Chitika Smowtion 468x60


Saturday, December 24, 2011

උසස් පෙළ ප්‍රතිඵල විශ්වාසය තහවුරු වන ලෙසින් නිකුත් කරන්න


මෙවර අ.පො.ස උ/පෙළ විභාගය විෂය නිර්දේශ දෙකක් යටතේ පැවැත්වූ බැවින් එහි ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාදයක් ඇතිවී තිඛෙන බව පෙනී යයි. එම ප්‍රමාදයත්, එමෙන්ම මේ පිළිබඳව නිසි පැහැදිලි කිරීමක් වගකිව යුත්තන්ගෙන් සිදු නොවීමත් නිසා විශේෂයෙන්ම මෙවර විභාගයට පෙනී සිටි ශිෂ්‍යයන් සහ ඔවුන්ගේ දෙමව්පියන් විශාල ව්‍යාකූලතාවයකට පත්ව ඇත.
අ.පො.ස උසස් පෙල යනු ශ්‍රී ලංකාවේ වඩාත්ම තර`ගකාරී විභාගයයි. එහෙයින් විභාග ප්‍රතිඵලයේ සිදුවන සුළු වෙනස්වීමක් පවා ශිෂ්‍යයන්ගේ සමස්ථ ජීවිතයම උඩු යටිකුරු කෙරෙන තීරණාත්මක බලපෑමක් එමගින් සිදුවෙයි. මෙබඳු අතිශය තර`ගකාරී සහ තීරණාත්මක විභාගයන් සම්බන්ධයෙන් කි්‍රයාකිරීමේදී එය ඉතා ප්‍රවේශමෙන්, විනිවිද පෙනෙන සුළු අයුරින් සහ පැහැදිලි සැලැස්මක් යටතේ සිදුවීම එහෙයින් අත්‍යවශ්‍යය. එහෙත් අවාසනාවකට මෙන් මේ මතුවී ඇති තත්ත්වය තුලින් පෙනී යන්නේ අවශ්‍ය තරම් වගකීම් සහගත අයුරකින් බලධාරීන් කටයුතු නොකරන බවකි.


නව නිර්දේශයන් හඳුන්වා දෙනු ලැබුවේ මීට වසර දෙකකට පෙර බැවින් මෙවර විභාගයේදී පැරණි සහ නව නිර්දේශ දෙක සම්බන්ධයෙන් අනුගමනය කලයුතු ක්‍රියාමාර්ගය සැලසුම් කලයුතුව තිබුනේ ඒ කාලයේදීමය. එහෙත් මතුවී ඇති තත්ත්වය තුලින් පෙනී යන්නේ එය අඩුම තරමින් තවමත් සිදුවී නොමැති බවයි. මෙය බරපතළ වරදකි. එමෙන්ම පෙර දැක්වූ පරිදිම මෙම විභාගය ඉතාමත්ම සංවේදී කාරණයකි. ඒ නිසා අනුගමනය කරන ක්‍රමවේදය කුමක්ද? යන්නත් ඊට හේතු මොනවාද? යන්නත් ඉතාමත්ම විවෘත හා සවිස්තරාමත්ක ලෙස මහජනයාට පැහැදිලි කළ යුතුමය. විභාග ක්‍රමය පිළිබඳ මහජන විශ්වාසය සුරක්ෂිත වන්නේ ඒ තුළින්ම පමණකි. එහෙත් තවමත් එය සිදුවී නොමැති අතර ඇමතිවරුන්, නිළධාරීනුත් විටින් විට කරන පරස්පර විරෝධී ප්‍රකාශ මගින් ඉතාමත්ම ව්‍යාකූල සහ අවිශ්වාසනීය තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබේ.
ඒ අනුව ජාතික හෙල උරුමය සියලූ වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ විද්වතුන්ගේ අදහස් විමසමින් වහාම නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසත්, එය මහජනයාට විස්තරාත්මකව ඉදිරිපත් කරන ලෙසත්, එමෙන්ම ශිෂ්‍යයන්ට අසාධාරණයක් නොවන ලෙසින් සහ විභාග ක්‍රමය පිළිබඳව විස්වාසය තහවුරු වන ලෙසින් හැකි ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන ලෙසත්ය.
ඕමල්පේ සෝභිත හිමි
නායක.


Source : lankanewsweb.com

Share this article with your friends