඛා සමිති, බල මණ්ඩල සමහර තැන්වල පිහිටුවලා නැහැ. ඒ නිසා සියලු දෙනාට එකම අවස්ථාව දෙන්න බැහැ. බල මණ්ඩල පිහිටුවපු අයට 55 දෙනෙක් ගේන්න දෙනවා. බාගයක් හදපු අයට 20ක් ගේන්න දෙනවා. එකක්වත් කරපු නැති අයට 10ක් දෙනවා.” රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. ඉන් අනතුරුව එජාප මහ ‍ලේකම් තිස්ස අත්තනායක මහතා ශාඛා සමිති පිහිටුවා තිබෙන අයගේ ලැයිස්තුවක් ඉදිරිපත් කළේය. මේ අතර රංජිත් මද්දුම
බණ්ඩාර මන්ත්‍රීවරයා තම අදහස් පළ කරන්නට විය.

“අපේ 53 වැනි සම්මේලනයේ දී මේ වගේ නීතියක් තිබුණේ නැහැ. ඒ නිසා මේ වසරේ කව්රුත් එවැනි දෙයක් ගැන දැනුවත් වෙලා හිටියේ නැහැ. එහෙම නීතියක් ඇති කරනවා නම් මේ වසරේ ඒ බව දැනුම් දීලා ඊළඟ වසරේ ඉඳලා එය ක්‍රියාත්මක කරමු.” රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා අදහස් පළ කරමින් සඳහන් කළේය.
පසුගිය 31 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව පැලවත්ත පක්ෂ මූලස්ථානයේදි රැස්විය. එහිදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කළ අතර විශේෂයෙන්ම කතාබහට ලක්වූයේ අයවැය පිළිබඳවත් විධායක සහ අධිකරණය අතර ඇති වී තිබෙන ගැටුමත් පිළිබඳවය. මෙහිදී ඒ පිළිබඳව දීර්ඝ සංවාදයක් ඇති විය.
“රාජපක්ෂ පාලනය දැන් කිසිදු සදාචාරයක් නැතිව අධිකරණයට එළිපිටම බලපෑම් කරන්න පටන් අරගෙන. අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගය දැනටමත් සූදානම් කරලා තියෙන්නේ. බොහෝ මන්ත්‍රීවරු ඒකට අත්සන් කරලා තියෙන්නේ. පක්ෂ නායක සෝමවංශ අමරසිංහ සංවාදය ආරම්භ කරමින් කියා සිටියේය. මූලිකම ප්‍රශ්නය වුණේ බැසිල් ගෙනාපු දිවිනැගුම පනත සම්මත කරගන්න බැරි වුණ එකයි. ඒකත් එක්ක තමයි අධීකරණයට බලපෑම් එල්ල කිරීම් වැඩි වුණේ” විජිත හේරත් කියා සිටියේය. “අධිකරණ සේවා කොමිසමේ ‍ලේකම්ට, පහර දුන්න එකත්, අගවිනිසුරුතුමියගේ මහත්තයට විරුද්ධව නඩු දැමීම, දෝෂාභියෝගය මේ හැම එකක්ම න්‍යාය පත්‍රයට අනුව එන දේවල්. කොහොමත් දිවිනැගුම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි එකක් නිසා එන තීන්දුව තමන්ට අවාසි එකක් බව ආණ්ඩුව දන්නවා. ඒ නිසා තමයි අධිකරණය තමන්ගේ වුවමනාවට නම්මගන්න මාන බලන්නේ” හඳුන්නෙත්ති කියා සිටියේය.

“ලබන 01 වෙනිදා ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ රැස්වීම් පටන් ගන්නවා. ඒ සමුළුවේදී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ සොයා බැලීමට නියමිතයිමේ වගේ වැඩවලින් වෙන්නේ ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ අවධානය වැඩිවෙන එක. බලපෑම් වැඩි වෙන එක. මීට කලින් ලංකාවේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටිලා ඒ ගැන ප්‍රශ්න තියෙනවා කියලා ජාත්‍යන්තරයෙන් බලපෑම් ආවා. නමුත් මේ තකතීරු ආණ්ඩුව කරන වැඩවලින් වෙන්නේ තව තවත් ජාත්‍යන්තර බලපෑම් වැඩිවෙන එක.” බිමල් රත්නායක සංවාදයට එක් විය. මේ කතාබහ අතරතුරදී විජිත හේරත් මහතාට දුරකථන ඇමතුමක් ආවේ නීතිඥ සුනිල් වටගලගෙන් “හදිසියේම අද සුප්‍රීම් කෝට් එකේ තිබුණ නඩු සියල්ලම කල් දැම්මා. එක නඩුවක්වත් විභාගයට ගත්තේ නැහැ. දිවිනැගුම පනතේ තීන්දුව ලියන්න ඕන කියලා තමයි මේ විදියට නඩු ටික කල්දාලා තියෙන්නේ.” සුනිල් වටගල තත්ත්වය ගැන පැහැදිලි කළේය. ඒත් සමග මධ්‍යම කාරක සභාවේ සියලු දෙනාටම වැටහී ගියේ තත්ත්වය තව තවත් බරපතළ වෙමින් එන බවක්. ඒ නිසා මෙම ගැටුම පිළිබඳව අවධානය තව තවත් වැඩිවෙමින් සංවාදය ඉදිරියට ගියේය.

“මේක බරපතළ ප්‍රශ්නයක්. දැන් ආණ්ඩුව අධිකරණයට ප්‍රහාර වැඩි කරමින් එන්නේ. මේක ප්‍රජාතන්ත්‍රවාදයට කරන මරු පහරක්, වගේම ඒකාධිපති පාලනය වියරු වැටෙමින් තමන්ගේ බලය තහවුරු කරගන්න කරන්න තිබෙන සියලු දේ කිසිදු සදාචාරයක් නැතිව කරන වටපිටාවක් මතුවෙලා. මේ ගැන විශේෂයෙන් අවධානය යොමු කරනවා වගේම ඊට එරෙහිව ක්‍රියාමාර්ගත් දැඩි කරන්න ඕනෑ. මේ ගැන ජනතාවගේ අවධානය වැඩි කරන්න ඕනෑ.” ලාල් කාන්ත කියා සිටියේය.


- සම්පත් දේශප්‍රිය



Share this article with your friends